සිතුල්පව්ව විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ අපවත් වෙති

138

ඵෙතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ටමහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණෝ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) දහවල් අපවත් වූහ.

අපවත් වන විට උන්වහන්සේ 83 වැනි වියේ පසු වූ අතර රෝගී තත්වයක් හේතුවෙන් උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියහ.

මැටරඹ ඈගන්තොල්ල වත්තේ පදිංචිව සිටි අහංගම නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර හා අක්මීමන පල්ලිය ගුරුගේ ඇලිස් නෝනා හෙවත් යටගම හාමිනේ දෙදෙනාට දාව දරුවන් හය දෙනකුගෙන් යුතු පවුලේ පස් වැන්නා ලෙස මෙලොව එළිය දුටු නා හිමියන්ගේ ගිහි කල නාමය වූයේ නානායක්කාර ගමගේ නෙල්සන් නානායක්කාරය.

ඔහුට වයස අවුරුදු 06දි සිය පියා මෙලොව හැර ගියේය. ඒ වන විට යටගල මැල්කම් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි හය හැවිරිදි නෙල්සන් නානායක්කාර දරුවා 1956.04.05 වැනිදා යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ ඉලුප්පිටියේ ජිනරතන, වත්තේහේනේ රතනසාර හා වත්තහේනේ පියරතන යන නා හිමි වරුන්ගේ ආචාර්යත්වයෙන් මැටරඹ හේමරතන නමින් පැවිදි දිවියට එක් විය.

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, යටගල රජමහා විහාරය, ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධුරය දැරූ අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන් මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයෙන් උපාධ්‍යාය පදවියෙන් හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් විශාල ශාසනික සේවයක් ඉටු කර ඇති උන්වහන්සේ වන්දනා ගාථා, හින්දු ආර්ය සංස්කෘතිය, ඓතිහාසික මඟුල් මහා විහාරය. උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා ඇතුළු ධර්ම ග්‍රන්ථ හා සාහිත්‍ය ග්‍රන්ථ රැසක් ද රචනා කර තිබේ. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පිළිබඳ පසුව දැනුම් දෙන බව විහාරස්ථ දායක සභාව පවසයි.

 මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment