වසර 31 කට පෙර සිදු කළ ඝාතනයකට තිදෙනෙක් එල්ලුම් ගස්

411

අයෙකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

වසර 31 කට පෙර පොලු‍මුගුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් තිදෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඊයේ (10දා) මරණ දඬුවම නියම කර තවත් පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

මීගමවත්ත ජනපදය, 5 කණුවේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනපාල ප්‍රනාන්දු නැමැත්තා 1992 ජනවාරි මස 15 හෝ ඊට ආසන්න දිනක නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී පොලු‍මුගුරුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කොට තිබිණි.

නඩුවේ 3, 4 සහ 5 වන විත්තිකරුවන් වන වලගෙදර, පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර්, නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා, 5 කණුව කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්ද නමැති පුද්ගලයන් හට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි. පළමුවන විත්තිකරු වන බේරුවල, කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්නා යන අයට වසර 10 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවම්ද නියම කළේය. නඩුවේ 2 වන විත්තිකරු පිළිකා රෝගයකින් මියගොස් ඇති බවට අධිකරණයේදී අණාවරණය වී ඇත.

දෙපාර්ශවය අතර ඇතිවූ කෝලහලයකින් පසු නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී පොලු‍මුගුරු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්දයෙන් විත්තිකරුවන් වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට තිබිණි. වසර 32 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර විත්තිකරුවන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.

ආර්.ඒ.එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment