ආර්ථික අර්බුදයට  වගකිවයුත්තෝ

456

විවිධ හේතුකාරණා කරණකොට ගෙන රාජ්‍ය සේවය හරහා ලක්රජයත්, ජනතාවත් බලාපොරොත්තු වන දායකත්වය රටේ සංවර්ධන ක්‍රියාවලියකට ලැබෙනුයේ ඉතා අල්ප මාත්‍රව බව ඉතා පැහැදිලි වේ. එබැවින් වර්තමාන රජය හෝ අනාගතයේ බලයට පත්වන දේශපාලන අධිකාරියක් විසින් අප මතු කළ හේතු කාරණාවල බරපතළකම තේරුම් ගෙන, පෙර සඳහන් කළ විසඳුම් මාලාවෙන් අඩු තරමින් අඩක්වත් ක්‍රියාත්මක නොකළ හොත් අප ආර්ථිකය හා සමාජය අද පත් වී ඇති ලෝකය හමුවේ ලැජ්ජාසහගත තත්ත්වයෙන් නුදුරු අනාගතයේදී ගොඩ ඒමට නොහැකි වනු ඇත.

 අද ශ්‍රී ලංකාව ඉමහත් ආර්ථික අර්බුදයකට  ගොදුරු වී සිටී. මෙය දේශපාලන ව්‍යුහය තුළ පසුගිය දශක කීපය තුළ සිදු වූ අස්ථාවර තත්ත්වය හා අත්තනෝමතික භාවය මත සිදුවූවක් බව නොරහසකි. එහි ප්‍රතිඵල ලෙස අමාත්‍යාංශ මට්ටමේ සිට රාජ්‍ය ආයතන තුළ පහළම මට්ටම දක්වා රාජ්‍ය සේවය අද වනවිට අකාර්යක්‍ෂම හා දූෂිත තත්ත්වයකට ඇදදමා ඇත. එබැවින් කවර හෝ රජයකට මේ ආර්ථික යාන්ත්‍රණය නැවත පණගැන්වීමට අවශ්‍ය වේ නම්, මෙම ආයතනික පද්ධතිය රටේ ආර්ථික වර්ධනය උදෙසා කළ හැකි කාර්යභාරය හඳුනාගත යුතුය. එම කාර්යයෙහිලා ඒවායේ  පසුගාමී බව පසුගිය ලිපියේ සඳහන් කර ඇත. අද ලිපියේදී එම තත්ත්වය ඇතිවීමට හේතු සහ එම හේතු අවම කර ගැනීමට ගත යුතු පියවර සාකච්ඡා කෙරේ. එමගින් කාර්යක්‍ෂම දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් තුළින් ආර්ථික අර්බුදය විසඳාලීමට හැකිවන බව තේරුම් ගැනීම මෙම ලිපියේ අරමුණයි.

 ආර්ථික අර්බුදයට හේතු කිහිපයක් බලපා ඇත.

● හේතු : සම්පත්/ අවස්ථා හිඟය
 

 ලාංකීය ආර්ථිකය ජනගහන වර්ධනයට සාපේක්‍ෂව වර්ධනය නොවූ බව උග්‍ර විරැකියා හා ඌන රැකියා දත්තවලින් ද, සමෘද්ධි වැනි සහනාධාර වැඩසටහන්වලින් ද පෙන්නුම් කෙරේ. එහෙත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රගතිය හේතුවෙන් 1950 ගණන්වල සිට මේ දක්වාම ජනතාවගේ සාක්‍ෂරතාවය වැඩිවෙමින් පවතී. එබැවින් දක්‍ෂතාවය (අධ්‍යාපනික සුදුසුකම්) මත හෝ දේශපාලන/ නිලධාරීමය බලපෑම් මගින් රාජ්‍ය ආයතනයක තනතුරකට පත්වන කෙනකු ඔහු හෝ ඇය ලැබූ මෙම අවස්ථාව ප්‍රාථමික අධ්‍යාපනයේ සිටම තරගකාරී විභාග මත පදනම් වූ අධ්‍යාපනය වෙනුවෙන් කළ කැපකිරීම වෙනුවෙන් තමා ලද වරප්‍රසාදයක් ලෙස සලකයි. මෙම හැඟීම මත පදනම් වූ බොහෝ අය එම රැකියා අවස්ථාව තමාගෙන් සේවයක් බලාපොරොත්තු වන ආයතනයේ අවශ්‍යතා හෝ ජනතා අවශ්‍යතා ඉටුකිරීමට වඩා තම පුද්ගලික ආදායම් තත්ත්වය හා වෘත්තීයමය ජීවිතයේ දර්ශක ඉහළ දමා ගැනීම අරභයා කැප කරති. ඉහත පරිච්ඡේදයේ දැක් වූ පරිදි ආයතනික ප්‍රගතිය හෝ සේවක ප්‍රගතිය මත ඒ ඒ අයගේ සේවක වරප්‍රසාද තීරණය වන ක්‍රමයක් අප රටේ නොමැති බැවින් මෙවන් ආත්මාර්ථකාමී සේවක පිරිස් තම රැකියා සුරක්‍ෂිතභාවය සාක්ක්‍ෂාත් කර ගනිති. අවසානයේදී ආයතනයේ අරමුණු ඉටු නොවේ.

 මෙම තත්ත්වයට රුකුල් දෙන අනෙකුත් ප්‍රධාන කරුණක් වනුයේ ආයතනය අතර එකම අධ්‍යාපනික/ වෘත්තීයමය සුදුසුකම් ඇති තනතුරු අතර ඇති වැටුප් විෂමතාවයයි. මේ නිසා උදාහරණයක් ලෙස විද්‍යා හෝ කලා අංශයෙන් උපාධිධාරී ගුරුවරයකු හෝ කළමනාකරුවකු තම වැටුපේ ඌනතාවය ගැන කලකිරීමෙන් අලස ලෙස රැකියාව කරයි. නොඑසේ නම් තම සේවය දෙවන හෝ තෙවැනි ප්‍රමුඛතාවය බවට පත්කොට, අමතර ආදායම් මාර්ගයකට සිත යොමු කරයි. තවත් පිරිසක් ඉහළ වැටුප් සහිත පර්යේෂණ නිලධාරි, කථිකාචාර්ය, සිවිල් සේවක, නීතිඥ, රේගු නිලධාරි, බදු නිලධාරි වැනි නිලතලවලට ළඟාවීමට අවශ්‍ය සුදුසුකම් හෝ විදේශගතවීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීම සඳහා තම රැකියා කාලය හා ආයතනික සම්පත් භාවිතා කරමින් ආයතනික සේවය සඳහා තිබිය යුතු වගවීමෙන් බැහැරව කටයුතු කරමින් සිටිති.

 මෙම තත්ත්වයන් සියල්ල රාජ්‍ය ආයතනවලින් ජාතික සංවර්ධනයට කළයුතු දායකත්වය අඩපණ කිරීමට හේතුව බව ඔබට පැහැදිලි වනු ඇත.

● හේතු : යටිතල පහසුකම් හා සමාජ විෂමතා
 

 බොහෝ ආර්ථික ප්‍රගතියක් දක්වන රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය, නේවාසික ගමනාගමන ආදී අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පමණක් නොව, විනෝදාස්වාදය ලැබීම සඳහා අවැසි සේවාවන් පවා විධිමත්ව පවත්වාගෙන යති. එබැවින් එම රටවල සේවක පිරිස්වලට රාජකාරියට පැමිණීම හා රාජකාරි කාලය තුළ මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමට බාධා ඇති නොවේ. එහෙත් ලංකාවේ කවර තරාතිරමක සේවකයකු වුවද දරුවා පාසල් යැවීම, වයෝවෘධ දෙමාපියන් හා රෝගී පවුලේ සාමාජිකයන්

 රැකබලා ගැනීම, ඔවුනට සෞඛ්‍ය සේවය ලබාදීම, දුර බැහැර සිට සේවා ස්ථානය කරා ළඟාවීම, පදිංචියට කුලී නිවසක් සොයා ගැනීම, තමාටම කියා නිවසක් ඉදිකිරීම, තම වාහනය නඩත්තු කර ගැනීම, ළදරුවන් රැකබලා ගැනීම වැනි දහසකුත් එකක් පුද්ගලික කරුණු තම රාජකාරි කාලය තුළම ඉටුකර ගැනීමට සිදු වී තිබේ. මෙවන් තත්ත්වයකට මුහුණදෙන ඉතා සේවයට කැප වූ මනසකින් හෙබි සේවකයකුට පවා කාර්යක්‍ෂම හා විශිෂ්ට සේවයක් තම ආයතනය වෙනුවෙන් ලබාදිය හැකි දැයි ඔබ සිතන්නේ ද?

 මෙම තත්ත්වයට අමතරව ව්‍යාකූල සමාජ ආර්ථික තත්ත්වය හා මූලික අධ්‍යාපනයේ ඇති ඌනතා නිසා ලාංකීය පුරවැසියා විෂම සමාජ ප්‍රවනතාවල ගොදුරක් බවට පත් වී ඇත. තරගකාරී විභාග මූලික අධ්‍යාපන කඩඉම් ජය ගැනීමේදී තම සහෝදර ශිෂ්‍යයන් ප්‍රතිවාදීන් ලෙස සැලකූ සේම තම සහෝදර සේවක පිරිස් ද ප්‍රතිවාදීන් ලෙස සලකති. එබැවින් සීමිත සම්පත් හා අවස්ථා ඔවුන් සමඟ සමසේ බෙදා හදා ගැනීමට නොපෙළඹෙති. ලිංග භේදය හා භාෂා භේද මත පදනම්ව අධ්‍යාපනය ලැබූ බොහෝ අය එම

 භේදයන්ගෙන් මිදී එකම කණ්ඩායමක් ලෙස (Team work) හැසිරීමට මැලිවෙති. තවද ලිංග භේදවාදී අධ්‍යාපන ආයතනවලට කොටු වී සිටීම හා අධ්‍යාපන සුදුසුකම් සපුරාලීම වෙනුවෙන් විවාහය හා සමාජ ඇසුර පමා කළ තරුණ සේවක ප්‍රජාව, තම දෙමාපියන් හා සමාජය බලාපොරොත්තු වන විවාහ ජීවිතය හා දරුඵල ලැබීම පිළිබඳව මානසික හා ශාරීරික ගැටලුවලට මුහුණ දී සිටිති. දරුවන් සිටින සේවකයන් සමාජ ප්‍රවණතා නිසා හෝ දරු පරපුරේ අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිත භාවය මත පදනම්ව, තම කාලය හා මනස ඔවුන් සඳහා ජනප්‍රිය පාසල් සොයා ගැනීම, අමතර පංති සලසා දීම, උසස් අධ්‍යාපනය හා රැකී රක්‍ෂා අවස්ථා ලබාදීම වැනි පුද්ගලික ජීවිත අවශ්‍යතා වෙනුවෙන් කැප කරමින් සිටිති. මීට අමතරව ඔවුන් තවත් ඊනියා සමාජ ප්‍රවණතාවක් වන දිදුලන නිවසක්, නවීන වාහනයක්, නව ගෘහ භාණ්ඩ වැනි පුද්ගලික ඉලක්ක හඹා යමින් සිටිති. මේ ආදී තම ආදායමට ඔරොත්තු නොදෙන වියදම් පියවා ගැනීම උදෙසා ඔවුහු තම ආයතනය වෙනුවෙන් කැපවීම පසෙක තබා අමතර ආදායම් මාර්ග හෝ වංචනික ක්‍රියා කෙරෙහි ද පෙළඹෙති.

● හේතු : ආයතනික ගැටලු
 

 පූර්ණ රාජ්‍ය ආයතනවලට අරමුදල් වෙන් කෙරෙනුයේ අදාළ අමාත්‍යාංශය හරහා බැවින් ඒ ඒ ආයතන පාලනය අමාත්‍යාංශයේ සුහදත්වය මත රඳා පවතී. ඒවායේ ලේකම් හා උප ලේකම්වරු, මාරුවන වාරයක් පාසා ආයතනික වැඩසටහන්වලට බාධා ඇතිවිය හැක. අමාත්‍යවරුන්ගේ බලපෑම ද මීට හේතු වේ. ආයතනවලට තම අරමුණු මත පිහිටු වූ ව්‍යාපාරික සැලසුම් හා වැඩසටහන්වල ප්‍රගතියක් අත්පත් කර ගැනීමේදී මෙය මහත් පීඩාවක් ඇති කරයි. මීට අමතරව සමහර අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශ විෂයට සම්බන්ධ ව්‍යාපාරික කණ්ඩායම් හා ඒවායේ අනිසි ප්‍රතිලාභී විද්වතුන් සමඟ පවත්නා පුද්ගලික සම්බන්ධතා මත තීන්දු තීරණ වෙනස් කරති. මේ සඳහා ඔවුනට විවිධ වරදාන ලැබේ යැයි ආරංචි පවතී. ආයතනික කාර්ය මණ්ඩලවල ක්‍රියාපටිපාටි ය දමෙම ආකාරයෙන්ම බලපෑමට ලක්වෙයි. එබැවින් මෙම අමාත්‍යාංශ හා ඒවා යටතේ පවත්නා ආයතනවල කැපවීමෙන් වෘත්තියේ යෙදෙන බහුතරය ඉහත දැක්වූ දුර්දාන්ත, නිලධාරි අතළොස්සකගේ දැඩි හස්තය යටතේ අකර්මණ්‍ය භාවයට පත්වෙති. මෙම ආයතනික පද්ධතියේ උසස්වීම් ලැබෙන්නේ දක්‍ෂතා මත නොව හුදු වෘත්තීය ජ්‍යෙෂ්ඨත්වය මත බැවින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තම අත්තනෝමතික තීන්දු තීරණවලට එරෙහි වන්නන් හට දඬුවම් පමුණුවන බැවින් මෙම දුර්දාන්ත පාලන තන්ත්‍රය එලෙසම ගලායයි.

 අර්ධ රාජ්‍ය ආයතන වන විශ්වවිiාල, සංස්ථා, මණ්ඩල ආදිය අමාත්‍යාංශ මත එතරම් රඳා නොපවතින නමුත්, සාමූහික කැමැත්ත මත පිහිටුවාගත් පාලක මණ්ඩල මගින් ඒවා පාලනය වන බැවින් අවස්ථාවාදී නිලධාරි කණ්ඩායම් තම පුද්ගලික වාසිය අරභයා මෙම ආයතනවල නිල තනතුරු ස්වාධීන මතධාරීන්හට තනතුරු ලැබීමට අති අවස්ථාව කෙසේ හෝ වළකාලයි. මේ සඳහා කනිෂ්ඨ නිලධාරීන් හා සාමාන්‍ය සේවක පිරිස්වල කැමැත්ත හා සහයෝගය අවශ්‍ය බැවින් මෙම බාල – ජනප්‍රියතාව මත තනතුරු හොබවන නිලධාරීන් හා විද්වතුන්, ආයතනික දියුණුව අරභයා ගත යුතු දැඩි තීන්දු තීරණවලට එළඹීමට මැලිවන බැවින් මෙම ආයතනික පද්ධතිය ද සැලකිය යුතු ප්‍රගතියකින් තොරව ඉදිරියට ගලා යයි. තවද මේවායේ උපකුලපති, සභාපති වැනි විධායක තනතුරු දේශපාලනමය පත්වීම් වීම හේතුවෙන්, දේශපාලන නැඹුරුතාවය මත බලවත් කණ්ඩායම් පරිපාලනමය වාසි ලබන අතර ඊට විරුද්ධ කණ්ඩායම් ද්වේශසහගත ලෙස හා කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරති. වෘත්තීය සමිති ව්‍යාපාර හා ශිෂ්‍ය ව්‍යාපාර මීට කදිම නිදසුන් වෙති.

● පිලියම් :

 ඉහත දැක්වූ කනගාටුදායක ආයතනික ස්වභාවය මැනැවින් අධ්‍යයනය කරන්නෙකුට ඉදිරි කාලයේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව IMF  හෝ වෙනත් ආයතනයක ඉල්ලීම් පදනම් කරගෙන හෝ හුදෙක් ආයතනික ප්‍රගතිය අත්පත් කර ගැනීම සඳහා කලින් සඳහන් කළ හේතු සාධක මඟහරවා ගැනීම අරභයා පිළියම් රාශියක් යෙදිය යුතු බව සක්සුදක් ලෙස පැහැදිලි වනු ඇත. මේවා කොතරම් ජනප්‍රිය නොවන තීරණ වුව ද අප මීළඟ පරම්පරාව මෙම ආර්ථික ව්‍යසනයෙන් ගලවා ගැනීමට නම් එම පිළියම්වලින් අපට බැහැර විය නොහැකි වේ.

● පොදු පියවර

 1. අත්‍යවශ්‍ය සේවා නොසපයන ආයතන වසා දමා ඒවායේ සම්පත් හා අරමුණු වෙනත් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීම හා පැවරීම.

 2. අතිරේක සේවක පිරිස් අඩුකර සමස්ත රාජ්‍ය සේවක පිරිස් 30 – 40% කින් අඩු කිරීම.

 3. රැකියා අහිමිවන්නන් ආර්ථිකයේ දුර්වල අංශ ශක්තිමත් කළ හැකි ස්වයං රැකියා හෝ නව ආයෝජන අවස්ථා වෙත යොමු කිරීම.

 4. ආයතනික පිරිවැය 50 – 60% කින් අඩු කිරීම හා එය ප්‍රගති සමාලෝචන හා බාහිර අධීක්‍ෂණ කමිටු වාර්තා මත තීරණය කිරීම.

 5. සේවකයන් පත්කිරීම හා උසස් කිරීමේදී දේශපාලන හෝ නිලධාරිවාදී බලපෑම්වලින් නිදහස් කිරීම හා පදිංචියට ආසන්න ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබාදීම.

 6. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සේවය කොන්ත්‍රාත් පදනමට යටත් කිරීම හා ප්‍රගතිය මත පිහිටුවා සේවය දික්කිරීම හා වැටුප් වර්ධක ලබාදීම.

 7. සියලුම රාජ්‍ය ආයතනවල වැටුප් තලයන් සුදුසුකම් හා විශිෂ්ටතා මත පදනම් වූ එකම පරිමාණයකට ගෙන එන හා වෘත්තීය හා වෙනත් දීමනා මූලික වැටුපෙන් 30% කට සීමා කිරීම.

 8. සියලුම පුරවැසියන්ගේ ජීව – දත්ත පරිගණකගත කිරීම තුළින් සේවා හා ආදායම් වාර්තා විනිවිද භාවයකට ලක්කිරීම.

 9. රාජ්‍ය සේවකයන් හට අමතර ආදායම් අරභයා පෞද්ගලික සේවයේ යෙදීම තහනම් කිරීම හෝ ඔවුන් අර්ධකාලීන සේවාමුර සඳහා අනුයුක්ත කිරීම.

 10. රාජ්‍ය ආයතන තුළ පවත්වාගෙන යන වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංගම් තම වෘත්තීයමය හා සුබසාධන අවශ්‍යතා සඳහා සීමා කිරීම හා ඔවුනගේ විරෝධතා ආයතනික කාර්යයන්ට හා ජන ජීවිතයට බාධා නොවන මට්ටමට සීමා කිරීම.

● විශේෂිත පියවර
 

 (a) ආයතන කාණ්ඩ -I

 1. මෙම ආයතන කාණ්ඩයේ සියලුම ලාභ ලැබිය යුතු ආයතන පොදු පියවර තුළින් වසරක් තුළ ලාභ අපේක්‍ෂාවෙන් කරන ලාභ නොවෙයි නම් මේවා පෞද්ගලිකකරණය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම පියවර කීපයක් තුළ සිදුකිරීම.

 (b) ආයතන කාණ්ඩ – II

 1. පොදු සේවා සපයන මෙම ආයතනවල ප්‍රගතිය ඇගයීම හරහා සෙසු රාජ්‍ය සේවකයන්ගේ හා අනෙකුත් සේවාදායකයන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, පරිසර, ආරක්‍ෂක, ගමනාගමන වැනි අවශ්‍යතා සපුරාලීම දියුණු කිරීම.

 2. තනතුරුවලට පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට අමතරව වෘත්තීයමය ප්‍රගතිය සැලකිල්ලට ගැනීම හා කාල සීමාව වසර 3 – 6 කට සීමා කිරීම.

 3. ආයතනික පිරිවැයෙන් 30 – 50% ප්‍රමාණයක් වසර 10 ක් තුළ උපයා ගන්නා බවට පත්කිරීම හා ඉතිරිය සේවාලාභීන්ගේ සතුටුදායක ප්‍රතිචාර හා ජාතික ආර්ථිකයට දක්වන සෘජු හා වක්‍ර දායකත්වයෙන් ආවරණය කිරීම.

 (C) ආයතන කාණ්ඩ -III

 1. ඉහළම විධායක තනතුරු පිරවීම පාලක සභාවේ නිර්දේශ, වෘත්තීයමය ප්‍රගතිය හා අයැදුම් කිරීමේ හැකියාවට යටත් කොට දේශපාලනමය  ඇඟිලිගැසීම්වලින් තොරව සිදුකිරීම.

 2. සෙසු නිලතල සඳහා පත්කිරීමේදී වෘත්තීයමය ප්‍රගතිය හා ජ්‍යෙෂ්ඨත්වයේ සම මිශ්‍රණයක් ලෙස සිදුකිරීම හා ප්‍රගතිවාර්තාමත පදනම්ව සේවය දීර්ඝ කිරීම.

 3. ආයතනික පිරිවැයෙන් 50% ක් වසර 5 ක් තුළ උපයාගන්නා මට්ටමකට ගෙන ඒම හා සෙසු 50% වක්‍ර ලෙස ආර්ථිකයට දායක වන බව තහවුරු කිරීම.

 ඉහත විස්තර කළ විවිධ හේතුකාරණා කරණකොට ගෙන රාජ්‍ය සේවය හරහා ලක්රජයත්, ජනතාවත් බලාපොරොත්තු වන දායකත්වය රටේ සංවර්ධන ක්‍රියාවලියකට ලැබෙනුයේ ඉතා අල්ප මාත්‍රව බව ඉතා පැහැදිලි වේ.

 මෙම ලිපියේ පළමු කොටස සැප්තැම්බර්  30 වැනිදා පළවිය.

පාලිත වීරක්කොඩි
 (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,පේරාදෙනිය විශ්වවිද්‍යාලය)

advertistmentadvertistment
advertistmentadvertistment