සිංහලයන් නට්ටන් කර ඩයස්පෝරාවෙන් සල්ලි හිඟාකෑම

635

ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියක වන වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට පැමිණෙන අතර ජනපතිවරයාගේ මූලිකත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වුණි. මෙයට සෙත්පතා මහානායක හිමිවරුන්ද පණිවුඩ නිකුත් කර ඇත. සර්ව පාක්ෂික සමුළු වේදිකාවේ වීරයා වී තිබෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු සුප්‍රකට බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරයා වෙයි. දේශපාලන ලෝකයේ පිරිසිදු චරිතයක් ලෙසට සැලකුණු රනිල් අර්ජුන් මහේන්ද්‍රයන් සමග එක්ව මහ බැංකුව බංකොළොත් කළහ. පසුව අර්ජුන් රටින් පළා ගියේය. රනිල් ඒ පළා යෑමට අනුග්‍රහය දැක්වීය. අදටත් මේ සුදුකරපටි අපරාධකරුවන් නිදැල්ලේය. රනිල් වැන්නකු මෙවැනි අපරාධයට මුල්වන ලද්දේ යැයි පාක්ෂිකයන් විශ්වාස නොකරති. නමුත් රනිල්ගේ හෘදය සාක්ෂිය එය දනී. සැබවින්ම මෙවැනි අපරාධයක් කිරීමට රනිල්ට උපදෙස් ලබා දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ආර්ථිකය බංකොළොත් වීමෙන් පසු ණය පහසුකම් සඳහා ගැතිකමක් ඇතිවෙයි. ඒ ගැතිකම තිව්‍ර කරලීමට පාස්කු ප්‍රහාරයද උපයෝගි විය. ඒ අල්ලපනල්ලේ එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක කරලීමට රනිල් උත්සාහ දැරීය. ඒ බැඳුම්කර මගඩියෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් තමන්ගේ නිදොස් බවට සහතිකයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මේ බැඳුම්කර බබාගේ උක්කුන් කම එක්සත් ජාතික පාක්ෂිකයන්ට විශ්වාසය. නමුත් මේ රටේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ පමණක් නොව සමස්ත එක්සත් ජාතික පක්ෂයම එපා වූ වග මැතිවරණයේ දී පෙන්වා දැක්වීය. ජනතාවට එපා වූ රනිල් සෞභාග්‍ය ලොක්කන්ට එපා වූයේ නැත. ඔහුට ලැබී තිබුණු ආරක්ෂාව එසේම පැවතුණි. බැඳුම්කර මගඩියේ පළමු චූදිතයාට එලෙස හමුදා ආරක්ෂාව දෙන අතරවාරයේ පක්ෂයට තිබූ එකම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයද රනිල්ට ලබා ගැනීමට ආණ්ඩුවේ සහාය ලැබුණි. ආර්ථික ඝාතනයේ පළමු කොටස එලෙස නිමා විය. දෙවනුව වසන්තයක් මෙන් වසංගතයක් පැමිණියේය. මේ වසංගතය අරාබියට ආවේ 2012 දී බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඒ බැව් ලංකාවේ වසංගත රෝග අංශයටද දැනුම් දී තිබුණි. නමුත් ලොව වටා පැතිරෙන්නට අවස්ථාවක් නොලැබුණි. ඊළඟ වාරයේ 2019 දී එය නැවත චීනයෙන් මතු විය. කොවිඩි 19 යැයි එය නම් කරන ලද්දේය. චීනා සමග වඩා ඇයි හොඳැයියක් පවත්වමින් සිටි ලංකාවේ පාලකයන්ට චීනා සමග පැමිණි වසංගතයද ආශිර්වාදයක් විය. සුද්දන්ගේ නීති හමස් පෙට්ටියේ තිබූ නිරෝධායන පනත ඉදිරියට ගෙන සංචාරකයන් පමණක් නොව විදෙස් ශ්‍රමිකයන්ද හෝටල්වල නිරෝධායනය කරමින් මුදල් හම්බ කළ පිරිසක් බිහිවිය. රට වසා දමා ජන ආර්ථිකය නට්ටන් කරලීම ඇරඹුණේ හුදෙක් දොස්තරලාගේ උපදෙස් මතම නොවේ. ඒවා ඉහළින් ලැබුණු උපදෙස්ය. රෝගීන් සංඛ්‍යාව වැඩිවන්නට ඉඩදී වහාම රට වසව් යන පණිවිඩය ජනතාව අතරින්ම ලබා ගැනීම ඒ උපක්‍රමය විය. රටේ එදිනෙදා ජන ජීවිතය පමණක් නොව හරි හම්බ කර ගැනීමේ ක්‍රමවේද සියල්ලම ශූන්‍ය කරන ලද්දේ හිතාමතාමය. ඒ අතර වාරයේ මාධ්‍ය මගින් තොර තෝංචියක් නොමැතිව මරණ සංඛ්‍යාවද රෝගීන් සංඛ්‍යාවද උලුප්පා දැක්වීමෙන් රට පුරා අනවශ්‍ය වසංගත බියක් ජනිත කරවන ලදී. මරණ බය සියල්ලන්ටම පොදුය. මරණ බියෙන් ඇලලුණු ජනතාවකට බෙහෙත් පෙන්වා වස වුවද දිය හැකිය. නොමිලේ ලංකාවට ගෙන පැමිණි පළමු එන්නත් තොගයෙන් කරන ලද්දේ එයයි.

වෙන විකල්පයක් නැත. පැණිය අසාර්ථකයි යන පණිවිඩයද මාධ්‍ය මගින් පලිප්පු දමා ප්‍රචාරය කරන ලදී. එන්නත මගින් ජීවිත සුරක්ෂිත කරගත යුතුය යන පණිවිඩය රට පුරා කඩිනමින් යන්නට හේතු සාධක වූයේ සෞඛ්‍ය අංශයන්හි මෙන්ම හමුදාකරණය වූ සෞඛ්‍ය ක්‍රමවේදයන් නිසාවෙනි. අවසානයේ ඩොලර් මිලියන 250 ක පමණ වියදමින් ලංකාවට එන්නත් මිලදී ගැනීමට සිදු විය. ඕනෑම වසංගතයකට මුහුණ දිය හැකි දේශීය හා ආයුර්වේද වෙදකමක් රටේ තිබියදී එලෙස කරවීම සැබවින්ම ආර්ථික ඝාතනයක් විය. සෞභාග්‍යා ඝාතන රැල්ලේ ඊළඟ පියවර කාබනික ගොවිතැන් ක්‍රියාදාමයයි. වසර පහකදී හෝ දහයකදී සම්පූර්ණ කළ යුතුව තිබූ වස විස රහිත ගොවිතැන එක පැහැර ආරම්භ කිරීමට උපදෙස් දෙන ලද්දේද මේ පිටුපස සිටින ආර්ථික ඝාතකයන්ය. කෑමට බත අහිමි කිරීම එහි අරමුණ විය. මේ සියලු විනාශකාරී ක්‍රියාවලීන් නිසා නට්ටන් වූ බහුතරය සිංහලයන්ය.

සෞභාග්‍යා බබා උක්කුන් පටන් ගැනෙනුයේ මේ උපක්‍රම ක්‍රියාවට යෙදවීමෙනි. රනිල් වික්‍රමසිංහ වරක් දොන් ජුවන්ට සමාන කරන ලද්දේ චම්පික රණවක විසිනි. පසුව චම්පික රනිල්ට එකතුව මෙගා පොලිස් වී එම්.සී.සී. යටද අත ඉස්සුවේය. හැට නව ලක්ෂය විසින් රනිල් පමණක් නොව චම්පික සජිත්ටද පාඩමක් ඉගැන්වූයේය. ඒ ජනතා අපේක්ෂා වූයේ රට නිදහස් කොට ජාතික ආර්ථිකයක් ශක්තිමත් කරලීමයි. සෞභාග්‍යා උක්කුන් රුවන් මැලි සෑය අබියස දිවුරුම් දෙන ලද්දේ මෙරට මහානායක හිමිවරුන් සහ බහුතර මහා සංඝ රත්නය දැපනේ දමා ගන්නටයි. ඒ වෑයම සාර්ථක විය. අදටත් බෞද්ධ උපදේශක සභාව යනුවෙන් පවත්වනු ලබනුයේ මහා සංඝරත්නය රවටා සෙමෙහි තබා ගැනීමටයි. එදා මහානායක හිමිවරු රටේ ප්‍රශ්නවලදී නොබියව කතා කළහ. එම්.සී.සී. යට විරුද්ධ විය. නොයෙකුත් ගිවිසුම්වලදී විරුද්ධ මත දැරූහ. අද ඒ තත්ත්වය නැත. උන්වහන්සේලාද නිහඬව මුනිවත රකිති.

සමස්ත ආර්ථිකය කඩා වැට්ටවීමෙන් පසු රටක කොඳු නාරටිය කැඩේ. කාලයක් තිස්සේ විදේශ ආහාර බෙහෙත් සහ නොයෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය කෙරෙහි පුරුදු පුහුණු වූ ජනතාවක් ඒ භාණ්ඩ හිඟ වන කල්හි වස අමාරුවක වැටේ. ජනතාව ගමන් කරන්නේ රැලි වලටය. බුද්ධිමත්ව හිතා බලමින් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම කරනුයේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. ගෙදරදොරේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ජීව වායු ක්‍රම කාර්යක්ෂම දර උදුන් ආදී විකල්ප රටට හඳුන්වා දී තිබුණේ බොහෝ කලකට කලියෙන්ය. එහෙත් ඒ ක්‍රම ක්‍රියාවට නැංවීමට ජනතාවගේ සහාය ලැබුණේ නැත. වස විස නැති ගොවිතැනද එසේය. රටට හිතැති කෘෂි පර්යේෂකයන් සහ ස්වාධීන ගොවීන් කාලයක් තිස්සේ අත්හදා බලන ලද පරිසරහිතකාමී ගොවිතැන් සම්ප්‍රදායට රටේ තැනක් හිමි වූයේ නැත.

ඉන්ධන බෙහෙත් සහ ආහාර රටින් ගෙන්වීමට විදේශ මුදල් නොමැතිවීම නැතිනම් ක්‍රමානුකූලව අඩු වීම විවෘත ආර්ථික ක්‍රියාදාමයේ අනිටු ප්‍රතිඵලයකි. අධික ණයබර තුළින් බිහිවූවකි. නමුත් එවැනි විෂම තත්ත්වයක් යටතේ වුවද වසර ගණනාවක් මේ ආර්ථිකය ගමන් කරමින් තිබේ. ණය කන්දරාව වැඩි වීමත් රජයේ ආදායම අහිමි වීමත් නිසා ආර්ථික මර්මස්ථාන සියල්ල බෙලහීන වන්නට ඉඩ හැර ඇත. ඒවැනි තත්ත්වයක් යටතේ රටේ ඕනෑම සම්පතක් විදෙස්වලට පවරා දී කට බඩ පුරාවා ගැනීමට ජනතාව පෙළඹීම ස්වභාවිකය. සර්ව පාක්ෂික සමුළුව අබියස සෞභාග්‍යා ආණ්ඩුව බබා වෙන්නට උත්සාහ දරමින් ඇත. මහ බැංකු අධිපතිතුමා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වැරදි නැත. රනිල්ගේ ආර්ථික ඝාතන අබියස විදේශ සංචිත ඇදී වැටීම සිදු විය. නමුත් රනිල් ඉදිරියේ සමාව ඉල්ලීම ඇරුණු කොට වෙනත් විකල්පයක් ආණ්ඩුවට නැත. හේතුව රනිල් පිටුපස සිටින විදෙස් බලවේගයයි. ඇමෙරිකානු කොරිඩෝව සඳහා ඩොලර් මිලියන 500 ක් ගැනීමට රනිල් සූදානම් විය. ලලිත සිරිගුණරුවන් වාර්තාවෙන් එම යෝජනාව නිශ්ප්‍රභ විය.

එය ජනතා අපේක්ෂාවයි. නමුත් නොදන්නා වැඩ කිරීමට ගොස් වරිගෙ නහ ගත්තා වැනිව සෞභාග්‍ය ආණ්ඩුව බබා පාට් දමමින් සිටී. මේ වන විටත් ඉන්දියාවට අවශ්‍ය දේශපාලනික ආර්ථික මර්මස්ථාන රැසක් ඉන්දියාවට දීමට රජය එකඟ වී තිබේ. උඩරට වතුකරයේ වතු සමාගම් ඩයස්පෝරාවේ වතු සමාගම වෙත විකුණා දැමීම ඇරඹී ඇත. ‘සංස්කෘතිය රැකීමටද ඩයස්ෆෝරාවේ උදව් ගැනීමට සිදු වන බව සංස්කෘතික අමාත්‍යාංශය පැත්තෙන් ආරංචි ලැබෙමින් පවතී. වික්ටෝරියා නූලන්ඩ්ට ඉදිරියේ දී ජනපතිවරයා පොරොන්දු වී ඇත්තේ උතුර සංවර්ධනයට ඩයස්පෝරාවේ උදව් ගන්නා බවයි. එහි ඊළඟ පියවර නම් උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මත කෝවිල් සංවර්ධනය වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ දහතුන් වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමයි. රනිල් වික්‍රමසිංහගේ සහයෝගය ලබමින් ජාතික ආණ්ඩුවක් ඇටවීමට උත්සාහ දැරුවහොත් කාලයක් තිස්සේ ඉටුකර ගැනීමට බලා සිටි බෙදුම්වාදී අපේක්ෂාවන් සියල්ල මල් ඵල දරනු ඇත. එය අපේ ජාතියේ අවසානයයි.

● මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment