ටෝච් අරන් ආපු සජබ මන්තී‍්‍රවරු මැතිසබයේ උද්ඝෝෂණයේ

166

කථානායක සභාව විනාඩි 10කට කල්තබයි

මේ දිනවල සිදු කෙරෙන විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජනබලවේගය මන්තී‍්‍රවරු ඊයේ (24 දා) පෙරවරුවේ විදුලි පන්දම් රැගෙන සභා ගැබට පැමිණ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතා දැක්වීම නිසා කථානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 කට කල් දැමීය.

සමගි ජනබලවේගය මන්තී‍්‍රවරු විදුලි පන්දම් දල්වා, ඩොලර් නැති ආණ්ඩුව ෆේල්… මොළ හතම ෆේල්, දැන් ඇති ගෙදර යන්න, දරුවන් අඳුරෙන් එළියට ගන්න, හොඳටම කළා දැන් ඇති, කන්න නැති ආණ්ඩුව ගෙදර යන්න, තුනම ෆේල්, සර් ෆේල් වැනි වැකි සහිත පුවරු ප‍්‍රදර්ශනය කළ අතර ඔවූහු තම ඇඳුම්වල ‘අඳුරෙන් එළියට’ සර් ෆේල් යනුවෙන් සඳහන් ස්ටිකර් ද ගසාගෙන සිටියහ.

විපක්ෂයේ මන්තී‍්‍රවරු සභාවට ගෙන නොආ යුතු භාණ්ඩ පාර්ලිමේන්තුවට රැගෙනවිත් ඇති බවට චෝදනා කරමින් කථානායකවරයා පැමිණිලි කළ අවස්ථාවේ විපක්ෂ මන්තී‍්‍රවරු සිය ආසනවලින් නැඟිට එලෙස සිය විරෝධය ආරම්භ කළහ.

විරෝධය අතරතුර පෙරවරු 11ට පැමිණ කථානායකවරයා සභාව විනාඩි 10කට කල්තබන බව කියමින් සිය අසුනින් නැඟිට ගියේය.

එහිදී දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා මෙසේ කීය.

බරපතළ ප‍්‍රශ්නයක් ඔබතුමාගේ අවධානයට ගෙන ඒම හා ඒ පිළිබඳ වහා මැදිහත්වීමක් කර තිබෙනවාද? නැද්ද? ඉටුකරනවාද? කියන බරපතළ ප‍්‍රශ්නය නඟන්නේ වරප‍්‍රසාද යටතේ වුව ද පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින්, අද උදේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ඇතුළත් වන පිවිසුමේදී පොලිසිය විසින් යම්කිසි මන්තී‍්‍රවරයකුගේ රැගෙන ආපු යම්කිසි භාණ්ඩයක්, උපකරණයක් පරීක්ෂණයකට ලක් කිරීමට කි‍්‍රයා කිරීමට ඉල්ලා සිටියදී ඒ පිළිබඳ විශාල වාදයක්, විවාදයක්, ගැටුම්කාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා.

එවැනි උපකරණ ඇතුළට ගෙනඒම සඳහා, එනම් ලේඛනයේ අනුමත වී නැති, ලේඛනයේ ඇතුළත් නැති උපකරණයක් ගෙනඒමෙන් සිදුවිය හැකි හානිය බරපතළයි. එවැනි උපකරණවල අන්තර්ගතය රසායනික විපර්යාසයකට පරිවර්තනය කරන්න පුළුවන්, ගෙනැවිත් වෙනම සංයෝග කළොත්. මේ හිනාවෙන අය තමයි පාස්කු දින මහා ප‍්‍රහාරය කළේ. පාස්කු දින 300කට අධික ප‍්‍රමාණයක් විතරක් නොවෙයි, පසුගිය දවසක බොරැල්ලේ පල්ලියකට ගිහිල්ලත් කරන්න හදපු දේ, කවුරුත් දන්නවා. ඒ නිසා මම අහනවා. මේ පරීක්ෂණය හරියාකාරව සිදු වුණාද, මේ පාවිච්චි කරන උපකරණවලට ඉඩ දීමට, ඒවා අනුමත ලේඛනයේ තියෙනවද? එහෙම නැත්නම් පාවිච්චි කරන්න උපකරණ ගෙන ඒමෙන් එය සංයෝග කොට යම්කිසි රසායනික ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීමට ඇති හැකියාව ප‍්‍රතික්ෂේප කරනවද පොලිසිය?’’

මේක මගේ පුද්ගලික ප‍්‍රශ්නයක් නොවෙයි. මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමාගේ දැඩි අවධානය හා ඉක්මන් මැදිහත්වීම මත පාර්ලිමේන්තුවට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේ නම් වහාම ඒක වැදගත් වෙනවා. මොකද මේ කල්තැබිය හැකි ප‍්‍රශ්නයක් නොවන නිසා. පාර්ලිමේන්තුවට කිසි ලෙසක පූර්ණ අන්ධකාරයක් මතුවන්නේ නැහැ. අන්ධකාරයක් මතුවෙන බව දැනගෙනනම් ආවේ, ඒ පිළිබඳ දෙවන පරීක්ෂණයකුත් ඕන. මේ සැලැස්ම සම්පූර්ණයෙන්ම පේනවා නීති විරෝධී කි‍්‍රයාවක්, මේක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට බාහිර කි‍්‍රයාවක්. මේක වහාම තහනම් කිරීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක තහනම් නොකළොත් අපේ ආරක්ෂාව බරපතළ තත්ත්වයකට පරිවර්තනය වෙනවා.’’

කථානායක – ඔබතුමාට මතක ඇති පක්‍ෂ නායක රැස්වීමේදී ගත්තු තීරණය. පක්‍ෂ නායකයෝ තීරණයක් ගත්තා කිසිම මන්තී‍්‍රවරයකු අනවශ්‍ය උපකරණ සභාවට ගෙන නොආයුතු බවට. එය නතර කරන්න පොලිසියට භාර කළා.

හරින් ප‍්‍රනාන්දු මහතා – ඔය ප‍්‍රශ්නය තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබුණ කියලයි. මම මේ ටෝච් එක ගහලා තමයි වැසිකිලියට ගියේ, කරන්ට් එක කපයි කියලා. ඒක තමයි මම ටෝච් එකක් අරන් ආවේ.

මෙහිදී විපක්ෂයේ මන්තී‍්‍රවරුන් උද්ඝෝෂණයේ නිරත වූ අතර කථානායකවරයා සභාව කල්තැබීය.

විනාඩි 10 කට පසුව සභාවේ කටයුතු නැවත සාමකාමීව ආරම්භ කෙරිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment