මැක්ස්වෙල්ගෙන් වාර්තා වැස්සක්

931

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක දෙවනුව පන්දුවට පහර දෙමින් (ලකුණු හඹා යමින්) ද්විත්ව ශතකයක් ලබා ගත් පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ක්‍රිකට් ඉතිහාස පොතේ තම නම සටහන් කර ගත් ග්ලේන් මැක්ස්වෙල් ගේ පිතිහරඹය මත මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ටේ්‍රලියාව සමත් වූයේය.

පාදයේ ආබාධයක් ද සමග මැක්ස්වෙල් ක්‍රියාත්මක කළ එම ඉනිම ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ මහත් ඇගයීමට ලක් ලක්වූ අතර එම ද්විත්ව ශතකය ඔස්ටේ්‍රලියානූ ක්‍රීඩකයකු එක් දින තරගයක ලබා ගත් පළමු ද්විත්ව ශතකය වේ.

පෙරේදා රාත්‍රී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 291 ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹා යමින් සිටි ඔස්ටේ්‍රලියාවේ කඩුලු 7 ක් ලකුණු 91 කට බිඳ වැටී තිබියදී නායක පැට් කමින්ස් සමග එකතු වූ මැක්ස්වෙල් ඔස්ටේ්‍රලියාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 128 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 201 ක් ලබා ගත් මැක්ස්වෙල් ගේ ඉනිම එක් දින ජාත්‍යන්තර තරගයක ආරම්භක පිතිකරුවකු නොවන ක්‍රීඩකයකු ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම පළමු ද්විත්ව ශතකය ද වේ.

නායක පැට් කමින්ස් (පන්දු 68 කදී ලකුණු 12 ) සමග 8 වැනි කඩුල්ල සඳහා මැක්ස්වෙල් ගොඩ නැඟූ ලකුණු 202 ක නොබිඳුණු සම්බන්ධතාවය 7 වැනි කඩුල්ල සඳහා හෝ ඊට පසු කඩුල්ලක් සඳහා එක් දින ජාත්‍යන්තර තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාව වේ.

පන්දු 128 කින් වාර්තා වූ මැක්ස්වෙල්ගේ ද්විත්ව ශතකය ලොව දෙවෙනි වේගවත්ම ද්විත්ව ශතකය වන අතර ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ වැඩිම තෙවැනි ලකුණු සංඛ්‍යාව වේ.
කුෂාන් සුබසිංහ ඉන්දියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment