දඹාන විහාරස්ථානයකට වෙඩි

297

ජාවාරම්කරුවෝ වෙඩි තැබුවාදැයි සැකයක්

මහියංගණ, දඹාන, කුකුලාපොල, සොනුත්තර මහා විහාරයට පෙරේදා (11දා) රාත්‍රී 12.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවකුට හානි සිදුව නොමැති අතර, විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිඳී ඇත.

කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම් සම්බන්ධයෙන් ඊට විරෝධතාව දැක්වීම හේතුවෙන්, ජාවාරම්කාර පිරිසක් විසින් විහාරස්ථානයට වෙඩි තබන්නට ඇතැයි විහාරස්ථානයේ විහාරාධිපති පොල්පැලකැටියේ පඤ්ඤාරතන හිමියන් මාධ්‍ය හමුවේ පැවසූහ.

විහාරාධිපති හිමියන් සිද්ධිය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් “රාත්‍රි ගම්මානයේ පැවති තුන් මාසේ බණ ගෙදරක බණට වැඩම කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ සැතපී ඉඳිද්දී, රාත්‍රි 12.30ට පමණ ලොකු ශබ්දයක් ඇහුණා. ඒ එක්කම කාමරයේ විදුරු කුඩුවෙලා බිමට වැටුණා. නැගිටලා බලද්දී වෙඩි බෙහෙත් ගඳකුත් දැනුණා. මම අනුමානෙට හිතුවා වෙඩි ප්‍රහාරයක් තමයි එල්ල වුණේ කියලා. ජනේලේ සිදුරු දෙකක් තියෙනවා. ඇතුළේ මූනිස්සම් කැබලි දෙකක් තියෙනවා. අපි පොලිසියට පැමිණිලි කළාට පස්සේ මහියංගණ පොලිසියෙන් ඇවිත් මේ වන විට එම වෙඩි ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා.

විශේෂ පුද්ගලික තරහකාරයෝ අපිට මේ ගම්මානයේ නෑ. අපි භික්ෂූන් වහන්සේලා හැටියට මේ ප්‍රදේශයේ පවතින දුරාචාර විවේචනය කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ ගම්මානයේ තදින්ම පවතින ජාවාරම තමයි කසිප්පු ජාවාරම. ඒ වගේම වැලි ජාවාරම්, දැව ජාවාරම් වගේ ඒවා සුලභව තියෙනවා. ඇතැම් වෙලාවට විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන විහාරස්ථානය මුවාවෙනුත් එම ජාවාරම් කරපු අවස්ථා අපට දක්නට ලැබුණා. එවැනි අවස්ථාවලදී අපි එවැනි පුද්ගලයන් විවේචනය කරලා විහාරස්ථානයෙන් බැහැර කරන්නට සිද්ධ වුණා. ඒ වගේම කසිප්පු ජාවාරම් නිසා ප්‍රදේශයේ සිදුවන අකල් මරණවලට පාන්ශුකූලවලට ගියාම ඒ පිළිබඳ මිනිසුන් දැනුවත් කරන්න මත්ද්‍රව්‍ය විවේචනය කරන්න සිද්ධවෙනවා. මේ නිසා පුද්ගලයන් 05ක් පමණ අපිත් එක්ක උරණ වෙලා නොයෙක් ආකාරයෙන් විහාරස්ථානයේ කටයුතු කඩාකප්පල් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ගමේ මිනිස්සු විහාරස්ථානය එක්ක තියෙන සම්බන්ධකම් බිඳන්න කටයුතු සිදු කරමින් තියෙනවා. ඒ නිසා මෙම ක්‍රියාවත් ඒ පිරිසගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකියි. මම අනුමාන වශයෙන් සිතනවා. ඒ අය පන්සලට ඇවිත් තර්ජනය කරලා නෑ. නමුත් ගමේ ගෙවල් ගාණේ කඩවල් ගාණේ නොයෙක් විදියේ තර්ජන සිදු කරමින් ගියපු අවස්ථා ගැන අපිට අහන්න ලැබිලා තියෙනවා.” යැයි පැවසූහ.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මහියංගණ පොලිසිය විසින් සැකපිට

අත්අඩංගුවට ගෙන ඇත. මහියංගණ පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරති.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මහියංගණ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment