ක්‍රෙඩිට් කාඞ්පත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට බාධාවක් නැහැ – මහ බැංකු මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන්

434

වෙළෙඳාමට  භාණ්ඩ ලබාගන්න  ණය කාඞ්පත්  පාවිච්චි  කරන්න බැහැ… නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප‍්‍රනාන්දු


 වාණිජ අරමුණු ඇතිව කරන මිලදී ගැනීම් සඳහා අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමට ණයපත් භාවිතා කිරීමේ හැකියාවක් නැතැයි ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් මහතා කීවේය.

 එහෙත් ක්‍රෙඩිට් කාඞ්පත් පුද්ගලික අවශ්‍යතා යොදා ගැනීමට කිසිම බාධාවක් නැති බව ද මහ බැංකු අධිපතිවරයා ඊයේ

 (19 දා* ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මාධ්‍ය හමුව අමතමින් කීවේය.

 ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඞ්පත භාවිතා කර මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් එය ප‍්‍රශ්නාර්ථයක් විය හැකි බව ද මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් මහතා පැවසීය.

 වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව මේ ගැන කරනු පැහැදිලි කළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප‍්‍රනාන්දු මහත්මිය ද මෙම මාධ්‍ය හමුව අමතමින් සඳහන් කළාය.

 ඒ ගැන වැඩිදුර පැහැදිලි කළ මහ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප‍්‍රනාන්දු මහත්මිය මෙසේ ද කීවාය.

 මේක මේ දවස් කිහිපයේම අපිට අහන්න ලැබුණු දෙයක්. ණය කාඞ්පත්වලින් ගෙවීම් සම්බන්ධව ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලූත් නීතියක් පනවා හෝ ඒසේ කාඞ්පත් ගෙවීම් නවත්වන්න කියලා නැහැ. දැනට තියෙන නීතිය අනුව ණය කාඞ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ.

 එසේම විදේශ ගෙවීම් සිදුකිරීමේ දී ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා අමතර

 ගාස්තු අයකිරීමක් වාණිජ බැංකු විසින් මේ වන විට සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමක නියෝජ්‍ය අධිපතිවරිය වැඩිදුරටත් පැවසුවේ මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයුම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සොයා බලන බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment