රාජ්‍ය නිලධාරීන් ලක්‍ෂ 17 නඩත්තුවට – ජනතාවට විශාල බදු මුදලක් ගෙවීමට සිදුවෙලා – හිටපු මුදල් ඇමැති රවි කරුණානායක

71

විදුලිබලයේ අනවශ්‍ය වියදම් අඩු කළොත් විදුලි ගාස්තු 20% කින් අඩුකළ හැකියි

රටේ ජනාධිපතිවරයා, ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම රජයේ නිලධාරීන් එම තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලුකර ජනතාව අපහසුතාවට සහ අසහනයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජතික පක්‍ෂ නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා චෝදනා කර සිටියි.

රවි කරුණානායක මහතා මේ චෝදනාව එල්ලකර සිටියේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වන අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මේ රටේ රාජ්‍ය නිලධාරීන් ලක්‍ෂ 17 ක් සිටිනවා. ඒ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍යද? මේ රටේ සියලුදෙනාට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවයේ යම් පිරිසක් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඇත්ත, එහෙත් බහුතරයක් ඒ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් ලබාගෙන වැඩක් නොකර පාඩුවේ සිටිනවා.

මේ රටේ දේශපාලනඥයන් සිටින්නේ 9000 යි. නමුත් රජයේ සේවක සේවිකාවන් ලක්‍ෂ 17 ක් සිටිනවා. බහුතරය දේශපාලනඥයන්ව විවේචනය කළාට තීන්දු තීරණ ගන්නේ රජයේ නිලධාරීන් බව කිව යුතුයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අනවශ්‍ය සහ නාස්තිකාර වියදම් අඩුකළා නම් විදුලි ගාස්තු සියයට විස්සකින් අඩුකළ හැකියි. රටක් ලෙස අප ආරක්‍ෂා කළ යුත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් 26,000 ද නොඑසේ නම් රටේ සිටින ලක්‍ෂ 220 ක්වූ මහා ජනතාවද?

රජයේ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන් එම වගකීම් ඉටුකරනවාද? උදාහරණයක් ලෙස බුද්ධිගලනය නතර කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ඉතාම දූරදර්ශී තීන්දුවක් ගත්තා. නමුත් රජයේ නිලධාරීන් එම තීරණය ක්‍රියාත්මක නොකර කකුලෙන් අදිමින් සිටිනවා. මේ කිනම් කූට ක්‍රියාවක් ද?

ඇත්ත වශයෙන්ම රජයේ නිලධාරීන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට – ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම ඊට එරෙහිව හෝ ඊට ඉහළින් හෝ එම තීන්දුව නොතකා හෝ ක්‍රියාකිරීමට රජයේ නිලධාරීන්ට හැකිද? මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදයයි.

advertistmentadvertistment
advertistmentadvertistment