මත්කුඩුවල මුදල් නොදුන්නැයි තරුණයකු පැහැරගෙන දසවධ දීලා

53

කඩු, මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් සමග සැකකරුවෝ අත්අඩංගුවට

මත්කුඩු සම්බන්ධයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් නිවසක රඳවා දෑත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් හත් දෙනෙකු කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කලමුල්ල සහ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක් බව පොලිසිය කීය. කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අතරතුර එකී නිවස වටලන විට නිවසේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු දුවගොස් ඇති බවත් ඔවුන් ලුහුබැඳ අත්අඩංගුවට ගෙන තිබේ. පසුව නිවස පරීක්ෂා කිරීමේදී දැත් දෙපා ගැටගසා ඉතා අමානුෂික ලෙස විවිධ උපකරණ යොදාගෙන පහර දුන් තරුණයා බේරාගැනීමට පොලිසිය සමත්ව ඇත.

මෙම නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී තියුණු කඩු 3 ක්, හඳුනා නොගත් මත්කරල්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් කිහිපයක් සහ ඇසුරුම් උපකරණද සොයාගත් බව පොලිසිය කීය. තරුණයා පැහැරගැනීමට යොදාගත් මෝටර් රථයක්, යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය අලෙවි කොට මුදල් ලබානොදීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන කණ්ඩායම පෙරදින රාත්‍රියේ මෝටර් රථයකින් කළුතර කලමුල්ල ප්‍රදේශයේ සිට පැහැරගෙන විත් අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඇති බවයි. නිවසේ පදිංචිකරුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බවත්, ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ පුද්ගල කණ්ඩායමක් පැමිණ බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී මෙම පුද්ගලයාට පහරදීම් සිදුකර ඇති බවත් තමා එයට විරුද්ධ වූ විට දරුවන් දෙදෙනා සමග ඇයව කාමරයක දමා දොරගුළුලා වැසූ බවත්ය. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මත්කුඩුවල මුදල් නොදුන්නැයි තරුණයකු පැහැරගෙන දසවධ දීලා

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරීවරුන්වන දුමින්ද රාජපක්ෂ, සුනෙත් ශාන්ත, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන රුවන් විජේසිංහ, දමිත් ජයතිලක, ජයසේකර, සනත් කුමාර සහ පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන, සුජිත් ද සිල්වා, උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර තිබිණි.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment