මම ගමේ කෙල්ලෙක් පසුතැවීම් නැති වෙන්න බැහැනේ…

313

මිදුණු විශ්වය සහ ගුත්තිල ගැන චුලක්‍ෂි කියන කතාව
සමුගන්නා කාලය ගැනත් ඉඟියක්
ජයන්ත චන්‍ද්‍රසිරි අධ්‍යක්‍ෂවරයා මුණගැසීම රංගන පාසලකට ගියා වගේ දැනෙනවා

චුලක්‍ෂි රණතුංග කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙන් ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් ජනප්‍රිය දක්‍ෂ රංගන ශිලිපිනියක්. චුලක්‍ෂි රංගනයෙන් දායක වන චිත්‍රපට දෙකක් මේ දිනවල තිරගත වෙනවා.

මම ගමේ කෙල්ලෙක් පසුතැවීම් නැති වෙන්න බැහැනේ…

ඒ ජයන්ත චන්‍ද්‍රසිරි නමැති අධ්‍යක්‍ෂවරයාගේ ‘මිදුණු විශ්වය’ සහ සනත් අබේසේකරගේ ‘ගුත්තිල’ නම් සිනමාපට ද්විත්වයයි. ගුත්තිල සිනමා පටයේ මංගල දර්ශනයේදී චුලක්‍ෂි අපට දකින්න ලැබුණත් මිදුණු විශ්වය සිනමා කෘතියේ මංගල දර්ශනයේදී අපට ඇය දකින්න ලැබුණේ නෑ. ඇත්තටම චුලක්‍ෂි පසුගිය දවස්වල ලංකාවේ හිටියෙත් නෑ. ඒ ආගිය තොරතුරු දැනගන්න හිතාගෙනම අපි චුලක්‍ෂිට කතා කළා.

චුලක්‍ෂි රංගනයෙන් දායක වුණු මිදුණු විශ්වය සහ ගුත්තිල කියන චිත්‍රපට දෙකම තිරගත වෙනවා නේද?

ඇත්තටම සතුටුයි. මොකද චිත්‍රපට තිරගත වෙන්නෙ නැති කාලයක් අපේ රටේ තිබුණා. අනික අපි රඟපෑ චිත්‍රපට කවදද තිරගත වෙන්නෙ කියලත් කාලයක් බලාගෙන හිටියා. ඒකට පිළිතුරක් වශයෙන් කරපු දේවල් තිරගත වෙනකොට ගොඩක් සතුටුයි.

මම ගමේ කෙල්ලෙක් පසුතැවීම් නැති වෙන්න බැහැනේ…

● වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මිදුණු විශ්වයට ද, ගුත්තිල චිත්‍රපටයට ද?

විවිධ වූ චරිත දෙකක රඟපෑමක් විදිහට තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. මේක හොඳයි, මේක නරකයි කියලත් කියන්න බැහැ. සුමධ්‍යා කියන්නේ සමකාලීන දේවල් කතාබහ කරන චරිතයක්. ගුත්තිල හි රජ කුමරියගේ චරිතයෙන් කතාබහ කරන්නේ ඉතිහාසය සහ පෞරාණික භාෂාව.

ජයන්ත චන්‍ද්‍රසිරි නමැති අධ්‍යක්‍ෂවරයා මුණගැසීම ගැන මොකද හිතන්නේ?

ඔහු වගේ අධ්‍යක්‍ෂවරයෙක් මුණගැසීම රංගන පාසලකට ගියා වගේ දැනෙනවා. ලංකාවෙ රංගනය හදාරන්න පාසල් නැහැ කියලත් ගොඩක් දෙනකුගේ මතයක් තියෙනවානේ. මම හිත්න්නෙ එහෙම නැහැ කියලයි.

මම ගමේ කෙල්ලෙක් පසුතැවීම් නැති වෙන්න බැහැනේ…

● චුලක්‍ෂි, ජයන්ත චන්‍ද්‍රසිරිගේ පාසලේ සිසුවියක්?

මගේ පළමු චිත්‍රපටයෙන් පසුව මම තීරණය කළා රංගනයේ දිගටම නියැළෙනවා නම් ඒක හදාරන්න හෝ ඉගෙන ගන්න ඕනෑ කියලා. එහිදී මම තීරණය කළා ජයන්ත චන්‍ද්‍රසිරි මහත්මයාගේ ඩිල් ඇකඩමියට සම්බන්ධ වෙලා රංගනය හදාරනවා කියලා. ඊට පස්සෙ තමයි මම මිදුණු විශ්වය චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

● මිදුණු විශ්වය මංගල දර්ශනයට සහභාගි වෙන්න බැරිවුණා නේද? විදෙස්ගත වුණා කියලත් ආරංචියි?

මම ඔස්ටේ්‍රලියාවේ පැවැති නර්තන ප්‍රසංගයකට සහභාගි වෙන්න තමයි විදෙස්ගත වුණේ. සති දෙකක් විතර මම ලංකාවෙ හිටියෙ නැහැ. ඒකයි මංගල දර්ශනයට සහභාගි වෙන්න බැරිවුණේ.

● ඒ ගැන දුකක් නැතිද?

ඇත්තටම දුකක් තිබෙනවා. චිත්‍රපටයක මංගල දර්ශනයට සහභාගි වෙන්න බැරිවුණා කියන්නෙ වෙඩින් එකකට මනමාලිට එන්න බැරිවුණා වගේ වැඩක්නේ. මම ගොඩක් උත්සාහ කළා සහභාගි වෙන්න. නමුත් ඒ අවස්ථාව ගිලිහුණා. නමුත් මම මීට පෙර පැවැති දර්ශන වාර දෙකටම සහභාගි වුණා.

● කාලය හරහා ආදරය කතා කිරීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම අපි දැකල තියෙන්නේ ආදරයට හරස්වන විවිධ වූ බාධක ගැන කියැවෙන කතානේ. මේකෙ ඇත්තටම ආදරයට බාධක වෙන්නේ කාලය. නමුත් ඒක ඇතුළෙ දකින ආදරය ඉතා සුන්දර ආදරයක්. ආදරය කියන්නෙ, අත්පත් කර ගැනීමක් නෙමෙයි කියන එකත් උදාහරණයකට ගන්න පුළුවන් මාතෘකාවක් වේවි මිදුණු විශ්වය.

● මේ දවස්වල මොනවද කරන්නේ?

මම ඔස්ටේ්‍රලියානු සංචාරයට සහභාගි වෙන්න කලින් චිත්‍රපටයක වැඩ කටයුතු අවසන් කරලයි ගියේ. චිත්‍රපට කියන්නෙ ටෙලි නාට්‍යවලට වඩා ගොඩක් වෙනස් මාතෘකාවක්. මම දන්නෙ නැහැ, ටෙලි නාට්‍ය කරන කට්ටියගෙ ෂෙඩියුල් එක කොහොමද කියලා. චිත්‍රපටයක වැඩ අවසන් වුණාම මම පොඩි කාලයක් ගන්නවා නිදහසේ ඉන්න. චිත්‍රපටයක් වෙනුවෙන් කැප කරන කාලය හරි මහන්සියි. අපි ඒ චරිතය ඇතුළෙ ජීවත් වෙන්න ඕනෑ. මම ලංකාවෙන් යන්න කලින් අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත මනම්පේරි ගේ චිත්‍රපටයක වැඩ කටයුතු අවසන් කරලයි ගියේ.

● ටෙලි නාට්‍යවලට වැඩි ඉඩකඩක් වෙන් කරන්න අකමැතිද?

වෙදහාමිනේ, ගිරය වගේ කලාත්මක නිර්මාණවල රඟපාන්න, ඒ වගේම මෑත කාලයේ විකාශය වුණු සහෝදරයෝ, කූඹියෝ වගේ නිර්මාණවලත් වැඩ කරන්න, චිත්‍රපට වලින් නොලැබෙන ටෙලි නාට්‍යවලින් දකින්න ලැබෙන හොඳ කලාත්මක ටෙලි නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.

●තවමත් නිරූපණයට ආරාධනා ලැබෙනවාද?

ආරාධනා ලැබෙනවා. හැබැයි මට ලැබෙන හැම නිරූපණ ආරාධනාවක්ම පිළිගන්නේ නැහැ. මොකද ගොඩක් වෙළෙඳ නාමවල සන්නාම තානාපතිකම භාරගත්තොත් තේරුමක් නැති වෙනවා. ඒ වගේම අපිට සරිලන මිලක් ලැබෙන්නෙ නැතිව යනවා. ඒ හින්දා මට ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නේ නැහැ.

● චුලක්‍ෂි මේ ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්

සමහරුන්ට පේනවා ඇති මේක හරි ලේසි ගමනක් කියලා. මේ ගමන පොඩ්ඩක්වත් ලෙහෙසි නැහැ, හරි අමාරුයි. ගොඩක් දුෂ්කරතා ඇවිත් තියෙනවා. ජීවිතයේ කඩාවැටීම් ඇවිත් තිබෙනවා. පැරදීම් ඇවිත් තිබෙනවා. බාධක ඇවිත් තිබෙනවා. මම මෙතැනට ඇවිල්ලා ලොකු කාලයක් නැහැ. මේ ටික කාලයේදී මම, මට අවශ්‍ය ඉලක්ක වෙත ඇවිත් තිබෙනවා. මම ඒ ගැන හිතල සතුටු වෙනවා.

ඇත්තටම පසුතැවීම් නැතිද?

අනිවාර්යයෙන්ම තිබෙනවා. පසුතැවීම් නැතිවෙන්න බැහැනේ. අපිට හැමදේම ලැබිල නැහැනේ. සමහර වසංගත කාලවලදී හරි අපිට පසුතැවීම් තියෙනවානේ.

● චිත්‍රපට කීයක් විතර තිබෙනවද තිරගත වෙන්න.

මම හිතන්නෙ තවත් චිත්‍රපට පහක් විතර තිරගත වෙන්න තිබෙනවා.

● පෙනුම හැමදාම එක විදිහට තියාගැනීමේ රහස හෙළිකරන්න බැරිද?

ඒකටත් මහන්සි වෙනවා. ව්‍යායාම කරනවා. සමහරු හිතනවා ඇති මම කොළඹ ජීවත්වන හින්දා ඒ විදිහට හිතනවා ඇති කියලා. නැහැ, මම ගමේ මනුස්සයෙක්. ගොඩක් වෙලාවට දේශීය දේවලින් ගන්න තිබෙන සාරයෙන් සහ ගුණාත්මක භාවයෙන් යුත් කෑම රටාවලට පුරුදුවෙලා ඉන්නවා. ඒ හින්ද වෙන්න ඇති තවමත් මේ විදිහට ඉන්නේ.

● කතාවක් තියෙනවා චුලක්‍ෂි තැනකට යනකොට ගෙදරින් කෑම හදාගෙන යනවා කියලත්.

ඔව් මම සමහර වෙලාවට ගෙදරින් කෑම හදාගෙන යනවා. ව්‍යායාමවලට අපිට හැමදාම යන්න බැරිවුණත් අපි එකම ස්වභාවයේ රැඳිල ඉන්න එපායැ. දවස් 15 – 20 ව්‍යායාම නැතිව ඉන්නවා කියන්නේ ලොකු කාලයක්. ඉතිං ඒ දවස්වලට පොඩ්ඩක් කට පරිස්සම් කරගන්නවා. සීනි, පිටි, තෙල් කෑම වැඩිපුර කන්නෙ නැහැ. ගෙදරින් හදාගෙන යනකොට මම දන්නවනෙ කොයි මෙෂමන්ට් එකට ද අද දවසෙ මම කාල තිබෙන්නෙ කියලා. ඉතිං එහෙම කාල තමයි මේ විදිහට ඉන්නේ.

● රඟපෑමට කැමැති චරිත තිබෙනවාද?

ඔව්, තවම මම බලාපොරොත්තු වුණු චරිත සියල්ලම මට ලැබිල නැහැ. විවිධ වූ චිත්‍රපට බලද්දී හිතෙනවා මේ චරිතය ලැබුණා නම් හොඳයි කියලා. කොච්චර කළත් මිනිස්සු විදිහට හරි පෘථග්ජන විදිහට හැඟීම් තිබෙනවා. කොච්චර කළත් සෑහීමකට පත්නොවෙන අවස්ථාවල් තිබෙනවා.

● ජාත්‍යන්තරය නියෝජනය කරන්න අදහසක් තිබෙනවාද?

අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒක ආසාවක්, ඉලක්කයක්, සිහිනයක් විදිහට දකිනවා.

● ගුත්තිල චිත්‍රපටයට ආරාධනාව ලැබුණට පස්සෙ මොකද හිතුණේ?

ගුත්තිල, මූසිල චරිත දෙක තමයි අපි පුංචි කාලෙ ඉඳල අහල තිබෙන්නේ. මුන්නාගේ චරිතය යශෝධා අක්කාත්, ගුත්තිලගේ චරිතය එඩ්වඩ් අයියත්, මූසිල අකිලත් නිරූපණය කරනවා. සතිස්චන්‍ද්‍ර එදිරිසිංහ සහ

අයිරාංගනී සේරසිංහ වගේ දැවැන්තයන් සමඟත් මට මෙහිදී රඟපාන්න ලැබුණා. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්.

● ගුත්තිල හි රජ කුමරියගේ චරිතය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

මම ක්‍ෂේත්‍රයට එන්නෙ ප්‍රේමවන්තියගේ චරිතයක් හරහායි. නමුත් මට ඕනෑ වුණේ චරිතාංග නිළියක් වෙන්න. මම ඒකට හරි ආසයි. මම රජ කුමරියගේ චරිතය හරි ආසාවෙන් භාරගත්තු චරිතයක්. පාසල් විෂය නිර්දේශයට පවා ඇතුළත් වෙලා තිබෙන මෙවැනි ඉතිහාස කතාවකට සම්බන්ධ වෙන්න ලැබීම මා ලද ලොකු ජයග්‍රහණයක්.

ජයන්ත චන්‍ද්‍රසිරි කියන අධ්‍යක්‍ෂතුමා මට ඇත්තටම සර්, මම ඔහුගෙන් තමයි රංගනය ඉගෙන ගත්තේ.

● ගුත්තිල හි රජ කුමරිය වෙනුවෙන් මොනවගේ කැපකිරීමක් ද සිදුකළේ?

ඒ කාලෙ මම රංගනය ගැනත් ලොකු හැදෑරීමක් සිදුකරලා තිබුණේ නෑ. ඓතිහාසික චිත්‍රපටවල රඟපානකොට අවශ්‍ය අතිශයෝක්තියෙන් රඟපෑම පවා මම ඉගෙන ගත්තා. යශෝධා අක්කා මට මෙහිදී ගොඩක් උදව් කළා. ලොකු සහයෝගයක් ලැබුණා.

● පෙම්වතියගේ චරිතයෙන් මිදිලා චරිතාංග නිළියක් වෙන්නද කැමති?

මේ වෙනකොට මම පිටපත් ගනිද්දී, මම අධ්‍යක්‍ෂවරයකුට කියන කතාව තමයි, මට අවශ්‍ය වෙන්නේ චරිතාංග නිළියක් වෙන්න කියන කතාව. පෙම්වතියගේ රාමුවට කොටුවෙන්න මම කැමැති නෑ. අම්මා කෙනකුගේ චරිතයක් ලැබුණත් ඊට අවශ්‍ය විදිහට සිරුර හදාගෙන ඒ චරිතය කරන්න මම කැමතියි. නිරූපණය කියන විෂයයට ගැළපෙන විදියට සිරුර පවත්වාගෙන ගියාම චරිතයකට ආරාධනාවක් ලැබුණොත් එයට සරිලන සිරුරක් හදාගෙන ඊට සහභාගි වෙන්න සූදානමක් තිබෙනවා. මොකද යම් දවසක මම මේ ක්‍ෂේත්‍රයෙන් ඉවත් වුණොත් මට සතුටු වෙන්න පුළුවන් විදිහේ වැඩ කරන්න ඕනෑ. මම මේ ක්‍ෂේත්‍රයේ සදාකල් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. බොහෝ දුරට මම යම් කාලයකදි සමුගන්නවා. ඒ කාලෙ වෙනකොට මම චරිතාංග නිළියක් වෙලා අයින් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

දිනේෂ් විතාන
ඡායාරූප – අන්තර්ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment