විශ්වාසභංග යෝජනාවම දෝෂ සහිතයි – අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

84

ජනපති – කැබිනට් එක ඇතුළු කථානායකගේ විශ්වාසය
ජනතාව ඉදිරියේ භංග වී හමාරයි
අනුර කුමාර දිසානායක (ජාජබ)
ඔන්ලයින් පනත සම්මත කිරීම ව්‍යවස්ථාවට පටහැනියි
පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශ කඩ කිරීමෙන් කථානායක

ව්‍යවස්ථාවෙන් පවරපු බලයේ විශ්වාසයත් කඩ කළා
උදය ප්‍රභාත් ගම්මන්පිල (ශ්‍රීලපොපෙ)

කථානායකවරයාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ව්‍යවස්ථාවේ වගන්ති හෝ පනත් ගැන නිසි අධ්‍යයනයක් නොකර සකස් කර ඇති නිසා එය සම්පූර්ණයෙන්ම දෝෂ සහිත එකක් බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතාඊයේ (20දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කථානායකවරයාට එරෙහ විශ්වාසභංග යෝජනාවේ දෙවැනි දින විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීය. දෙවන දින විවාදය ආරම්භ කරමින් කතා කළ,

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) :

මාර්ගගත පනතට සංශෝධන අධිකරණයෙන් ඉදිරිපත් කළා. සංශෝධන නැතිව සම්මත කරන්න විශේෂ බහුතරයක් අවශ්‍යයි කිව්වත් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගත්තා. සම්මත කළ පනතට කථානායක අත්සන් කළා. එය ව්‍යවස්ථාවට පටහැනියි.

වැලිගම ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස කථානායක සිට තියෙනවා. එය කථානායකට සුදුසු නෑ. ඔහු අපක්ෂපාති විය යුතුයි. වසර තුනක්ම ඒ තනතුර දරලා.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත :

කථානායකවරයකුට විරුදධව අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පස්වන විශ්වාසභංගයයි මේක.

විශ්වාසභංග යෝජනාවම දෝෂ සහිතයි. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ව්‍යවස්ථාවේ වගන්ති සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු වැරැදියි. පරස්පරයි. කවුද මේ යෝජනාව හැදුවේ. මහාචාර්ය ජී එල්. පීරිස් මහතා මෙහි කසකාරයා ලෙස පෙනී සිටියා. ඔහුද දන්නේ නෑ මේක හැදුවේ.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට යම් තීරණයක දී ඡන්දය දීමෙන් වැළකී ඉන්න බැහැ. උසාවි විනිසුරු මණ්ඩලය ආකාරයට පක්‍ෂ හෝ විපක්‍ෂ දෙකින් එකක් විය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) :

ජනාධිපතිවරයා අනීතිකව හැසිරෙනවා. පළාත් පාලන මැතිවරණයට සල්ලි නොදී මැතිවරණය කල් දැම්මා. කැබිනට් මණ්ඩලයත් අනීතිකව හැසිරෙනවා. කථානායකවරයා වගේම පාර්ලිමේන්තුව ගැනත් ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙන්නේ. ඔලු ගෙඩිවලින් මේ විශ්වාසභංගය දින්නත් ජනතාව ඉදිරියේ ජනපති, කැබිනට් එක, කථානායක පාර්ලිමේන්තුව සියල්ල ගැනම විශ්වාසය බිඳ වැටිලා හමාරයි. තව මාස හය හතකින් ජාතික මැතිවරණයක් එනවා. එහිදීසියල්ලන්ටම ගෙදර යන්න වෙනවා. ඒක පැහැදිලියි.

අපේ රටේ පද්ධතියක් ලෙස බිඳ වැටී තියෙනවා. මහින්ද යාපා අබේවර්ධනත් ඊට ගොදුරු වී තියෙනවා. ඔවුන්

ගොඩනැගූ දේශපාලන සංස්කෘතිය තුළින් තමයි ඒ තත්ත්වය ඇති කළේ.

කථානායකවරයා ඔහුගේ කාර්ය මණ්ඩලයට පත් කළේ පවුලේ උදවියයි. පවුලම පාර්ලිමේන්තුවට ගෙනාවා. එක පුතෙක් රාජ්‍ය ආයතනයක සභාපති වුණා. ඒ නිසා ආණ්ඩු පැත්තට නැමියාවක් දක්වන අයෙක් බවට පත් වුණා. විපක්‍ෂ නායකවරයාට ඕන ඕන වෙලාවට කතා කරන්න දුන්නේ පවුල ගැන ඇදෙයි කියලා බයේ.

කෝප් කමිටුව පසුගිය නොවැම්බර් මාසයේ සිට අක්‍රීය වුණා. ඊට වගකිව යුත්තේ කථානායකවරයායි. බැසිල්ට බයේ රංජිත් බණ්ඩාරට එරෙහිව ක්‍රියා කළේ නෑ.

පනත් කෙටුම්පත් පිළිබඳ පෙත්සම් විභාගවල තීන්දු කථානායකවරයාට එවන්නේ ඔහුගේ දැනුවත් වීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්ය. පනතක් සම්මත කරන විට පනත අධිකරණ තීන්දුවට අනුකූලද යන්න කථානායකවරයා තීරණය කළ යුතුයි. ඇමැතිවරයාට වඩා කථානායකටයි එහි වගකීම තියෙන්නේ.

කථානායකවරයා මේ පුටුවට උචිත නෑ. මොනතරම් ඔලුගෙඩි ඉස්සුවත් වැඩක් නෑ.

වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා :

මේ විශ්වාසභංගය රට නොමග යැවීමට ගෙනා එකක්. කථානායකවරයා හැමවිටම නීතිපති අනුමැතිය ඇතිවයි ක්‍රියාකර ඇත්තේ.

මමත් ව්‍යවස්ථාදායක මණ්ඩල සාමාජිකයෙක්. පොලිස්පති පත් කිරීමේ දී දෙදෙනෙක් ඡන්ද ප්‍රකාශ කළේ නෑ. කථානායකතුමා සද්භාවයෙන් තීරණය ගත්තේ. විපක්‍ෂයේ හා සිවිල් සමාජයේ ගැටලුවලට අපිට අහුවෙන්න බැහැ.

විපක්‍ෂ නායකවරයාට ඕනම විදියකට කතා කරන්න කථානායක ඉඩ දුන්නා. කොතරම් ගුණ කළත් දුඳනෝ නොවෙති යහපත් යනුවෙන් කියන්නා වගේම තමයි සිදුවුණේ. විපක්‍ෂයට වැඩි කාලයක් දුන්නේ. කිරි පොවපු අත හපා කෑවා වගේ වුණේ. කථානායකතුමාට දැන් ඒවා මතක් වෙනවා ඇති. මේ යෝජනාව ද්වේශසහගතව ගෙනා එකක්. සමස්තයක් ලෙස මේ කථානායක සාධාරණව වැඩ කර තියෙනවා. විපක්‍ෂයට වැඩි තැනක් දීලා තියෙනවා.

ජනාධිපතිවරයා රටේ දේශපාලනයේ බොහෝ වෙනසක් ඇති කළා. ගතානුගතිකත්වයෙන් පිටට ගොස් ක්‍රියා කළා. ආර්ථිකය හා රටේ දියුණුවට ක්‍රියා කළා. අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි.

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර (සජබ) :

මේ රටේ තුන්වන පුරවැසියා කථානායකවරයා. ඔහු ස්වාධීන විය යුතුයි. දේශපාලන පක්‍ෂයකින් තේරුණත් හිටපු කථානායකවරු දේශපාලනය කළේ නෑ. මේ කථානායකවරයා දේශපාලනය කරනවා. වැලිගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති මොහුවගේ කවුරුත් කටයුතු කළේ නෑ. කථානායකවරු 10ක් සිටියා. ඉන් 4දෙනකුට විතරයි විශ්වාසභංග ගෙනවිත් තියෙන්නේ. වසර 33කට පසුව මේ විශ්වාසභංගය ආවේ.

මොහු විධායකය කියන විදියට පක්‍ෂයට බරවෙලා ක්‍රියා කරනවා. විපක්‍ෂ නායකවරයා කතා කරන්නේ රටේ ප්‍රශ්න ගැන. ආණ්ඩුව ඊට වඩා කාලය අරගෙන තියෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල (ශ්‍රීලපොපෙ) :

මාර්ගගත පනතේ වගන්ති දෙකක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශ නොසලකා සම්මත කර තියෙනවා. කථානායකවරයා සම්මත වූ පනතට අත්සන් කළහොත් එය අධිකරණයේ අභියෝග කරන්න බැහැ. ඒ නිසා පනතට විරුද්ධව ගෙනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රතික්ෂේප වුණා.

කථානායකවරයා පාර්ලිමේන්තුවේ පමණක් නොවෙයි ව්‍යවස්ථාවෙන් පවරපු බලයේ විශ්වාසයත් කඩකළා.

බහුතර ඡන්ද පෙන්නලා එදා කෙහෙළිය රඹුක්වැල්ල බේරා ගත්තා. අද ආණ්ඩුවයි කෙහෙළියයි දෙන්නගෙම විශ්වාසය බිඳ වැටිලා. කථානායක රැක ගැනීමට බහුතරය පෙන්නලා කථානායකගේ වැරදි වසා ගත්තත් ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ජනතාව තුළින් මහා පිපිරීමක් ඇති වේවි.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර :

පොලිස්පතිවරයා පත්කිරීමේ සිද්ධියට චෝදනා කිරීමේ දී කළ යුතුව තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දය නොදුන් දෙදෙනාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමයි. පක්‍ෂ හෝ විපක්‍ෂ වීම පමණයි කළ හැක්කේ. ඡන්දය දීමෙන් මගහැර ඉන්න කාටවත් බෑ. කථානායකවරයා හා රට ව්‍යවස්ථා අර්බුදයක හිර කිරීමට මේ සාමාජිකයන් දෙදෙනා ක්‍රියාකර තිබෙනවා.

මේ විශ්වාසභංගය ගෙනා පිරිස හැකිතරම් එකතු කරගෙන ඊළඟ මැතිවරණයට වේදිකාවක් හදාගන්නයි. එයත් බැරි වුණා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න (සජබ) :

කලින් කථානායකවරුන්ට ගෙනා විශ්වාසභංගවලට වඩා මේ විශ්වාසභංගය බරපතළයි. කථානායකධුරයේ පමණක් නොව ව්‍යවස්ථාදායක සභාව තුළත් ගෞරවයට හානිවන ලෙස ක්‍රියා කළා. පක්‍ෂග්‍රාහීව ක්‍රියා කළා.

කථානායකතුමා සභාවේ ස්වාධීනව ක්‍රියා කළේ නෑ. 1987 දී පාර්ලිමේන්තුවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කළ මහින්ද යාපාට අද මෙහෙම වුණේ ඇයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ) :

කථානායකවරයාගේ ක්‍රියා කලාපය සම්පූර්ණයෙන්ම පක්‍ෂග්‍රාහියි. ඒ වගේම මුදල් කාරක සභා මුල් පුටුව මුල සිටම විපක්‍ෂයට දෙන්න තිබුණා. කථානායකවරයා ඊට මැදිහත් වී ලබා දුන්නේ නෑ. ඔන්ලයින් පනතේ සංශෝධන අධිකරණය ඉදිරිපත් කර තිබියදී ඒ ගැන විපක්‍ෂය පෞද්ගලිකව කිව්වත් වැරැදි නිවැරදි කළේ නෑ. කථානායකවරයා මැදිහත්ව වැරැදි හැදුවේ නෑ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ :

විපක්‍ෂයට වැඩි වෙලාවක් ලබා දුන්නේ මේ කථානායකවරයායි. අද එය ඔහුටම පාරා වළල්ලක් වෙලා.

රටේ අරගලයක් ඇති වූ අවස්ථාවේදී කථානායකවරයාට ජනපති ධුරය දෙන්න කියලා මේ විපක්‍ෂය එදා කිව්වා. අද ඔහුට විශ්වාසභංගයක් ගෙනල්ලා. දෙබිඩි පිළිවෙතක් විපක්‍ෂය අනුගමනය කරන්නේ. විපක්‍ෂයට දෙන්න පුළුවන් උපරිම කාලය දුන්නා.

විපක්‍ෂයට විශ්වාසභංගයක්වත් හදාගන්න මොළය තියෙන පිරිසක් නෑ. ඔන්ලයින් පනතේ සංශෝධන 9 ඉටුකළ බව නීතිපති ඇතුළු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඒත් වැරැදි නිගමනයක විපක්‍ෂය ඉන්නේ. පනත හා සංශෝධන ටික විපක්‍ෂය කියවලා නොවෙයි විශ්වාසභංගය ඉදිරිපත් කර තියෙන්නේ.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ) :

මේ පාර්ලිමේන්තුවේ නීති හැදීමේ ක්‍රියාවලිය හරියට කරන්න කථානායකවරයා ඉඩ දෙනවාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. මේ සභාව ආරක්ෂා වුණොත් තමයි නීති හැදීමේ ක්‍රියාවලිය යහපත් වෙන්නේ. කථානායකධුරය රැකගත යුතුයි. මහින්ද යාපා නොවෙයි ගැලපෙන්නේ නැති අයෙක් කථානායක වුණොත් සියල්ල අර්බුදයට ලක්වෙනවා. අගමැති, ජනාධිපති ඉවත්කළ යුතුයි කියන තැනට රට පත්ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ සුජාතභාවය නැති කරන්න කථානායකවරයා කටයුතු කරන්නේ නම් එය වැරැදියි. පාර්ලිමේන්තුවේ කමිටු ගැන අද විශාල ගැටලු ඇතිවෙලා. විශ්වාසනීයභාවය ගැන ප්‍රශ්න ඇතිවෙලා. මේ තුළින් පාර්ලිමේන්තු ක්‍රියාවලියම අර්බුදයට යනවා. ඔලුගෙඩිවලින් දින්නත් ඊට එහා බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙනවා. තත්ත්වය නිවැරදි කිරීමට වහා ක්‍රියා කළ යුතුයි.

පාර්ලිමේන්තුව අද (21 දා) පෙ. ව. 9.30ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment