වඳුරන්,ඌරන් ගොවිතැන විනාශ කරනවා…නිලධාරීන් අපිව කන්න හදනවා…

88

අවුරුදු තිහ හතළිහක්ම ප්‍රශ්නය විසඳන්න සල්ලි වෙන් කරන්න බැරි වෙලා

පවු තමයි ඒත් සත්තු මරලා හරි අපිට මේ ප්‍රශ්නය විසඳන්න වෙලා

නීති තිබුණට කරන්න දෙයක් නැහැ…සත්තු තුවක්කුවලට බයත් නැහැ

රටේ ජනගහනයෙන් 1/5 කට බත සපයන දිගාමඩුල්ලේ වර්ෂයේ අවසන් කාර්තුව ආරම්භ වන විට දක්නට ලැබෙන්නේ සුළු පරිමාණ ගෙවතු එළි පෙහෙළිකොට ගොඩ බෝග වගාවන් සඳහා බිම් සකස් කරන දසුන්ය. එක් පසකින් අක්කර දහස් ගණනක කෙත් වතු නිල්පැහැයෙන් බැබළෙද්දී අනෙක් පසින් සිය ගෙවතුවල එදිනෙදා පරිභෝජනයට අවැසි භව භෝගයෙන් පරිපූර්ණ කරන්නට ග්‍රාමීය ගොවීන් ගෙවතු වගාවද ඉතා සාර්ථකව සිදු කළහ.

මේ නිසා රට තුළ කලින් කලට කිසියම් වසංගත තත්ත්වයන් ඇති වුවද ග්‍රාමීය ජනතාවට ආහාර හිඟයක් නම් ඇති නොවුණි. ඒ ඔවුන් ගෙවත්තේ තම එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය අල බතල, පලා වර්ග, එළවළු වර්ග, පළතුරු වර්ග, මෙන්ම කොස්, පොල්, දෙල් වැනි බෝගයන් ද වගා කරගෙන තිබූ නිසාය.

දිගාමඩුල්ලේ පමණක් නොව රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල පැවතගෙන ආ මෙම ගෙවතු වගා සංස්කෘතිය අද වන විට සම්පූර්ණයෙන්ම වාගේ ක්ෂය වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ.

කාලාන්තරයක් තිස්සේ අප රටේ වනාන්තර තුළ ජීවත් වූ වන සතුන්, විශේෂයෙන් වඳුරන් – රිලවුන් – ඌරන්- දඬුලේනුන්- මොනරුන්, ඌරන් වැනි සතුන් රංචු පිටින් ගම් වැදී නිරන්තරයෙන් සිදු කරන වගා හානි මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ඒ ඒ ප්‍රදේශවලදී අපට හමු වූ බොහෝ දෙනකු පැවසූහ. ගෙවතු වගාව අතහැර දමන තරමට හෙම්බත් වී සිටින ඒ. ජී. මහින්ද කියන කතාව ඔබ ඇසිය යුතුමය.

වඳුරන්,ඌරන් ගොවිතැන විනාශ කරනවා…නිලධාරීන් අපිව කන්න හදනවා…

“කල්ප කාලාන්තරයක් තිස්සේ මිනිසාට කරදරයක්- හිරිහැරයක් නොකොට වනන්තර තුළ නිදහසේ මේ සත්තු ජීවත් වුණා. විවිධ සංවර්ධිත ව්‍යාපෘතිවල නාමයෙන් කැළෑ එළිපෙහෙළි කිරීම, වනාන්තර තුළ සෑම ගල් කන්දක්ම ගල් කොරියක් බවට පත් කිරීම, ඒ තුළ කාල නියමයක් නොමැතිව යන්ත්‍ර සූත්‍ර යොදා ගල් කැඩීම, ගල් වෙඩි දැමීම වැනි ක්‍රියාකාරකම් නිසා මේ වන සතුන් සිය වාසස්ථාන අතහැර ගම් වැදී ගම් තුළ වාසස්ථාන ඇති කරගත්තා. කතාව පටන්ගන්නේ එහෙමයි …..”

ඔහු මතු කරන කාරණය වැදගත්ය. රටක සංවර්ධනය සඳහා සංවර්ධන ව්‍යාපෘති යෝජනා අත්‍යවශ්‍ය සාධකයකි. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක ඉදිකිරීම් සඳහා කළු ගල් – වැලි – පස් අත්‍යවශ්‍යය. එහෙත් මේවා සිදුවිය යුත්තේ සීමාන්තිකව සහ එමගින් සිදුවන සමාජ ගැටලුවලට නිසි විසඳුමක් යෙදීමෙනි.

“පසුගිය කොරෝනා කාලේ ගෙදරට කොටුවෙලා හිටපු නිසා අපි පර්චස් 16ක විතර කෑල්ලක එළවළු හැදුවා. හොඳට සාර්ථකව හැදුනා. ගෙඩි හැදෙන්න කියලා ඔන්න මෙන්න තියෙද්දි අපි ගෙදර නොහිටි දවසක කඩා වැදුන වඳුරු රංචුවක් මුළු ගෙවත්තම විනාශ කරලා කිසිම වැළක එක කොළයක් තිබ්බෙ නෑ. තවත් නඩත්තු කරලා ගන්න පුළුවන් තත්ත්වයක තිබුණෙත් නැහැ. ඒ නිසා අත්හැරලම දාන්න සිද්ධ වුණා. බීජ, පොහොරවලට ගිය වියදම් ගණන් එක්ක බැලුවොත් අපට අවුරුද්දක් විතර කඩෙන් එළවළු අරන් කන්න තිබ්බා. මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවේ. මුළු ගමේම තත්ත්වය ඕකයි.”

හිඟුරාණේ ටෙක්ලා ලිලියන් කීවේ විශාල කලකිරීමකින් යුතුවය.

“අඹ ගස්වල වාරෙකට ගෙඩි සිය ගණන් හැදෙනවා. ආශාවට එක ගෙඩියක් කන්න නැහැ. දුකක් නැහැ උන් කනවා නම්, ටිකක් හපලා බිම දානවා. තැඹිලි ගෙඩියක් බොන්න නැහැ සියලුම ගොබළු බීලා බිම දානවා. ඒකට දඬුලේන්නුත් හවුල්. රිලවු රංචු ආපු දවසට පොල්ගස් යට ගොබළු සිය ගණනක් එකතු කරන්න පුළුවන්. සමහර දවස් වලට ඒවා ෆොටෝ ගහලා පත්තර වලටත් දැම්මා. ඒත් වගකිවයුත්තෝ දකිනවද, ඔවුන්ට දැනෙනවද දන්නෙ නැහැ”

ඇය වන සතුන් සමග ඇති ආරෝවක්ද නැත. මේ පොළොවේ උන්ට ඇති අයිතිය ගැනද ඇය කම්පාවන්නීය.

“ඉස්සර හිටපු වඳුරෝ – රිලව්, කෙසෙල් කැන් – කරවිල- බණ්ඩක්කා- මිරිස් – බතල කොළ වගේ දේවල් කෑවේ නැහැ, නමුත් දැන් කෙසෙල් කැන්වල ඇවරි ගලව ගලව කනවා. ඉස්සර කිරි නිසා බතල කොළ කෑවෙ නැහැ. සැර නිසා මිරිස් කෑවේ නැහැ. කටු නිසා අන්නාසි කෑවෙත් නැහැ, තිත්ත නිසා කරවිල කෑවේ නැහැ. දැන් කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ. අහුවෙන අහුවෙන එක කනවා. කොලත් හූරගෙන කනවා. මුරුංගා ගහක් – ගස්ලබු ගහක් පෙන්නන්න බැහැ. අමු ගස්ලබුත් කනවා.” ජෝතිරත්න කියන්නේය.

වඳුරන්,ඌරන් ගොවිතැන විනාශ කරනවා…නිලධාරීන් අපිව කන්න හදනවා…

රතිඤ්ඥා- අහස්කූරු- කැටෆෝල්- වායු රයිෆල් වැනි දේවල්වලට එදා වඳුරෝ- රිලව් බිය වුවද අද ඒවා ඔවුන්ට කිසිදු බියක් නොදැනෙන සෙල්ලම් බඩු බවට පත්වී තිබේ. අහස් කූරු, ගල් කැටයට ‘කවර්’ වන්නට ඔවුන් අති දක්ෂය. ඔවුන්ට පාට් දමන කාන්තාවන්ට විරිත්තා – බිය වද්දා පසුපස පැමිණීමටද ඔවුන් දැන් දැන් පෙළඹී සිටිති.

“වගාවන්ට හානි කරන වන අලි හැර ඉතිරි සියලුම වන සතුන් මරා දමන්න ඕන. ඒ සඳහා අවසර හා පහසුකම් දෙන්න ඕන. ඔවුන් මැරුවට පවු නැහැ. ඒක සමාජයට කරන යහපතක්. උන් මැරුවා කියලා සම්පූර්ණයෙන් වඳ වෙන්නෙ නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්, මේ රටේ සීනි කර්මාන්ත ශාලා සඳහා උක් වගාව ආරම්භ වුණේ 60 දශකයේදී පමණ. ගල්ඔය සීනි කම්හල ඇති කළෙත් ඒ කාලේ. උක් වගාව අක්කර 12500ක් විතර තිබුණා. ඒ කාලේ මේවා වල් ඌරන්ගේ රජ දහන්, දිනපතා 50-60 ඌරු රංචු අක්කර ගණන් වගාව හානි කරනවා. උක් පාත්ති විනාශ කරනවා. පස්සෙ පාලකයො ඒ කාලේ තුවක්කු මුරකරුවො කියල කොටසක් බඳවා ගත්තා. ඔවුන්ට තුවක්කු – පතුරම් දීලා රාත්‍රී මුරට යෙදෙවුවා. ඒ කාලේ මේ ප්‍රදේශය පුරාම වල් ඌරු මස් කඩ. ඉතාම ලාභෙට මස් තිබුණා. පිට පළාත් වලිනුත් හොයාගෙන ආවේ. අවුරුදු කීපයක් යනකොට වල් ඌරෙක් බේතකටවත් හොයා ගන්න නැහැ. අදටත් ගල්ඔය සීනි ආයතනයට වල් ඌරන්ගෙන් හානියක් නැහැ. දැන් තුවක්කු මුරකරුවොත් නැහැ. එහෙම නොකළා නම් මිනිස්සුන්ට වඩා වල් ඌරෝ වැඩි වෙන්න තිබුණා.” යැයි නම නොලියන ලෙස ඉල්ලා සිටිමින් විශ්‍රාමික කෘෂිකර්ම නිලධාරිවරයකු කීවේය. මේ තරම් දැඩි ලෙස ඔහු අදහස් පළකරන්නේ ‘අවිහිංසාව’ ගැන තැකීමක් නොකරන නිසා නොව, ප්‍රශ්නය නිසා පීඩා විඳින තමන් මෙන්ම ජනතාව ගැන සිතාය. බොහෝ දුර අතීතයක් ඇති මේ අර්බුදයට කිසිවකුත් ‘ගැළපෙන විසඳුමක්, ස්ථීර විසඳුමක් වන ජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් පාර්ශ්වයක් ඉදිරිපත් කර නැත. කලක් තිස්සේ විසඳුම් ඉල්ලා ජනතාව නඟන හඬ, වගකිව යුත්තන් ‘නෑසූ කන්ව’ ඉවසා වදාරති.

එසේ වුවද පවතින රජය මෙන්ම පැවති පසුගිය රජයන් ද මේ බව දැන දැනම අසාර්ථක ගෙවතු වගා සංග්‍රාමයන් සඳහා විවිධ ව්‍යාපෘති හඳුන්වා දෙමින් රුපියල් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරති. ඔවුහු ගෙවතු වගා සඳහා බීජ බෙදා දුන්හ. අඹ – දොඩම් – පේර වැනි පලතුරු වර්ග ලබා දුන්හ. පලතුරු ගම්මාන ඇති කළහ. මේ සෑම වැඩසටහනකින්ම මහජන මුදල් කෝටි ගණන් වැය කළා විනා ඉන් රටට – මහජනතාවට සිදු වූ ප්‍රයෝජනයක් සෙතක් නැත. මේවා පිළිබඳ පසු ඇගයීමක් – පසු විපරමක් කර නැත.

බීජ ටිකක් – දුන්න විට පැළ ටිකක් දුන් විට මුළු රටම එළවළුවලින් පලතුරුවලින් ස්වයංපෝෂිත වනු ඇතැයි මුග්ධ නිලධාරීහු සිතති. මාධ්‍ය සංදර්ශන පවත්වා – පෝස්ටර් – බැනර් ගසා වගා සංග්‍රාම ආරම්භ කරන වගකිවයුත්තෝ ඉන් පසුව ශීත කාමරවල ඉඳගෙන ඒ පිළිබඳ ව්‍යාජ ගණන් හිලවු ඉදිරිපත් කරනවා විනා මහ පොළොවේ යථාර්ථය සොයා බලන්නේ නැත. සිරිසේන අපට කියන්නේ ඒ
ගැනය.

“පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ මටත් අඹ පැල 35ක් ලැබුණා. මම න්‍ක්‍ඊ යන්ත්‍රයක් දාලා ප්‍රමිතියට වළවල් කපලා පොහොර දාලා හැදුවා. මෝටරය ළිඳට දාලා වතුර දැම්මා. සාරයට හැදුණා. නමුත් පස්සෙ ගහට කොළ වලට ලෙඩක් ආවා. කවුරුවත් බලන්න ආවේ නැහැ. උපදේශයන් දෙන්න කෙනෙක් ආවා. ඒ එක්කම මැරිලා ගියා ගහක් දෙකක්. මල් හැදිලා එහෙම්මම වේලිලා යනවා. ගස් කිහිපයක ගෙඩි කිහිපයක් හැදුනත් අපට රස බලන්නවත් ලැබුනේ නැහැ. වඳුරො කාලා ගියා.”

“ගෙවතු වගාවට වන සතුන්ගෙන් වන හානි පිළිබඳව කාලයක් තිස්සේ අපිත් දැනුවත් වී සිටිනවා. පසුගිය කාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදිත් සාකච්ඡාවෙලා විවිධ තීරණ – යෝජනා අරන් වගකිවයුතු අංශ වලට දන්වා යවා තිබෙනවා. නමුත් තවමත් සාර්ථක විසඳුමක් ලැබිලා නැහැ. ගෙවතු වගා හානිය බෙහෙවින් සිදුවන දමන කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් – ඊ.එම්.එස්. කුමාරි මහත්මිය කියන්නීය. රාජ්‍ය නිලධාරිනියකම කියන මේ කතාව තත්ත්වය අවබෝධ කරගැනීමට තරම් ප්‍රමාණවත්ය. රාජ්‍ය යාන්ත්‍රනය තුළ ඇය සිටින ස්ථානයේ සිට ‘කළ හැකි දේ’ ය විසින් ඉටු කර ඇති මුත් කොළඹ ශීත කාමර වල සැප ගන්නා නිලධාරියාගේ සිට දෙස්පාලුවා දක්වා අයට මේ ප්‍රශ්නය වෙනුවෙන් මිඩංගු කරන්නට කාලයක් නැත. ඒ උදවියට ඊට වඩා ප්‍රශ්න ඇතැයි සිතා අපි හිත හදාගනිමු.

අම්පාර සහකාර වනජීවී අධ්‍යක්ෂක ප්‍රශාන්ත විමලදාස කියන කාරණයට ද අවධානය යොමු කළ යුතුය.

වඳුරන්,ඌරන් ගොවිතැන විනාශ කරනවා…නිලධාරීන් අපිව කන්න හදනවා…

“ඔය ප්‍රශ්නෙ අම්පාරට – නැගෙනහිර පළාතට විතරක් තියන ප්‍රශ්නයක් නෙවේ. මේ වන විට මුළු රට පුරාම තියන ප්‍රශ්නයක්. තවම ස්ථීර විසඳුමක් නැහැ. දැනට තියන විසඳුම තමයි, ලොකු යකඩ කූඩු හදලා ඒවට මේ සත්තු කූඩු කරලා කූඩු පිටින් අරන් ගිහින් ගම්වලින් ඈත වනාන්තරවලට ගෙනිහින් දාන එක. මේක අපි පසුගිය කාලයේ ස්ථීරවම කතරගම සිදු කළා. යම් යම් අනුග්‍රහයන් ලබාගෙන. නමුත් අද රටේ පවතින ආර්ථික තත්ත්වය මත අපට ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ. කූඩු හදන්න විශාල මුදලක් දරන්න වෙලා තියනවා. ඒ නිසා ඒකත් මේ කාලේ කරන්න අමාරු වෙලා තියෙනවා. වෙනත් විකල්පයක් තවම නැහැ.”

මේ කතා බහ අනුව අපට තේරෙන්නේ ප්‍රශ්නය විසඳීම ඒ තරම් අපහසු කාරණයක් නොවන බවය. “අද රටේ පවතින ආර්ථික තත්ත්වය මත අපට ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ.” කියන කතාවම විහිළුවකි. ප්‍රශ්නය අවුරුදු තිහ හතළිහක් තරම් පරණය. ඒ අවුරුදු ගණනටම “රට දුප්පත්” වී තිබුණේ නැත. අඩුම වශයෙන් අයවැයකදී මේ සඳහා විසඳුමක්, මුදල් වෙන් කිරීමක් කරන්නට නොහැකි වීමම නිලධාරීන් සහ ආණ්ඩුව අතර ඇති දුරස් භාවය මෙන්ම නොසැලකිල්ල බව කිව යුතුය. ගම, ජනතාව නියෝජනය කරන්නට දියවන්නාවට යවන මැති ඇමැතිවරුන් ප්‍රශ්නය අමතක කර හෝ වුවමනාවෙන් අමතක කරන බවට නිදසුනකි. බැටකන පුරවැසියන් මේ බොරුව හැමදාමත් පිළිගන්නට සූදානම් නොමැති බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

රවීන්ද්‍ර මැදගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment