කොවිඞ් හොයන්න පේරාදෙණියෙන් අලූත් යන්ත‍්‍රයක්

313

කොවිඞ් වසංගතය ආරම්භ වූ දා සිටම විවිධ මානයෙන් අත්හදා බැලීම් සිදු කරමින් විවිධ වූ නව නිර්මාණ සමාජ ගත කරන්නට වෙර දැරුවෝ අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්වතුන්ට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි. මන්ද ඔවුහු නිරතුරුවම කොවිඞ් වෛරසයෙන් ආරක්ෂාවීම පිණිසත් කොවිඞ් වෛරසය හඳුනාගැනීම සඳහාත් වන නව නිර්මාණ බිහි කළ බැවිනි.

ඔවුහු මෙවර කැපව ඇත්තේ නොදැනුවත්ව හෝ පර්යේෂණයන්ගෙන් ගිලිහෙමින් වෛරසය සමාජගත කරන පිරිස් නතු කරගැනීමට හැකි උපකරණයක් ලොවට දායාද කරන්නටය. එය කොවිඞ් අතරමැදි පරීක්ෂණ කට්ටලය ලෙස හඳුන්වා තිබේ. RT LAMP යන කෙටි නාමයෙන් හඳුන්වන එය (Reverse Transcription Loop Mediated Isothermal Amplification) ලෙස නම් කර ඇත.

අතරමැදි පරීක්ෂණ කට්ටලය නිර්මාණයේ ලා තිදෙනකුගේ දායකත්වය මුසුව තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුභිෂක්වේදය සහ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානී ආචාර්ය රුචික ප‍්‍රනාන්දු, මහනුවර ජාතික රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල යන විද්වතුන්ය ඒ. කොවිඞ් වෛරසය ආසාදිත වූ පිරිස වහා හඳුනා ගත හැකි නම්, ඔවුන් ප‍්‍රතිකාර සඳහා කඩිනමින් යොමු කිරීමේ හැකියාව තිබෙන්නේය. තවද ආසාදිත බව හඳුනා ගත් වහාම තවත් අයට බෝ කිරීමට ඇති ඉඩකඩ සීමා කිරීම සඳහා පියවර ගත හැකි වන්නේය. අද වන විට යම් පුද්ගලයෙක් තමන්ට කොවිඞ් වෛරසය ආසාදිතව ඇත්ද යන්න පරීක්ෂා කරගැනීම සඳහා කරගත යුතු වන්නේ පීසීආර් පරීක්ෂණය හෝ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණය ය. පීසීආර් පරීක්ෂණයක් සිදු කළද ප‍්‍රතිඵල ලැබීමට දින හයකවත් කාලයක් ගතවනු ඇත. රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප‍්‍රතිඵලයේ නිවැරදි බව සියයට පනහක් පමණ වෙයි. එහෙයින් සමාජයේ වෛරසය ආසාදිත පිරිස නිවැරදිව සොයා ගැනීමේ අපහසුතාවයක් මේ අදටත් ඇති බව සත්‍යයකි.

තවද, තමන්ගේ සිරුරේ කොවිඞ් වෛරසය ඇති බව නොදැන තමන්ගේ ආදරණීයයන්ට එය බෝ කරන පිරිසද එමට සිටී. නැතහොත් ඉහත කී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය වුවත් ප‍්‍රතිඵලය නෙගටිව් වීම මත තමන් ආසාදිතයෙක් නොවන බව සිතා සිටින ආසාදිතයන් ද සමාජයේ එමට සිටිති. ඒ අතර පීසීආර් පරීක්ෂණයට මුහුණ දී ප‍්‍රතිඵල පැමිණීමේ ප‍්‍රමාදය හේතුවෙන් දෛනික කටයුතු වල යෙදී සිටින ආසාදිතයන් ද සිටී. මෙම කුමන කොටසකට අයත් පිරිසක් වුවද, තවත් පිරිසකට වෛරසය පැතිරවීමට නොදැනුවත්ව හෝ කටයුතු කර බැවින්, එය වළක්වා ලීමට නම් කුමන හෝ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇත. මෙම අතරමැදි පරීක්ෂණ කට්ටලය හෙවත් RT LAMP පිහිටට එන්නේ මෙම අවස්ථාවේදීය.

එය නිර්මාණයේ ලා කැපවවූ විද්වතුන් අතරින් ආචාර්ය රුචික මහතා කියා සිටියේ මෙවැන්නකි.

”මෙම උපකරණ කට්ටලය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ කෙටි කාලයකින් ක්ෂේත‍්‍රයේ සිටින ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම. මොකද පීසීආර් පරීක්ෂණයක් සිදු කළත් එහි ප‍්‍රතිඵලය ලබා ගැනීමට පැය අටකවත් කාලයක් ගත වෙනවා. මේ කාලයේ නම් දින ගණනක් පවා ගත වෙනවා. නමුත් මේ නවතම අතරමැදි පරීක්ෂණ කට්ටලයෙන් පැය දෙකක වැනි කෙටි කාලයකදි නිවැරදි ප‍්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පීසිආර් පරීක්ෂණයකින් ගන්නා ප‍්‍රතිඵලයකදි ප‍්‍රතිඵල වෙනස් වන අවස්ථා තිබෙනවා. සිරුරේ ඇති කොවිඞ් වෛරස ප‍්‍රමාණය අඩු අවස්ථාවකදි හෝ මියගිය වෛරස් කොටස් ඇති අවස්ථාවක වුවත් පීසීආර් ප‍්‍රතිඵලය පොසිටිව් විය හැකියි. අප මෙම පරීක්ෂණ කට්ටලය සකස් කර තිබෙන්නේ, සීටී වැලිව් ( CT VALUE) එක තිස්දෙකට වැඩිය ඉහළ අගයක් ගන්නා අවස්ථාවලදි පොසිටිව් ලෙස පෙන්නුම් කරන්නේ නැති ලෙසටයි. මේ කියන සිටි වැලිව් එක මත රෝගියාගේ ශරීරයේ ඇති වෛරස් ප‍්‍රමාණය තීරණය කරනවා. සීටී වැලිව් එක ඉහළ අගයක් ගන්නා අවස්ථාවක් හෙවත් 32 ක අගය හෝ ඊට වැඩියි කියන්නේ රෝගියකුගේ ශරීරයේ වෛරස් ප‍්‍රමාණය අඩුයි කියන එක. සීටී වැලිව් එකේ අගය පහළ අගයක් 20 – 25 වැනි හෝ ඊටත් අඩු අගයක් ගන්නා අවස්ථාවක් කියන්නේ වෛරස් ප‍්‍රමාණය වැඩි හයි පොසිටිව් තත්ත්වයක්. එවන් ඔනෑම තත්ත්වයකදි නව පරීක්ෂණ කට්ටලයේ ප‍්‍රතිඵල නිවැරදිව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික අම්ලය ගුණනය මගින් හඳුනා ගන්නා පරීක්ෂණ සිදු කිරීමෙන් ලැබෙන ප‍්‍රතිඵලවල නිවැරදි බව ඉහළ තැනක පවතිනු ඇති යන්නයි. මෙම පරීක්ෂණ (NucleicAcid Amplification Test හෙවත් NAAT) ලෙස හඳුන්වනවා. අප සොයා ගත් RT LAMP නව පරීක්ෂණ ක‍්‍රමයත් එම ගණයට අයත් එකක්.

තවත් වැදගත් කරුණක් වන්නේ RT LAMP පරීක්ෂණ ප‍්‍රතිඵලයේ නිවැරදිභාවය සියයට අනූහයක් පමණ වනවා. ජාතික ඖෂධ අධිකාරිය මගින් ස්වාධීන කමිටුවක් පත්කොට පීසීආර් පරීක්ෂණ සිදු කළ රෝගීන් සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. එහදී පීසීආර්

මගින් කොවිඞ් බවට තහවුරු කරගත් රෝගීන් සිය දෙනකු RT LAMP පරීක්ෂණයට ලක්කළා. ඉන් අනූහය දෙනකු ම නිවැරදිව හඳුනා ගැනුණා. අද මිනිසුන්ට තිබෙන ලොකුම ගැටලූව තමන්ට කොවිඞ් ආසාදනය වී ඇත්ද යන්න නිවැරදිව මැනබලා ගත හැකි පහසු ක‍්‍රමයක් නැති වීම. මොකද පීසීආර් පරීක්ෂණ සිදු කළ ඇතැමුන් ඇන්ටිජන් පරීක්ෂණයට නතු කරීමේදී කොවිඞ් ආසාදිත බව තහවුරු වන්නේ නැහැ. RT LAMP පරීක්ෂණ මගින් කරන පරීක්ෂණවලදි එලෙස මග හැරීමක් හෝ අතපසුවීමක් සිදු නොවී නිවැරදි ප‍්‍රතිඵල ලැබෙන බවට සායනික පරීක්ෂණ මගින් තහවුරු කර තිබෙනවා.”

පීසීආර් පරීක්ෂණයක් සඳහා වන යන්ත‍්‍රයක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන හයකට වැඩි මුදලක් වැයවේ. එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශයට මේ වන විට මෙම යන්ත‍්‍රසූත‍්‍ර ගෙන්වීම සඳහා විශාල මුදලක් වැය කිරීමටද සිදුව තිබේ. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක මිලද රුපියල් දහසක් පමණ වෙයි. නව RT LAMP උපකරණය නිපදවූ කණ්ඩායම පවසන පරිදි, RT LAMP කට්ටලය සඳහා අවශ්‍ය වන්නේ උෂ්ණත්වය නියතව පවත්වා ගෙන යා හැකි උපකරණයක් වන Heating block පමණි. ඒ සඳහා වැය වන මුදල රුපියල් හතලිස් දහසක් පමණි. සෙන්ටිගේ‍්‍රට් අංශක හැටපහක උෂ්ණත්වය යටතේ විනාඩි තිහක් රත් කිරීමට භාවිත කර ගන්නා මෙවන් උපකරණ ආනයන කිරීමට හෝ මෙරට තුළ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබේ. ඒ අනුව රුපියල් එක්දහස් පන්සියයක් වැනි මිලක් යටතේ මෙම පරීක්ෂණ කට්ටලය වෙළෙඳපොළට හඳුන්වා දිය හැකි බවද මෙම කණ්ඩායම කියා සිටී.

RT LAMP නව පරීක්ෂණ කට්ටලය සඳහා භාවිත කරන්නේ පුද්ගලයකුගේ ශ්ලේෂ්මල පටලය. පීසීආර් හෝ රැපිඞ් ඇන්ටිජන් සඳහා ලබාගන්නා සාම්පලම මේ සඳහා භාවිත කළ හැකිය.

මේ වන විට දියුණු රටවල් බොහොමයකම කොවිඞ් ආසාදිත බව පරීක්ෂා කර ගැනීම සඳහා ජනතාවට පෞද්ගලිකව අවස්ථාවන් සලසා දී තිබේ. උදාහරණයක් ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමිලයේ ලබාදීම හෝ පෞද්ගලික ඖෂධහල් මගින් මිලදී ගෙන සිදු කර ගැනීමේ හැකියාව සපයා තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද ලංකාවේ තවමත් එවැනි තත්ත්වයක් උදා වී නැති බැවින් මෙවන් පරීක්ෂණ කට්ටල වුවද ජනතාව අතරට නොයනු ඇත්ද යන්න ප‍්‍රශ්නාර්ථයක් ඉතිරිව ඇත. එවන් ප‍්‍රශ්නාර්ථයකට තවත් හේතුවක් වන්නේ කොවිඞ් වසංගත සමයේ නිපදවන ලද නව නිර්මාණ බොහොමයක්ම මේවන විට ජනතාව අතරට ගොස් නොතිබීමය.

විශ්වවිද්‍යාලයක බිහිවන ජනතාවාදී නව නිර්මාණයක් සමාජ ගත කිරීමේ වගකීම ඇත්තේ බලධාරීන්ටය. මෙවන් නිර්මාණ බිහිකරීම උදෙසා පසුබිම් සහාය ලබා දීමේ පුරෝගාමියා වූයේ උපකුලපති මහාචාර්ය එම්. ඞී. ළමාවංශ මහතා ඇතුළු නිළ මඩුල්ලය. නව නිර්මාණයේ ඉදිරි පැවැත්ම උදෙසා මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙවැන්නකි.

” මේ වන විට RT LAMP නව පරීක්ෂණ කට්ටලය සඳහා දේශීය පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීම සඳහා කටයුතු සිදු කර අවසන්. මෙය අප සෞඛ්‍ය අමාත්‍යංශයේදී අමාත්‍යවරයා වෙත හඳුන්වා දුන් අවස්ථාවේදී ඊට හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. මෙම කට්ටලය නිෂ්පාදනය කිරීම සඳහා වන කටයුතු මේ වන විට සාර්ථක ලෙස පවතිනවා. ඉදිරියේදී සුභවාදී ප‍්‍රතිඵලයක් ලැබෙන බවට මට හොඳ විශ්වාසයක් තිබෙනවා…” මහාචාර්යවරයා කියා සිටියේය.

එසේ නම් මෙම පරීක්ෂණ කට්ටලය මගින් ජනතාවට සේවය සැපයෙන කාලය වැඩි ඈතක නොවනු ඇත. වසංගතය පාලනය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මෙහි සේවය ලබා ගන්නා තෙක් අපිද බලා සිටිමු.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment