පරිවර්තන සාහිත්‍ය නිතරම අලුත් විය යුතුයි – ප්‍රවීණ ලේඛිකා නිශානී දිසානායක

177

ELLIE IRVING විසින් රචිත THE MATILDA EFFECT කෘතිය මැටිල්ඩාගේ වීර චාරිකාව නමින් මේ වනවිට සිංහලට පරිවර්තනය කර ඇත. එය සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක් මෙන්ම ලේඛිකාවක් වන නිශානී දිසානායක විසින්ය. පහත පළවන්නේ ඒ පිළිබඳ නිශානී දිසානායක මහත්මිය සමග සිදුකළ සංවාදයකි.

  • ඔබ විසින් පරිවර්තනය කරන ලද අලුත්ම කෘතිය පිළිබඳව පළමුව යම් හැඳින්වීමක් කරනවනම්.

ඔව්…. Ellie Irving විසින් රචිත The Matilda Effect කෘතියේ සිංහල පරිවර්ථනය ‘මැටිල්ඩාගේ වීර චාරිකාව’ නමින් ප්‍රකාශයට පත් කළා. අවුරුදු 12 ක කුඩා දැරියක් වටා ගෙතුන රසවත් කතාවක් ලෙසත් මෙය නම් කරන්න පුළුවන්. මේ පරිවර්තනයේ දකින්නට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි කුඩා දැරියකගේ ධෛර්ය මෙන්ම කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳවත් මේ තුළ කතාබහ වීම. මේ පොත කියවන කෙනෙකුට ඇතැම් විට හිතෙන්න පුළුවන් මෙය අභව්‍ය සිද්ධියක් කියල. නමුත් එවැනි සිදුවීම් නොවෙයි කියල කියන්නත් බැහැ. මේ පොත කියවීම තුළ තමයි පාඨකයට ඒ පිළිබඳ තීරණයක් ගන්න වෙන්නේ.

  • ඔබේ කීවෙනි කෘතිය ලෙසද එය මුද්‍රණයෙන් නිකුත් වෙන්නේ?

‘මැටිල්ඩාගේ වීර චාරිකාව’ මගේ 22 වැනි කෘතිය. ඊට අමතරව තවත් විදෙස් කෘතියක් පරිවර්තනය කරමින් සිටිනව. මේ වෙලාවේ මගේ කෘතින් ප්‍රකාශයට පත් කරන ‘පහන්’ ප්‍රකාශකයන්ට ස්තුති කරන්න ඕන. මොකද විදෙස් කෘතියක් සිංහලට පරිවර්තනය කිරීමේදී බොහෝ දෙනෙක් අනුගමනය කරන දෙයක් තමයි ලෝක පූජිත ලේඛක ලේඛිවන්ගේ කෘතින් පමණක් තෝරා බේරාගෙන ඒව සිංහලට පරිවර්ථනය කිරීම. නමුත් මම පරිවර්තිකාවක් ලෙස ඒ ආස්ථානයේ නැහැ. නිතරම අලුත් ලේඛක ලේඛිකාවන්ගේ කෘතින් තෝරා ගනිමින් එම කෘතින් සිංහල පාඨකයන්ට හඳුන්වාදීමට මා තුළ ලොකු කැමැත්තක් පවතිනව. මුද්‍රණ කර්මාන්තයේ වත්මන් තත්ත්වය ඇතුළේ ඒක තරමක් අවධානම් සහගත ක්‍රියාවක්. ඒ අවධානම පවා නොතකමින් මගේ පරිවර්ථන ප්‍රකාශයට පත් කිරීමට පහන් ප්‍රකාශන ආයතනය කටයුතු කරනව.

  • විදේශයන්හී පළවන අලුත් කෘතින් සිංහලට පරිවර්තනය කිරීම පිණිස විශේෂ කැමැත්තක් දක්වන්නෙ කුමන හේතුවක් මතද?

දේශීය වශයෙන් මෙන්ම විදේශීයවත් සාහිත්‍යයේ අලුත් වෙනස්කම් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම අලුත් ලේඛක, ලේඛිකාවන් ඉතාමත් හොඳින් තම තමන්ගේ ලේඛන කටයුතුවල නිරත වෙනවා. ඔවුන්ව සිංහල පාඨක සමාජයට හඳුන්වා දීමක් සහ ඔවුන්ගේ නිර්මාණ රසවිඳීමට සැලැස්වීමක් කරන්න නම් ඒ කෘතින් අපේ භාෂාවට පරිවර්තනය කළ යුතුයි.

  • පරිවර්තනය පිණිස විදෙස් කෘතියක් තෝරා ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ මොනවගේ කාරණා සම්බන්ධයෙන්ද?

පාඨකයාට සිතන්න යමක් ඉතිරි කළ යුතුයි කියන පදනම මත තමයි මම පරිවර්තන සාහිත්‍යයේ නිරත වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ පොත් ලියන්නෙ පණිවිඩ දෙන්න කියල නොවෙයි. නමුත් යම් සමාජයක් හෝ පුද්ගලයෙක්ව ධෛර්යමත් කරන්න සතුටට පත් කරන්න යම් සාහිත්‍ය කෘතියකට පුළුවන්කම ලැබෙනවනම් මම හිතනව ඒක හොඳ ප්‍රවණතාවයක් කියල. ලේඛකයාගේ කාර්යභාරය විය යුත්තේ එයයි කියල මම පුද්ගලිකව විශ්වාස කරනව. මේක අතීතයට මෙන්ම අදටත් වලංගු අදහසක්.

  • ඔබේ බොහෝ පරිවර්තනවල ප්‍රධාන චරිතය කාන්තාවක්. ‘මැටිල්ඩාගේ වීර චාරිකාව’ පරිවර්තනය තුළත් අපට ඒ තත්ත්වය දකින්නට ලැබෙනවා. ඒ මතය හා ඔබ එකඟද?

ඔව්… කාන්තාවක් ලෙස මම නිතරම උත්සාහ කරනව කාන්තාවන්ගේ පැත්තෙන් බලල යමක් ලියන්න. ඒ මතින් සුභවාදී පණිවිඩයක් සමාජ ගත කරන්න. විශේෂයෙන්ම යොවුන් පරපුර දැනුවත් කරන්න මා තුළ ලොකු උවමනාවක් පවතිනව. දුක් වේදනාව පමණක් ඉතිරිවන අනුවේදනීය කතාවක් ඒ අය අතට පත්කරල ඒ කෘතියේ අලෙවිය තුළින් ලබන ආදායම මොන වගේ අගයක් ගනිවීද කියල බලාගෙන ඉන්නවට වඩා ඒ දුක වේදනාව ජයගන්නෙ කොහොමද ඊට මුහුණ දිය යුත්තේ කෙසේද කියල පාඨක ප්‍රජාව දැනුවත් කරන්න මා සෑමවිටම උත්සාහ ගන්නව. මොකද දුක, කනගාටුව විතරක් ඒ අයට දීල වැඩක් නැහැ. යම් අභාග්‍යසම්පන්න දෙයකට මුහුණ දුන්නොත් ඒ තත්ත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියලවත් කියාදෙන්න පුළුවන් කමක් සාහිත්‍යයේ තිබිය යුතු එක් අංගයක් කියල මම විශ්වාස කරනව. මැටිල්ඩාගේ වීර චාරිකාව පරිවර්තනයෙත් ඒ පණිවිඩය තිබෙනවා.

  • ඔබ සඳහන් කරන්නේ සාහිත්‍ය තුළින් සමාජය සුවපත් කළ හැකි බවද?

අද කාන්තා හිංසනය තේමාකර ගනිමින් සාහිත්‍ය නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාවයක් දකින්නට ලැබෙනවා. නමුත් ඒ හිංසනයෙන් මිදීම පිණිස කාන්තාවන් ලෙස කළ යුත්තේ කුමක්ද කියල ලියන පිරිස අඩුයි. අඩුම තරමින් හිංසනයට පත් කාන්තාවන්ගේ මානසික ශක්තිය තරමක් හෝ වර්ධනය කළ හැකි ලිවීමක් තියෙනවනම් ඒක තමයි විය යුත්තේ. නමුත් ඒ බවක් පෙනෙන්නට නැහැ. කාන්තා හිංසනය පිළිබඳ ලියූ පමණින් ඒක නතර කරන්න බැරිවෙන්න පුළුවන්. නමුත් ලේඛකයාට පුළුවන් නම් එය නතර කළ යුතුයි කියන පණිවිඩය සමාජ ගත කරන්න නොපමාව එය කළ යුතුයි. එහෙම නැතුව නිර්මාණ තුළින් තව තවත් අසුභවාදී පණිවිඩ නම් දෙන්නෙ ඒක හොඳ තත්ත්වයක් නොවෙයි.

  • අපේ රට සම්බන්ධයෙන් මේ තත්ත්වය පිළිබඳ ඔබේ විග්‍රහය කෙබඳුද?

රටක් වශයෙන් අපි මේ වනවිටත් ලොකු පටලැවිල්ලක ඉන්නේ. ආර්ථික වශයෙන් ගත් විටත් එහම නැත්නම් සමාජයීය වශයෙන් ගත් විටත් ලොකු අවුලකට පත් රටක ජනතාවක් සතුටු කරන්න ධෛර්යමත් කරන්න යම් තරමකින් හෝ සාහිත්‍යයට පුළුවන්කම තිබිය යුතුයි. සමාජයේ කුඩාම ඒකකය, පවුල ගත්තොත් අම්ම තමයි ඒ පවුලේ යාන්ත්‍රණය. ඇය සතුටින් තෘප්තියෙන් ඉන්න තරමට තමයි ඒ පවුලේ සතුට සැනසුම රඳා පවතින්නේ. සාහිත්‍ය කෘතියක් වේවා වෙනත් කලා නිර්මාණයක් වේවා එවැනි දෙයක් කියවල නරඹල ඉවරවූවාට පසුව ඒ තුළින් ඉතිරිවන්නේ අසුභවාදී පණිවිඩයක් නම් ඒක මේ වෙලාවේ සුදුසු නැහැ. දැන් අපේ රටේ ජනතාව වෙලාගෙන සිටින ප්‍රශ්නවලට පොතකින් යම් හෝ පිළිතුරක් දෙන්න පුළුවන්නම් එයයි විය යුත්තේ. උදාහරණයකට චිංගිත් ආයිත්මාතොම්ගේ ‘ගුරු ගීතය’ ගන්න අදටත් අපේ රටේ පරමාදර්ශී ගුරු චරිතය දූයිෂෙන්.

  • ඔබේ නිර්මාණාත්මක ලේඛනය සඳහා ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

පාඨක ප්‍රතිචාර කියන්නේ ඕනෑම ලේඛකයකුට ලේඛිකාවකට අඩු වැඩි වශයෙන් හිමිවිය යුතු සහ හිමිවන දෙයක්. මටත් එය වලංගුයි. එතන තිබෙන විශේෂත්වය තමයි ලේඛිකාවක් ලෙස මම වැඩි බරක් තබන්නේ කාන්තාවන් කෙරෙහි නිසා මට ලැබෙන ප්‍රතිචාරවලින් වැඩි ප්‍රමාණයක් හිමිවන්නේ කාන්තාවන්ගෙන්. මම ඒකට කැමතියි. ඇත්තටම ඒ ලැබෙන ප්‍රතිචාර සහ පෞද්ගලිකව දැන් මට වෙනදාටත් වඩා ලේඛනයේ නිරතවීම පිණිස නිදහස හිමිවීම කියන කාරණය මත මම තවදුරටත් ලේඛනයේ නිරත වනවා. එතනදී දීර්ඝ කාලයක් තිස්සේ ජනමාධ්‍යවේදිනියක් ලෙස මා ලබාගත් අත්දැකීම් ඇසුරෙන් සහ විදෙස් පොත්පත් පරිශීලනය කිරීමෙන් ලබාගත් දැනුමත් ඒ සඳහා ඉවහල් කර ගන්නවා.

සංවාදය
● රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment