ඔව්…අපි බලාගෙන ඉන්නේ අනුර උසාවි එනකම්! – සාගර කාරියවසම්

477

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මෝල්ටාවේ මුදල් ආයෝජනය කර ඇති බවට කර ඇති ප්‍රකාශයක් පදනම් කර ගනිමින් එම පක්‍ෂයේ නායක අනුර කුමාර මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වෙත එන්තරවාසියක් යොමුකර ඇත. එම එන්තරවාසිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් මහ ලේකම්වරයා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා ඔබ වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා. එම එන්තරවාසිය මගින් බිලියන 10ක වන්දියක් ගෙවන ලෙසත්, එසේ නොමැති වුවහොත් නඩු පවරණ බවත් ප්‍රකාශ කර තිබෙනවා.එහෙත් ඔබ මේ වනවිටත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔබ විසින් කරන ලද චෝදනාව අධිකරණය හමුවේ ඔප්පු කිරීමේ හැකියාව තිබෙනවා ද?

පිළිතුර – අනුර කුමාර මහත්මයා සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණයක් හමුවට එනතුරු අපි බලාගෙන සිටිනවා. අනුර කුමාර කියන්නේ මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරපු රටට ආදරය කරන නායකයන්ව විනාශ කිරීමේ අපේක්‍ෂාවෙන් කටයුතු කරන මේ රටේ ජනතාව බොරුවෙන් මුලා කරපු බොරුවම මත පදනම් වෙලා කටයුතු කරපු නායකයෙක්. සාමාන්‍ය තත්ත්වය යටතේ අනුර කුමාර කියන බොරු රටට හෙළිකරන්න බැහැ. නමුත් එතුමා අධිකරණයක් හමුවට ඇවිත් දිවුරුම් දීලා සාක්‍ෂි ලබා දෙනවා නම් අපිට පුළුවන් එතුමා මේ දක්වා කරන ලද බොහෝ ප්‍රකාශ සත්‍යයෙන් තොර බව පෙන්වා දෙන්න.

ඔවුන් ප්‍රකාශ කළා හම්බන්තොට වරායේ ගලක් තිබෙන නිසා නැව්වලට එම වරායට පැමිණිය නොහැකි නිසා එම වරාය පිහිණුම් තටාකයක් ලෙස පමණක් යොදා ගත හැකි බව. නමුත් අද වනවිට එම වරායට ලෝකයේ තිබෙන විශාලතම නැව් පවා පැමිණෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් කොටස්කරුවන් ලෙස සිටිය යහපාලන ආණ්ඩු සමයේදී එම වරාය චීනය මිලදී ගත්තා. ඒ වගේම මත්තල ගුවන්තොටුපළේ මොණරුන් සහ අලින් සිටින නිසා එම ගුවන්තොටුපළට ගුවන් යානා වලට පැමිණිය නොහැකි බව ප්‍රකාශ කළා. කොමිස් ලබා ගැනීම සඳහා ගුවන්තොටුපළ ඉදිකරන බව තමයි මොවුන් ප්‍රකාශ කළේ. නමුත් අද වනවිට දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරයේ විශාලතම ශක්තිය බවට එම ගුවන්තොටුපළ පත්වී තිබෙනවා.

ෆෝට්සිටිය 2018 වනවිට ඉදිකර අවසන් කිරීමට තිබුණා. එලෙස කටයුතු කිරීමට හැකි වූවානම් එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ මේ වනවිටත් ජනතාවට ලැබිලා. විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබිලා. නමුත් ෆෝට්සිටිය ඉදිකිරීම සඳහා කළුගල් ලබා ගැනීමට සීගිරි ගලත් කඩන්න වෙනවා කියලා ජනතාවට බොරු ප්‍රකාශ කරලා එම ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කළා. අද වනවිට එම ව්‍යාපෘතිය අවසන් වෙලා තිබෙනවා. නමුත් මේ රට කිසිදු කළුගල් හිඟයකට මුහුණ දීලා නෑ.

ඒ වගේම නාමල් රාජපක්‍ෂ ලැම්බෝගිනි වර්ගයේ රේසින් කාර් 19ක් ආනයනය කළා කියලා බොරු කිව්වා. අනුර කුමාර අධිකරණය හමුවට එනවා නම් එම ප්‍රකාශයන් පිළිබඳව අපි ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවට අන් සියල්ලටම වඩා අනුර කුමාර කර ඇති එබඳු ප්‍රකාශ පිළිබඳව විමසීම වැදගත් වෙනවා. එම නිසා අනුර කුමාර මහතා අධිකරණය හමුවේ නඩු පවරණ තුරු අපි බලාගෙන සිටිනවා.

ප්‍රශ්නය – මෝල්ටාවේ මුදල් ආයෝජනය කර ඇති බවට කළ ප්‍රකාශය අධිකරණය හමුවේ ඔප්පු කිරීමේ හැකියාව තිබෙනවාද?

පිළිතුර – අනුර කුමාර මහතා අධිකරණය හමුවේ නඩු පවරණ බව ප්‍රකාශ කර ඇති නිසා මම මෙම අවස්ථාවේදී ඒ පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නැහැ. කෙසේ වුවත් එම ප්‍රකාශය පළමුවෙන්ම කළේ මම නොවෙයි. එම ප්‍රකාශය කළේ ඔවුන් සමග කලක් කටයුතු කරලා දැන් විරසක වෙලා සිටින දුමින්ද නාගමුව මහතා විසින්.

ප්‍රශ්නය – දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කරලා තිබෙනවා නේද මෝල්ටාවේ මුදල් ආයෝජනය කර ඇති බව ප්‍රකාශ නොකළ බව.

පිළිතුර – දුමින්ද නාගමුව මහතා තමයි විදේශ දූපතක මුදල් ආයෝජනය කිරීමක් පිළිබඳව සඳහන් කළේ. එම නිසා එතුමාගෙන්ම ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු විමසනවා නම් තමයි වඩාත් සුදුසු වන්නේ.

ප්‍රශ්නය – අනුර කුමාර මහතා මේ දක්වා දුමින්ද නාගමුව මහතා වෙත එන්තරවාසියක් යොමුකර නැහැ. දුමින්ද නාගමුව වෙත එන්තරවාසියක් යොමු නොකර ඔබ වෙත පමණක් එන්තරවාසියක් යොමු කිරීම පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – තමන්ට පළමුවෙන්ම චෝදනාව කළ පුද්ගලයාට නඩු නොදමා මට නඩු දැමීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ අනුර කුමාරගේ තිබෙන බංකොලොත්කම තමයි. කෙසේ වුවත් අනුර කුමාර මහතා මට නඩු දානවානම් මම එයට ඉතාම කැමතියි. ඒ තුළින් අනුර කුමාරගේ සැබෑ කෙරුවාව හෙළිදරව් කිරීමට අවස්ථාව උදාවේවි කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය – අනුර කුමාර මහතා නඩු පැවරීමට කටයුතු කළහොත් මීට පෙර ඔහු විසින් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව අධිකරණය හමුවේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව ඔබ සඳහන් කළා.ඇයි අනුර කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට කරන ලද චෝදනා පිළිබඳව මීට පෙර නීතිමය පියවර නොගත්තේ.

පිළිතුර – අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේදී විවිධ ප්‍රකාශ කරන්නේ වරප්‍රසාදයන්ට මුවාවෙලා. නමුත් පාර්ලිමේන්තුවෙන් පිටදී චෝදනා කිරීමේදී නිශ්චිතව තමන් හෝ වංචාවක් සිදුකර ඇති ආකාරය පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. රාජපක්‍ෂලා හොරකම් කරලා කියලා කිව්වට නඩු දාන්න බැහැ. මොකද පාර්ලිමේන්තුවේම රාජපක්‍ෂලා 15ක් පමණ සිටිනවා. විජයදාස රාජපක්‍ෂ, ගුණතිලක රාජපක්‍ෂ, තිලක් රාජපක්‍ෂ ආදී වශයෙන් සිටිනවා. එම නිසා රාජපක්‍ෂලා හොරකම් කරලා කිව්ව පමණින් නඩු දාන්න බැහැ.

පසුගිය දිනක නාමල් රාජපක්‍ෂ මහතාට විදුලි බිලක් සම්බන්ධයෙන් චෝදනාවක් කළා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු මේ වනවිට අප සොයමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපි නඩු කටයුත්තකට යනවා. ඒ ආකාරයට නිශ්චිතව සඳහන් කරනවා නම් අපිට අධිකරණය හමුවට යෑමේ හැකියාව තිබෙනවා. එසේ නොමැතිව රාජපක්‍ෂලා හොරකම් කරනවා, කොමිස් ගන්නවා කියලා කිව්වාට අධිකරණය හමුවට යන්න බැහැ. අනුර කුමාර මහතාත් දන්නවා එසේ කිව්වාට නඩු නිමිත්තක් පැන නොනගින බව.

ප්‍රශ්නය – අනුර කුමාර මහතා වංචා දූෂණ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව ද ඔබ සඳහන් කරන්නේ?

පිළිතුර – අනුර කුමාර මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් බැසිල් රාජපක්‍ෂ මහතාට විවිධ චෝදනා කළානේ. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම චෝදනා සහ වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා අනුර කුමාර මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් පත් කළා. එම කමිටුව රැස්වූයේ අරලියගහ මන්දිරයේදී. එම කමිටුවෙන් අවසානයේදී බැසිල් රාජපක්‍ෂ මහතාට නඩු දැම්මේ මොන වංචාවක් දූෂණයක් කළාටද? කිසිදු වංචාවක් දූෂණයක් සොයා ගන්න එම කමිටුවට බැරි වුණා. නමුත් අවසානයේදී ඔවුන් නඩු දැම්මේ ප්‍රාදේශීය සභාවලට ගැල්වනයිස් බට බෙදීම, සමෘද්ධිලාභීන්ට ලිතක් මුද්‍රණය කර බෙදාදීම, සමෘද්ධිලාභීන්ට ඔවුන්ගේ නිවාසවල තීන්ත ආලේප කර ගැනීම සඳහා ඔවුන්ගේම අරමුදලින් මුදල් ලාබදීම යන සරල කිසිදු පදනමක් නොමැති කාරනා පදනම් කරගෙන. අවසානයේ දී එම චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකිව බැසිල් රාජපක්‍ෂ මහතා නිදොස් කොට නිදහස් කළා. ඒක තමයි අනුර කුමාර මහතා කරන චෝදනාවල යථාර්ථය.

එම නිසා අපි අනුර කුමාර මහතාට කියනවා වංචාවක්, දූෂණයක්, සොරකමක් සිදුකර ඇත්නම් එය සිදුකර ඇති පුද්ගලයාගේ නම සහ එම හොරකම සිදුකර ඇති ස්ථානය පිළිබඳව නිශ්චිතව සඳහන් කරන්න කියලා. ඒ ආකාරයට චෝදනා කරනවා නම් අපි ලෑස්තියි නඩු දාන්න.

මේ රටට අපමන සේවයක් කළ ධර්මපාලතුමාටත් පොට්ටනිකාරයා කියලා අපහාස කළ අය එදා සිටියා. එදා ජනතා විමුක්ති පෙරමුණ තිබුණේ නැතත් එම අදහස් දරන පුද්ගලයන් එදත් සිටියා. ඔවුන් තමයි ධර්මපාලතුමාට මේ රටත් එපා කළේ. ධර්මපාලතුමා අවසානයේදී ඉන්දියාවට ගිහින් තමන්ගේ මිනියවත් මේ රටට ගේන්න එපා කියලා කිව්වා. එතුමා එතරම් කලකිරීමට පත්වූවා. එතුමා එම තත්ත්වයට පත් කළේ අද ජනතා විමුක්ති පෙරමුණේ සිටින අය වගේ අය තමයි.

එවැනි පුද්ගලයන් අදත් මේ සමාජයේ සිටිනවා. නමුත් වාසනාවකට එබඳු පුද්ගලයන් සිටින්නේ 3%ක් වගේ ප්‍රමාණයක් තමයි. එම නිසා එම තත්ත්වය මේ රටට එතරම් ප්‍රශ්නයක් බවට පත්වී නොමැති වීම වාසනාවක් ලෙස මම දකිනවා.

ප්‍රශ්නය- මීළඟ ජනාධිපතිවරණය සඳහා තම පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස අනුර කුමාර මහතා ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ප්‍රකාශයට පත් කළා. ඒ වගේම සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන බවත් පැහැදිලියි. නමුත් මේ දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකාශයට පත්කරලා නැහැ. එම ප්‍රමාදයට හේතුව කුමක් ද?

පිළිතුර – ඔබ මගෙන් විමසන්නේ කවදා තිබෙන ජනාධිපතිවරණයක් පිළිබඳවද?

ප්‍රශ්නය – ලබන වසරේ නොවැම්බර් මාසයේදී පමණ.

පිළිතුර – ඒ කියන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා වසරකුත් මාස කිහිපයක් තිබෙනවා. එතරම් කාලයක් තිබියදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු නම් කිරීම සුදුසු වන්නේ නැහැ. එය දේශපාලන පක්‍ෂයක් විසින් කළ යුතු දෙයක් ලෙස මම දකින්නේ නැහැ. එම මැතිවරණය පවත්වන අවස්ථාවේදී එම කාලයට ගැලපෙන, ලෝක දේශපාලන තත්ත්වයට ගැලපෙන අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඉතිහාසය අරගෙන බැලුවත් අපි එහෙම තමයි කටයුතු කරලා තිබෙන්නේ. අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේ එම මැතිවරණයට මාස තුනකට කලින්. වෙනත් පක්‍ෂ අරගෙන බැලුවත් ඒ ආකාරයට කටයුතු කර තිබෙනවා. සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේ එම මැතිවරණයට මාසයකට පෙර. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළේ නාමයෝජනා කැඳවූ දිනයේ.

අපි ළඟ මේ රට තුළ ඇතිවිය හැකි සියලු තත්ත්වයට ගැලපෙන අපේක්‍ෂකයන් කිහිප දෙනකුම සිටිනවා. එම නිසා සුදුසු වෙලාවෙදි දිනන අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්න අපට පුළුවන්කම තිබෙනවා.

සාකච්ඡා කළේ එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment