සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- අලෙවිකරණ හා පාරිභෝගික සබඳතා තාරක රන්වල මහතා විසින් වැවට ජීවයක් වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ රත්මලේ මහ වැවෙහි සොරොව් දොර විවර කරමින් මංගල දියවර මුදා හැරි අයුරු

කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම රත්මලේ මහ වැවයි.

මෙරට ගොවි පවුල් රැසක නිජභූමියක් වූ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව, නාගොල්ලාගම, රත්මලේ ගම් පියස කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රදේශයේ කෙත්වතු සාරවත් කරමින් සුවිසල් සේවාවක් ඉටු කළ රත්මලේ මහ වැව සහ එම වැව් පද්ධතිය කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පැවතියේ ගොවි ජනතාවගේ ජීවනෝපායටද, ඔවුන්ගේ ආර්ථිකයටද අවාසනාවන්ත කාලයක් උදා කරමිනි. අක්කර 35ක් පුරා විහිදුණු සුවිසල් වාරි පද්ධතියක් වූ රත්මලේ මහවැවෙහි රඳවා ගත හැකි ජල ප්‍රමාණය ඉතා අවම මටට්මකට පත්වන විට වැවෙහි තත්වයද අවදානම් මට්ටමකට පත් විය. තව දුරටත් යල මහ දෙකන්නම වගා කිරීමට වැව් දියෙන් සරණක් නොවූ කල වැව ප්‍රතිසංස්කරණයේ වගකීම සම්පත් බැංකුව වෙත පැවරීමට රත්මලේ මහවැව පැරකුම් ගොවි සංවිධානය කටයුතු කරනු ලැබුවේ බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරය පිළිබඳ ඔවුන් තැබූ විශ්වාසය නිසාමය.

ගොවි ජනතාවගේ ඉල්ලීම ඒ ආකාරයෙන්ම ඉටු කරමින් රත්මලේ මහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්පත් බැංකුව මඟින් ආරම්භ කළ අතර ඒ අනුව එතෙක් වැව ආක්‍රමණය කරමින් තිබූ ජලජ ශාක ඉවත් කොට වැඩි ජල ධාරිතාවක් රඳවා ගැනීම වෙනුවෙන් වැව ගැඹුරු කිරීමේ කටයුතු සිදු කරන ලදී. එතෙකින් නොනැවතී එතෙක් අබලන්ව පැවති වැවෙහි බැම්ම පිළිසකර කරමින් වැවෙහි දරා ගැනීමේ ශක්තිය යලි ලබා දුන් සම්පත් බැංකුව වැවෙහි දියවර කෙත්යාය වෙත ගෙන යනු ලබන ඇල වේලි පද්ධතියද ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලැබුවේ ගොවි ජනතාවට කරදරයකින් තොරව සිය ජීවිකාව සරිකර ගැනීමේ අවස්ථාව උදා කර දෙමිනි.

මින් නොනවතී ගොවිජන දෙපාර්තමේන්තුව සමඟ එක්ව තවත් සුවිසල් කටයුත්තකට රත්මලේදී ආරම්භක පියවරක් තැබීමටද සම්පත් බැංකුව කටයුතු කරන ලදී. ඒ රත්මලේ ගම්මානයේ කාන්තාවන් මුල්කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා පුනර්ජීව නිෂ්පාදන ගොවි සමිතිය පිහිටුවීමත් ඒ තුලින් රත්මලේ ගම්මානය බිම්මල් වගා ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමත්ය. ඒ සඳහා වන මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පත් බැංකුව විසින් අදාළ අරමුදල් ගොවි සමිතිය වෙත ලබා දීමද මෙදින සිදු විය. මෙසේ පිහිටුවනු ලැබූ පුනර්ජීව නිෂ්පාදන ගොවි සමිතිය, කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද ප්‍රථම නිෂ්පාදන ගොවි සමිතිය වීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment