ශුද්ධවන්තයන්ගේ මංගල්ලය උපන් දිනට ද? ස්වර්ගස්ථ දිනට ද?

71

ශුද්ධවූ අන්තෝනි, ශුද්ධවූ ජූඩ්, ශුද්ධවූ සෙබස්තියන්, ශාන්ත ආනා ආදී ශුද්ධවර මංගල්ල අප රටේ බෙහෙවින්ම ජනප්‍රියය. මේ මංගල්ල පවත්වනු ලබන්නේ එම ශුද්ධවන්තයන් ස්වර්ගස්ථ වූ දිනය පදනම් කරගෙන මිස උපන් දිනය පදනම් කරගෙන නොවේ.

ජේසු සමිඳුන්ගේ උපන් දිනය ලෝ පුරා මහත් වූ උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ. මේ හැරුනු විට කතෝලික ජනවන්දනා ලිතෙහි සඳහන් වන්නේ තවත් උපන් මංගල්ල දෙකක් පමණි. දේවමාතා උපන් දිනය සැප්තැම්බර් 8 දාත්, ස්නාවක ජුවාම් මුනි උපන්දිනය ජුනි 24 දාත් ලෙස දැක්වේ. ජේසු උපත හැර එම උපන්දින දෙක මංගලශ්‍රීයෙන් සමරනු ලබන්නේ කුමක් නිසාද?

උපන් මංගල්‍යයන් සමරනු ලබන්නේ ජන්ම පාප දොසින් නිදොස් වූ අයගේය. ජේසු සමිඳුන්, දේව මෑණියන් හා ස්නාවක ජුවාම් තුමන් ජන්ම පාප දොසින් නිදහස්ව උපත ලද බව පිළිගැනීමය.

ජන්ම දෝෂයන් නිර්දෝෂීව පිළිසිඳු මරියනි යැයි අප ජපමාල උච්චාරණයේදී යදිමු. මරිය මෑණියන් ජන්ම පාප දොසින් නිර්දෝෂීව පිළිසිඳුණ බව 9 වන පියුස් පාප්තුමා (1846 – 78) 1854 දෙසැම්බර් 8 දින අති පාරිශුද්ධවත් කන්‍ය මරියෝත්තමාවන් එතුමිය පිළිසඳ ගත් මොහොතේ සිටම දෙවියන් වහන්සේගේ අද්විතීය දේව වරප්‍රසාදය හේතු කොටගෙන මහ මිනිස් සංහතියේ ගැලවුම්කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පින් කුසල්වල ප්‍රතිඵලයක් ලෙස සියලු පාපවලින් ආරක්ෂා කරනු ලැබිණි යැයි ප්‍රකාශයට පත් කළේය.

ස්නාවක ජුවාම් තුමා ජන්ම පාප දොසින් නිදහස් වූයේ පිළිසිඳුණ අවස්ථාවේ නොවේ. මරියතුමිය එළිසබෙත් තුමිය බැහැදැකීම සඳහා ජුදා කඳුකරයේ නුවරකට (එයින්කැරෙම් නුවර) ගියේ එළිසබෙත් තුමිය දරුවා පිළිසිඳගෙන මාස 6 කට පසුවය. (ලුක් 1:39) ලුක් සුභාරංචියේ 1:41 අනුව එළිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසයෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එළිසබෙත් ශුද්ධාත්තමයාණන්ගෙන් පූර්ණ වූ බව එහි සඳහන්ය. මෙම මරියතුමිය හා එළිසබෙත් තුමිය හමුව මැයි 31 දින සමරනු ලැබේ.

එහෙත් ශුද්ධවර උපන් මංගල්ල සැමරීම සභාව විසින් නිල වශයෙන් තහනම් කර නැත. වහකෝට්ටේ ශුද්ධවූ අන්තෝනි මුනිදෙව් විමනේ එතුමාගේ උපන් මංගල්ල පදවි එඬේරාණන්ගේ ද සහභාගිත්වයෙන් සෑම වසරකම අගෝස්තු 18 දින පවත්වනු ලබන්නේ එදින එතුමාගේ උපන්දිනය පදනම් කරගෙනය. හතරවන සියවස වනතුරුම ජේසු උපත පදනම් කරගෙන උත්සව පැවැත්වීමක් ද සිදු වී නැත.

● කැලිස්ටස් ජයමාන්න
හීන්කෙන්ද

ශුද්ධවන්තයන්ගේ මංගල්ලය උපන් දිනට ද? ස්වර්ගස්ථ දිනට ද?
advertistmentadvertistment
advertistmentadvertistment