ගඟ උපදින තැන බලන්න මාදු ගඟේ ඉහත්තාවට…

360

“ගන්තෙර” සෆාරියේ මාදු ගඟ චාරිකාව

ගඟ උපදින තැන බලන්න මාදු ගඟේ ඉහත්තාවට…

මෙවර අපගේ “සංචාරේ” විශේෂාංගය වෙන්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට අන්තර්ජාතික වටිනාකමක් සහිත තෙත් බිම් පරිසරයක සිදුකරන බෝට්ටු සංචාරයකට එක්ව එම පරිසරයේ අද්විතීයත්වය හා සෞන්දර්යය විඳීම සඳහාය. එම පරිසර පද්ධතිය නම් “මාදු ගඟ” යි. අප කවුරුත් දන්නා පරිදි මාදු ගඟ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පාලනය කෙරෙන ජලාශ්‍රිත අභයභූමියකි. එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් අන්තර්ජාතික “රැම්සා” තෙත්බිම් ලේඛනයට ඇතුළත් වූ තෙත්බිම් 6 න්, තෙවන ස්ථානයට පත්වූ රැම්සා තෙත්බිමයි. පිළිවෙළින් ආනවිලුන්දාව (හලාවත), බුන්දල ජාතික උද්‍යානය, මාදු ගඟ, වන්කාලේ අභයභූමිය (මන්නාරම), කුමන ජාතික උද්‍යානය සහ විල්පත්තුව ජාතික උද්‍යානය අන්තර්ජාතික රැම්සා තෙත්බිම් ලේඛනයට ඇතුළත් වී ඇත. ඒ අනුව මුලින්ම මෙම ලේඛනයට ගිය මාදු ගඟ, ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණුලක සංචාරයට එක්වන ලොව බොහෝ සංචාරකයන්ගේ සිත් ගත් පාරිසරික හා සෞන්දර්යයේ තෝතැන්නකි.

ගාල්ලේ සිට දළ වශයෙන් කිලෝමීටර් 35 ක පමණ දුරකින් කොළඹ පැත්තට පිහිටා ඇති අගනා තෙත්බිම් සංකීර්ණයකි. මේ මැද පිහිටි ලොකු, කුඩා දූපත් 64 කින් සමන්විත මාදු ගඟ, අතු බෙදී සංකීර්ණව විහිද ගිය තෙත්බිමකි. එසේම, වර්ග කිලෝමීටර් 30.40 ක පමණ විශාලත්වයකින් යුක්තව පැතිර පවතින මෙම තෙත්බිම් සංකීර්ණය පුරා බහුල ලෙස කඩොලාන ශාක ප්‍රජා ව්‍යාප්තව පවතින බැවින් මාදු ගඟ සෞන්දර්යයේ තෝතැන්නක් බවට පත්ව ඇත්තේ මෙම කඩොලාන ශාක ප්‍රජාව මෙම තෙත්බිමට අලංකාරයක් ඇතිකරනවාටත් වඩා මාදු ගඟ, ජලජ හා රුක් වාසී කුරුල්ලන් රැසකට නිවහනක් වී ඇති නිසාය.

එසේම, සාමාන්‍ය වහරේදී බෝට්ටුකරුවන් හා මාදු ගඟ වාසීන් “ලගූන්” ලෙස හඳුන්වන, එනමුත් කඩොල් ගාල් අතරින් වැටී ඇති පටු, අඳුරු දිය මංපෙත් තුළින් බෝට්ටුවේ ගමන් කිරීම අතිශය සුන්දර අත්දැකීමකි. මේ යන අතර, දකින්නට ලැබෙන කඩොල් ගස්වල “කරුමුල්” හා “කයිරු මුල්” වලින් චිත්‍රණය කර මතුකරන සුන්දරත්වය එහි යන කාගේත් කැමරා ක්‍රියාත්මක කරවන්නට සමත් වෙයි. මෙම කඩොල් ගාල් අතර නිර්මාණය වී ඇති ජලයේ නිමග්න (ගිලී ඇති) පරිසර පද්ධති ඉස්සන්, කකුළුවන්, බෙල්ලන්, උභයජීවීන්, මසුන් ඇතුළු ලොවට ආහාර හා ජෛවීය වටිනාකම් සපයන සත්ත්ව සම්පතකටද නිවහනක් වේ.

එසේ හෙයින් පාරම්පරික කලපු හා මිරිදිය ධීවරයන්ගේ නිජබිමක් වන මාදු ගඟ, දිවා රාත්‍රී නැතිව පාරම්පරික ධීවර කර්මාන්තයේ යෙදෙන අපේ මිනිසුන්ගේ අපේ තැනකි. මේ නිසාම වන්නට මාදු ගඟ 1971 දී ඉරානයේ රැම්සා නුවරදී පවත්වන්නට යෙදුණු රැම්සා සම්මුතියට අයත් තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්වන අතර, ඊට පෙර මාදු ගඟ වන ජීවී අභයභූමියක් බවට පත්කරනු ලබන්නේය.

සැබවින්ම අන්තර්ජාතික රැම්සා තෙත්බිම් ලෙස යම් තෙත්බිමක් ප්‍රකාශයට පත්වන්නේ එම තෙත්බිම කොයිතරම් ජෛවවිවිධත්ව වටිනාකම් දරන්නේද යන්න හා එම තෙත්බිම කොයි තරම් ප්‍රජාවට තම ජීවනාලිය ගෙනයන්නට සම්පතක් බවට පත්වී ඇත්ද යන්න වැනි වටිනාකම් සලකාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රැම්සා තෙත්බිම් 6 න්ම එම වටිනාකම් දරන ප්‍රමුඛම තෙත්බිම මාදු ගඟ යන්න අපගේ වැටහීමයි.

ගඟ උපදින තැන බලන්න මාදු ගඟේ ඉහත්තාවට…

මෙවන් තෙත් බිමක මෝටර් බෝට්ටුවක නැගී ගමන් කිරීම තරම් අපට සදාචාරාත්මක අයිතියක් නැති නමුත්, මෙහි සංචාරයට වෙනත් විකල්ප සංචරණ ක්‍රමවේදයක්ද (ධීවර ඔරු හැර) නැති නිසා පවතින ක්‍රමවේදය යටතේ මාදු ගඟේ සංචාරයක් කරන්නට අප එහි ගියේ අපගේ සහෝදර රවී ද සිල්වා ගේ සැලසුමකට අනුවය. රවීගේ ගම බළපිටිය නිසාත්, මාදු ගඟට හා එමගින් දිවිගෙවන බොහෝ දෙනකු ඔහුගේ නෑ හිතවතුන් නිසාත් රවී අපට මෙම සංචාරය සඳහා සම්බන්ධ කර තිබුණේ මාදු ගඟ ගැන අග . මුල, පර . තෙර ගැන පමණක් නොව, එහි සිදුවන සියලු හොඳ . නරක ගැන සියල්ලම හොඳින් දන්නා පුද්ගලයෙකි. ඒ බළපිටිය දුම්රිය ස්ථානය අසලින් මාදු ගඟට පිවිසෙන පටු මාර්ගයේ කෙලවර පිහිටි “ගන්තෙර බෝට් සෆාරි ඇන්ඩ් රෙස්ටෝරන්ට්” නමින් තම බෝට්ටු සේවාව සහ මාදු ගඟේ සංචාරයට එන සංචාරකයන් සඳහා “කේටරින් සර්විස්” එකක්ද සිදුකරන “සමන්” අයියා නොහොත්, සමන් අබේසේකරය.

මෙම සංචාරය කරන දිනයට කලින් දින මමත්, රවීත්, ගෙවත්තක් වැනි කුඩා උද්‍යානයක පිහිටි සමන් ගේ “ගන්තෙර” ට පැමිණියේ සවස් යාමයේදීය. එහි සිට පසුදා සංචාරය කතිකාකරගත් අපි, සමන් විසින් පිළියෙල කර තිබූ නවාතැනේ රාත්‍රිය ගතකර පසුදා හිරු නැගෙන උදෑසන යළිත් “ගන්තෙර” ට පැමිණියේ කඩොල් කැලෑව අතරින් නැගෙන සියොතුන්ගේ මිහිරි නාදය මධ්‍යයේය. ඒ එනවිටත් සමන් අපගේ ගමනට අවශ්‍ය බෝට්ටුව හා අවශ්‍ය කළමනා ලක ලෑස්ති කර තිබූ අතර, ගමනට තවත් දිවයින පාඨකයෙක් ද සම්බන්ධ කරගෙන සිටියේය. පෙරදා රාත්‍රියේද අප හා එක්වෙමින් කුළුපග වූ මේ මිතුරා සොම්නස් ද සිල්වා ය. බෝට්ටුව පදවන්නට සමන් කැඳවා තිබුණේ බෝට්ටු රස්සාවේ දශක දෙක තුනක්ම පැරණි මාදු ගඟ අස්සක් මුල්ලක් නෑර දන්නා චරිතයකටය. ඔහු මංජු ය.

ගඟ උපදින තැන බලන්න මාදු ගඟේ ඉහත්තාවට…
සොම්නස්, රවී, මංජු, සමන්

ප්‍රමාද නොවී බෝට්ටුව දියත් කළ මංජු, මමත්, රවීත්, සමන් හා සොම්නස් අයියාත් අනතුරුව හිසේ වදින.නොවදින ගානට ඇති දුම්රිය පාලම යටින් රිංගා බළපිටිය දුම්රිය ස්ථානය අසලින් මාදු ගං දියට පිළිපන්නේ තවත් බෝට්ටු කිහිපයකට මැදිවය. බළපිටිය මාදු ගඟ දෙපස මෝය කට දක්වා බෝට්ටු සේවා රැසක් ඇති නමුත්, සමන්ගේ බෝට්ටු සේවයේ විශේෂත්වය වන්නේ පැය 4 ක සම්පූර්ණ බෝට්ටු සේවයක් ඔහු විසින් ලබාදීමය. ඒ ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව අනුවය. ඔවුන් ඉල්ලන්නේ නම්, මාදු ගඟ පටන් ගන්නා කරන්දෙණිය ආශ්‍රිත “පොල්අතුපළාත” පිහිටි මාදු ගඟේ ආරම්භක දියදහරා දක්වා බෝට්ටුව ගෙනයන්නට සමන් පමණක් නොව, ඔහුගේ බෝට්ටුකරුවකු වන, මංජු ද සූදානම්ය. අපටද හමුවුණේ මෙවන් සම්පූර්ණ බෝට්ටු චාරිකාවකි.

ඒ අනුව සමන්, සොම්නස් අයියා හා මංජුගේ දැනීමේ හැටියට පත්තරේ සංචාරක විශේෂාංගයට ගැළපෙන සංචාරයක් අපට සැලසුම් කර දෙමින් ඔවුන් අපව ඉතා දුලභ පරිසර කිහිපයකටම රැගෙන යන ලද්දේ අප අමන්දානන්දයට පත්කරමිනි. මාදු ගඟ චාරිකාවේ ඉදිරියට යන විට පාරම්පරික ධීවරයන්ගේ ඉස්සන් කොටු, (ජාකොටු) සහ ඔරුවලින් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් අපට හමුවන අතර, දූපත් 64 කින් සමන්විත මෙහි ලොකු කුඩා දූපත් පසුකරමින් ඉදිරියට ඇදෙද්දී දිය මත පිහිටි කඩ, ජූස් බාර් රැසක් හමුවේ. තැන තැන ගඟ අද්දර ඇති “ෆිෂ් තෙරපි” ය. නොහොත් මසුන් යොදා කරනු ලබන පා සම්භාහන මධ්‍යස්ථාන වැහිවැහැලා ඇත.

එසේම, කිරල ඇතුළු විවිධ කඩොලාන ශාකයන්ගෙන් සමන්විත කඩොල් කැලෑ මැදින් සිදුකරන ගමන් අතිශය මනරම්ය. මේ සෑම මොහොතකම මමත්, රවීත් කැමරා අටවාගෙන ඡායාරූප එකතුකරගන්නට වෙහෙසුණේය.

සත පහ දූව, නයි දූව, කොත් දූව, මා දූව සහ තවත් නම් නොදන්නා දූපත් රැසක් පසුකරමින් අපි සමන්ගේ “ගන්තෙර” බෝට්ටු සෆාරියේ ඉදිරියට ඇදුණේ මාදු ගඟේ සුන්දරත්වය සහ අද්විතීයත්වය ද හොඳ හැටි විඳගනිමිනි. මේ ගමනේදී ඉතා ප්‍රකට කොත් දූව සහ කුරුඳු තලන දූපතක් ඇතුළු තැන් රැසක පහස විඳගත් අතර, මාදු ගඟේ ජෛවවිවිධත්ව වටිනාකම් සහ මාදු ගඟට සිදුව ඇති පාරිසරික විනාශයේ තරම ගැනද අධ්‍යයනය කළ බව කිවයුතුය.

කුරුඳු තලන හැටි බලන්න කුරුඳු දූවට ගිය ගමන මීළඟට….

සැරිසර . ජගත් කණහැරආරච්චි
ඡායාරූප .
රවී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment