දැයකම වැඳුම් ලද නැඳුන්ගමුවේ ඇත් රජු

331

දළදා මාලිගාවෙන් ඇසෙන පසු කතාවක්

සිරි දළදා වහන්සේ වැඩම වීම සඳහා මෙතුවක් කල් අපට සිටි උසින් වැඩි ම මනා දේහ ලක්ෂණ ඇති දිගුු දළ ඇති සද්දන්ත කුලයට අයත් හස්තිරාජයා ලෙස නැඳුන්ගමුවේ රාජා හැඳින්විය හැකියි. එයාගේ උස කොපමණද කියනවානම් අපට සිදුවුණා දියවඩන නිලමෙතුමාගේ උපදෙස් අනුව කරඬුව තැන්පත් කරන මණ්ඩපයේ සිවිලිමේ කරඬුව වදින නිසා කරඬුවේ කොතේ උස අඟල් කීපයක් අඩු කරන්න. ඒ වගේමයි ඇත් රාජාගේ දිගු දළ බිත්තියේ ගෑවෙන නිසා එයාව පැත්තකට හරවලයි කරඬුව පිටේ බඳින්නට සිදුවුණේ.

පුරාණයේ සිට දළදා චාරිත‍්‍ර අනුව පැවරුණු රාජකාරී ප‍්‍රකාරව ශ‍්‍රී දළදා කරඬුව පෙරහැරේ වැඩමවීම සඳහා ඇත්රජුගේ පිටෙහි කරඬුව සුරක්ෂිතව තැන්පත් කිරීම, එය සවිමත්ව බැඳීම, පෙරහැරෙහි වැඩම වීම, ආපසු කරඬුව දළදා මාලිගයෙහි තැන්පත් කරවීම වැනි රාජකාරී කිරීම පිණිස නිල බලයෙන් පත්ව සිටින ඇහැලමල්පේ නිලමේ පරපුරේ වත්මන් භාරකරු ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ නිලමේ එසේ පවසයි.

වර්ෂ 1835 දී රාජාඥාවකින් සන්නසකින් තම මුත්තා වෙත පැවරුන මෙම අතිමහත් භාරධුර බුද්ධ කාර්ය තමා වසර හතළිස් හතක් (47) තිස්සේ අඛණ්ඩව සිදුකරන බව ඔහු කීය. නැඳුන්ගමුවේ රාජාට ප‍්‍රථම රාජා ඇතා ලවා දළදා කරඬුව වැඩම වීමට තමා රාජකාරී කළ බවත් ඒ රාජා මෙන්ම මහත් භක්තියෙන් ඉවසීමෙන් ගෞරවණීය ලෙස නැඳුන්ගමුවේ ඇත් රජු ද දළදා කරඬුව වැඩම වූ බව ද ජයතිස්ස මහතා පැවසීය.

නැඳුන්ගමුවේ රාජා හැමදාම ගම්පහ සිට පැමිණෙන්නේ පා ගමනින්. එසේ වුවත් එයා මහන්සියක් නොමැතිව ඒ දින ගණනාව ම රාත‍්‍රියේ දළදා පෙරහැරෙහි ශාන්තව හා ගාම්භීර අයුරින් දළදා කරඬුව වැඩමවා ආපසු ගම්පහ බලා පා ගමනින්ම යනවා.

දැයකම වැඳුම් ලද නැඳුන්ගමුවේ ඇත් රජු

එයාගේ සිරුර විශාලයි. ඒ නිසා දළදා පෙරහැරට මහා තේජස් ස්වරූපයක් ලැබෙනවා. ඒ වුණාට එයා හරියට නිවුණ කෙනෙක්. ‘පුතා මෙහෙම ඉන්න’ කියනකොට එයා කීකරුව කරදර නොකර ඉන්නවා. එයා සරසන්නට වෙන අයට පැයක් යද්දී මෙයාට පැය එකහමාරක් පමණ ගත වෙනවා. වෙනම බඳපටි දමනවා. මෙයාගේ සිරුරට අදාළව. කොපමණ දිනක් ඇවිද ගියත් තෙහෙට්ටුවක් නැහැ. පෙර පින් ඇති නිසා වෙන්න ඕනි එයා මේ කැපකිරීම කරන්නේ.

පාවඩය ඇකිළී තිබුණොත් කවුරු හරි නොහැදුවොත් එයාම හොඬින් හදා ගන්නවා. කිසියම් වරදක් බව හැඟුණොත් නිසලව නතර වෙනවා. එවිට අප පරීක්‍ෂා කරනවා. වෙන පළාත්වල ප‍්‍රාදේශීය දේවාල කරඬු වැඩමවා තිබූ පුරුද්දට රාජා ඇතාගෙන් පසුව දළදා කරඬුව වැඩම වීමට නැඳුන්ගමුවේ ඇත් රාජාව තෝරා ගත්තා. ඒ විශ්වාසය බැතිය එයා කවරදාකවත් කිසිම මොහොතකවත් බින්දේ නැහැ.

පසුගිය වසරේ අපූර්ව සිද්ධියක් වුණා. රන්දෝලි පෙරහැර අවසන් වෙලා දිය කැපුම පෙරහැරට කරඬුව වැඩමවද්දී දහවල් කතරගම දේවාලයේ ඇතා කුලප්පුවෙලා දුවන්න පටන් ගත්තා. තවත් අලි දහදෙනෙක් විතර දුවගෙන එනවා. දැන් එම ඇතුන් නැඳුන්ගමුවේ රාජා ඇතා ඉදිරියට අඩි දහයක් දුරට දුවගෙන ආවා. වෙන අය කලබලා වෙලා දුවනවානේ. මෙයා ඒ කලබල දිහා බලමින් කිසිම කලබලයක් නැතිව එකම තැන රැඳිලා හිටියා. අනිත් කලබල නිම වෙනතුරු… අපට හිතුණේම මේ සත්ත්වයා තමන්ගේ පිටේ බැඳ තිබෙන්නේ බුදුන් වහන්සේ ගේ දළදා කරඬුව නිසා එය සුරක්ෂිතව කළ යුතුයි, වගකීමෙන් හා අවබෝධයෙන් භක්තියෙන් එලෙස සිටියා කියාය.

නැඳුන්ගමුවේ රාජා ඇතා මහා පින්වන්තයෙක්. සත්ත්වයෙක් වුණාට මිනිසෙක් වගේ වගකීම හරි හැටි ඉටුකළා. ඒ කාර්යය හැමෝට ම කරන්න බැහැ. කැලෙත් ලොවෙත් ඇත්තු ඉන්නෙ. ඒත් දළදා කරඬුව වැඩම වීමට සසර මහ පිනක් ඉටුකොට තිබෙන්නට ඕනි. ඉදිරියේ දී මාලිගාවේ සිටින ඉන්දි රාජා, කතරගම වාසනා ඇතුන් දළදා කරඬුව වැඩමවාවි. නැඳුන්ගමුවේ රාජා ගම්පහ සිට පා ගමනින් එනවිට මිනිසුන් සුදු රෙදි පාවඩ දාලා දණ ගහලා වඳිනවා. මලින් පුදනවා. ඉතින් එම ඇතා මහ පින් ඇති සතෙක්.

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment