දෙමටගොඩ රුවන්ගේ බිරිඳ, පුතා සහ සහෝදරයා 08දා තෙක් රිමාන්ඩ්

1192

උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් මිලියන 168 කට අධික මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඉදිිපත් කළ ශ්‍රීනායක පතිරණගේ රුවන් හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ 27 හැවිරිදි පුතා සහ රුවන් නමැත්තාගේ වැඩිමහල් සහෝදරිය ලබන අටවැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (01දා) නියෝග කළේය.

එම සැකකරුවන් එලෙස අයථා ලෙස උපයාගත් මුදල් යොදවා වෙනත් අයගේ නම්වලින් මිලදීගෙන ඇති තවත් රුපියල් කෝටි සිය ගණනක් පමණ වටිනා දේපළ ඇති බවට තොරතුරු ලැබී ඇතත් ඒවා නිශ්චිතව තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබානොදෙන බැවින් එකී දේපළ කුමක්දැයි නිශ්චිත කර ගැනීමට විමර්ශන පවත්වන බව විමර්ශන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට පැවසීය. මෙම සැකකරුවන් සතු බවට අනාවරණය වී ඇති එම දේපළවලට අමතරව මේ වන විට ඇපමත මුදාහැර සිටින එම නඩුවේ පළමුවන සැකකාර දෙමටගොඩ රුවන් නමැත්තා සතුවද විශාල දේපළ ප්‍රමාණයක් ඇති බව අනාවරණය වී ඇතැයි රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට පැවසීය.

එම සැකකරුවන් සියලු දෙනාට එරෙහිව ඉදිරි සතිය ඇතුළත මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පැවරීමට පියවර ගන්නා බවද අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් සැකකරුවන් ඇපමත මුදානොහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිය සේවාදායකයන්ට එරෙහිව සතියක් ඇතුළත මහාධිකරණය හමුවේ නඩු පවරන බවට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීමෙන් අර්ථ දැක්වෙනුයේ ඒ සම්බන්ධයෙන් විමර්ශන අවසන් බව වන්නේ යැයි අධිකරණයට පැවසූ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් හා ධම්මික රත්නායක යන මහත්වරු සිය සේවාදායකයන් අධිකරණය මගහැරීමක් නොකරන බැවින් සුදුසු ඇප කොන්දේසියක් යටතේ ඔවුන් ඇපමත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ. සැකකරුවන්ට එල්ලවී ඇත්තේ තම අධිකරණයට ඇපදිය හැකි වරදක් වුවත් පැමිණිල්ලේ සාක්‍ෂිවලට බලපෑම් එල්ලවිය හැකි බවට පෙන්වා දෙන කරුණු සලකා ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කරන්නේ යැයි එම නියෝගය නිකුත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩබලන අධ්‍යක්‍ෂ අනුර ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි රුවන් කාන්ත, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පියතුංග, පොලිස් කොස්තාපල් (9036) මහින්ද, පොලිස් සැරයන් (48119) බණ්ඩාර, පොලිස් කොස්තාපල් (26040) අධිකාරි, පොලිස් සැරයන් වනිගසිංහ, පොලිස් කොස්තාපල් නිවිතිගල, පොලිස් කොස්තාපල්වරුන් වන ජයතුංග තාරක, සමරජීව, කාන්තා පොලිස් කොස්තාපල් ශකිලා යන නිලධාරීන් එම විමර්ශන සිදුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment