ප්‍රියමාලිගේ සැමියා ලෙස පෙනී සිටි – ඉසුරු බණ්ඩාර අත්අඩංගුවට

951

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවගේ සැමියා ලෙස පෙනී සිටි ඉසුරු බණ්ඩාර නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර තිළිණි ප්‍රියමාලි නමැත්තිය සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසකට මෙම සැකකරු ද සම්බන්ධ බව විමර්ශනවලින් හෙළිවී ඇති බව පොලිසිය පවසයි.

ඉසුරු බණ්ඩාර නමැති සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබිණි. ඊයේ දහවල් මොහු ප්‍රකාශ ලබාදීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව, තමන්ට මූල්‍ය වංචාවක් සිදුකළ බවට මුලින්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර සිටියේ පිටකොටුවේ ව්‍යාපාරිකයකු වන කමල් හසන් නමැත්තකු විසින් ය.

කමල් හසන් නමැත්තා විසින් ව්‍යාපාරයක් සඳහා තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ආයතනයේ රුපියල් කෝටි දහයකට අධික මුදලක් ආයෝජනය කර තිබිණි.

එම මුදල් ආයෝජනය කර තිබුණේ රත්ත්‍රං භාණ්ඩ සහ රුපියල්වලින්ය. කමල් හසන්ට අයත් රන් භාණ්ඩ තිළිණි ප්‍රියමාලිගේ කාර්යාලය වෙත රැගෙන ආ අවස්ථාවේ ඒවා පරීක්‍ෂා කර තිබුණේ ඉසුරු බණ්ඩාර නමැති පුද්ගලයා විසින්ය.

එම රන් භාණ්ඩ පරීක්‍ෂා කරන වීඩියෝ පට සියල්ල මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන සිටියි.

අත්අඩංගුවට ගත් ඉසුරු බණ්ඩාර නමැත්තා තිළිණි ප්‍රියමාලිගේ සැමියා මෙන්ම පෙම්වතා ලෙස ද පෙනී සිට ඇති බව පොලිසිය පවසයි. විවිධ ප්‍රභූ පුද්ගලයන් සමග ඉසුරු බණ්ඩාර නමැත්තා සබඳතා පවත්වා ඇති අතර ඔවුන් සමග එකට සිට ලබාගත් ඡායාරූප පවා පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල පළවී තිබිණි.

සැකකාර ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment