බඩ ඉරිඟුවට ඇයි නොසැළකිලි…

මේ වන විට බිඳ වැටීමට ලක්ව ඇති බඩ ඉරිඟු වගාව සඳහා යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 8000ක් බෙදා හැරීම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට සූරියවැව දී ආරම්භ විය. අක්කර 40,000ක බිම් ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය යූරියා පොහොර නොමිලයේ ලබා දීමට සේම ඒ සඳහා අවශ්‍ය TSP (මඩ පොහොර) සහ MO (බණ්ඩි පොහොර) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, වගාව සඳහා බිම් සැකසීම පිණිස අවශ්‍ය මූලික වියදම් සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා එහිදී පැවසීය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේදී ආරම්භ කර තිබේ. ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000කි. මෙම වැඩ පිළිවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

අප රටේ බහුතර මධ්‍යම පාන්තිකයන් හට එතරම් වැදගත්කමක් නොතිබුණු බඩ ඉරිඟු පිළිබඳ පසුගිය කාලයේ අප රටේ විවෘත කතා බහක් ඇති විය. ඒ බිත්තර සහ කුකුළු මස් ඉහළ යෑමත් සමඟිනි. අවිචාරවත් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදු කළ ඊනියා රසායනික පොහොර තහනම වී වගාවට සේම බඩ ඉරිඟු වගාවටද මාරකයක් උදා කිරීමට සමත් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අප රට තුළ සත්ව ආහාර වශයෙන් නිපදවන ලද බඩඉරිඟු විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළට සැපයීමට ගොවීනට නොහැකි වීමය. ඒ අතරේ බඩ ඉරිඟු ආනනය කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමුව තිබූ අතර ඒ සඳහා යන වියදම අනුව කුකුළු මස් සහ බිත්තර මිල දෙතුන් ගුණයකින් ඉහළ යන තත්ත්වයක් උදාවිය. ඒ අනුව ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මෙහි ඉහත සඳහන් පහසුකම ගොවීනට ලබා දෙනුයේ සත්ව ආහාර වශයෙන් අප රට තුළ බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට බව පෙනේ.

එහෙත්, අප සමාජ සම්මතයට අනුව බඩඉරිඟු යනු ආහාර විවිධාංගීකරණ සඳහා යොදා ගත හැකි බෝගයක් නොවේ. එය මිනිස් භාවිතයට ගත හැක්කේ තම්බා කෑම, පුළුස්සා කෑම සහ පොරි (Popcorn) වශයෙන් ආහාරයට ගැනීමෙන් පමණි. ඉතා සීමිත ලෙස එය රොටී හා පිට්ටු සෑදීමට ද යොදා ගනිති. නමුදු එය බඩ ඉරිඟු වලින් ගත හැකි ප්‍රයෝජන වලින් අංශු මාත්‍රයක් බව කිව යුතුම ය.

ගෝලීය වශයෙන් බලන විට මිනිසුන් විසින් ගනු ලබන ප්‍රධානතම ආහාර වර්ග කිහිපය අතරට බඩඉරිඟු ද ඒකාන්ත වශයෙන්ම අයත් වේ. මැක්සිකෝව, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ ඇතැම් ජනයාගේ ප්‍රධාන ආහාරය වනුයේ ද බඩඉරිඟුමය. ඒ අනුව සත්ව ආහාරයක් ලෙස සේම අන්ත දිළින්දාගේ සිට මහේශාඛ්‍ය ධන කුවේරයා තෙක් එක සේ පරිභෝජන කරන ආහාර අතරේ බඩඉරිඟුවලට ප්‍රධාන තැනක් හිමි ව තිබේ.

අප රටේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයකවත් කෑම මේසයට බඩඉරිඟු වලින් තනන ආහාර පිඟානක්, දීසියක් එක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ලෝක තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් ය. ලොව බොහෝ දියුණු රටවල සුපිරි පැළැන්තියේ ආහාර අතරේ ද බඩඉරිඟු වලින් නිෂ්පාදනය වූ විවිධාකාර ආහාර දක්නට පුළුවන. ඉංග්‍රීසි බසින් ෂබාස්බ ජදරබ ලෙසින් හැඳින්වෙන බඩඉරිඟු ආහාර සැර, පැණිරස සේම ශීත කළ වශයෙන් වෙන් කොට දැක්විය හැකිය. ඒවායේ වර්ණය, හැඩය සේම රසය ද විවිධාකාරය. බඩඉරිඟු පදනම් කර ගත් මෙම ආහාර විවිධාංගීකරණ රටාව අපට ආසන්නතම ඉන්දියාවේදී ද නොමදව ම දැකිය හැක. මේවා සම්බන්ධ ඉන්දියාවේ ඇති ප්‍රමුඛතාව මුල් කොට Maize/Corn යනුවෙන් හැඳින්වෙන බඩඉරිඟු විශේෂයෙන් විනාඩි කිහිපයක් තුළ තනා දෙන විවිධ රසැති වීදි ආහාර ඉන්දියාවේ ප්‍රධාන නගර වලදී පහසුවෙන් දැක ගත හැක. කරල් වශයෙන් මෙන්ම බඩඉරිඟු ඇට (Corn Kernel) වශයෙන් පිළියෙල කළ ආහාර ඒ අතර වේ. මසාලා, ඉරිඟු, ඉරිඟු වඩේ ඇතුළු ඉරිඟු වලින් නිපදවන ලද විවිධ රසැති ආහාර වර්ග රැසක රස විඳීමට ඉන්දියාවේ දී ඔබට හැකි වනු ඇත.

අප රටේ ද මේ වන විට නව ආහාර සංස්කෘතියක ලක්ෂණ දක්නට තිබේ. එහෙත්, එය මූලික වශයෙන් තිරිඟු පිටි පදනම් වූවක් බව බැලූ බැල්මට ම පෙනේ. එහෙත්, අප රටේ කුඩා දරුවන් දක්වාම දියවැඩියා ආදී බෝ නොවන රෝග ව්‍යාප්තියට ඉහවල් වන අතරේ සැලකිය යුතු විදේශ විනිමය සම්භාරයක් ද වැය වන තිරිඟු පිටි වෙනුවට දේශීය වශයෙන් වගා කොට මහා ප්‍රවර්ධනයකට ලක් කළ හැකි බඩඉරිඟු නිෂ්පාදන කෙරෙහි බොහෝ දෙනකුන් සිත් යොමු නොවීම ජාතික අවාසනාවකි. ලොව බඩඉරිඟු නිෂ්පාදන වලදී වගාව කිරිවදින අවස්ථාවේ සිට විවිධ අවස්ථා වලදී නෙළා ගන්නා අස්වැන්න ඒ සඳහා යොදන බව පෙනේ. එම නිශ්පාදන (Baby corn/Young corn) අප රටට ද ආනයනය කෙරෙන අතර ඒවා අප රටේ සුපිරි වෙළෙඳසල් වල විකිණීමට තිබේ. එමෙන්ම ඒවා නාගරික ඉහළ මධ්‍යම පාන්තික ජනතාව අතරේ බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඇතැම් විට එකම බඩ ඉරිඟු වගාවක මුල් කොටස මිනිස් ආහාර සඳහා ද පසු කොටස සත්ව ආහාර සඳහා ද යොදා ගන්නා බව පෙනේ. එහෙත් ඒ අප රටේ නම් නොවේ. එවන් තත්ත්වයක් තුළ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ආදී වශයෙන් සුන්දර නම් හිමිකර ගෙන හිඳින ආයතන මෙවන් ආහාර විවිධාංගීකරණ වැඩසටහන් කෙරෙහි ජනතාව යොමු නොකිරීම ද ජාතික ඛේදවාචකයකි.

ඊට අමතරව මේ වන විට රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපන ධාරාවට පිවිස ඇති සූපවේදී සහ ආහාර තාක්ෂණික පාඨමාලා සහ වෙනත් වෘත්තීය පාඨමාලා තුළට ද බඩඉරිඟු ආශ්‍රිත නව ආහාර නිෂ්පාදනයක් අන්තර් ග්‍රහණය කිරීම අතිශයින් වැදගත් හා කාලෝචිත වනු ඇත. එසේ නොමැති වුව අන්තර්ජාලය මගින් සූපවේදය හදාරන අප රටේ

නාගරික සේම ගම්බද ගෘහණියන්ට ද බඩඉරිඟු වලින් නිපදවා ගත හැකි රසවත්, ගුණවත් ආහාර වට්ටෝරු හඳුනාගෙන ඒවා අත්හදා බැලීම තුළින් පවුලේ පෝෂණ අවශ්‍යතාව සපයා ගැනීමට සේම ගෘහ කර්මාන්තයක් ස්වයං රැකියාවක් ලෙස අතිරේක ආදායමක් ලැබීමට ද පුළුවන. එමෙන්ම මෙම සටහන නිමාවේ සඳහන් කළ යුතු වැදගත්ම දෙයක් තිබේ. එනම් අපට ආසන්නතම ඉන්දියාවේ ජනතාව පවා ක්‍රියාවෙන් දේශීයත්වය පිළිබිඹු කරන අතරේ ශ්‍රී ලාංකේය අප “කටින් බතල සිටුවීමේ” න්‍යායට දේශීයත්වය පළ කිරීමට ගජ හපනුන් වීම තුළ මේවා ද නිස්සාර ලියැවිලි අතරට පත් වීමට පහසු ඉඩකඩක් ඇති බව ය.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment