ඉපදුණු මොහොතේම බිළිඳා මරා වළලලා – මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

89

උපත ලද මොහොතේම පිරිමි දරුවෙකු ඝාතනය කොට සිය නිවස පසුපස වළ දැමූ තිස් එක් හැවිරිදි මවක් සහ ඊට අනුබල දුන් බව කියන ඇගේ අනියම් පුරුෂයා ලබන වසරේ ජනවාරි මස 02 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට තඹුත්තේගම වැඩබලන මහෙස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය නියෝග කළේය.

සිය නීත්‍යානුකූල විවාහක සැමියාගෙන් වෙන්වී සිටින තඹුත්තේගම ඉපිල්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකාරිය වන එම්.ඩී. කණිෂ්කා මධුවන්ති සහ නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි හතළිස් හතර හැවිරිදි පී.ඒ. රංජිත් ප්‍රේමලාල් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඉකුත් 18 වෙනිදා පෙරවරු 6.00 ට පමණ සැකකාරිය විසින් සිය නිවසේදී දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව සිය අනියම් සැමියාගේ බල කිරීම මත සැකකාරිය විසින් ඝාතනය කොට මරා නිවස පසුපස වළ දමා තිබිණි.

අනතුරුව මේ සම්බන්ධයෙන් සැකසිතූ පුද්ගලයෙකුගෙන් ඉකුත් 22 වෙනිදා ලද නිර්ණාමික දුරකථන ඇමතුමක් අනුව තඹුත්තේගම පොලිසිය විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කොට තිබිණි.

ඒ අනුව තඹුත්තේගම පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අලු‍ත උපන් සිය දරුවා ඝාතනය කොට වළ දැමූ ස්ථානය අනාවරණය කර ගෙන තිබිණි.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩබලන මහෙස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය ඉදිරියේ දරුවාගේ සිරුර ගොඩ ගනු ලැබීය.

සැකකාරිය සහ සැකකරු අතර ඇති කර ගත් ප්‍රේම සම්බන්ධතාවක් මත මීට මාස දහයකට පමණ පෙර අනුරාධපුර නගරයේදී හමුවී අනතුරුව අඹුසැමියන් ලෙස හැසිරීමේ ප්‍රතිපලයක් වශයෙන් සැකකාරිය දරුවා ප්‍රසූත කොට ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී ජීවහස්ත සිරිසේන මහතාගේ උපදෙස් මත තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment