දියුණුව, කීර්තිය ගෙන එන පංච මහා පුරුෂ යෝගය

4085

කෙනෙකුගේ කේන්‍ද්‍රය තුළ දක්නට ලැබෙන යෝග ගණනාවකි. ඒ අතර සුබ යෝග මෙන්ම අසුබ යෝග ද ඇත. පුද්ගල ජීවිතය කෙරෙහි ඉමහත් බලපෑම් කරන මෙම යෝග අතර පංච මහා පුරුෂ යෝග ප්‍රධාන වේ. එම යෝග වැඩි ගණනක් යෙදී අති පුද්ගලයා සමාජයේ, රටේ උසස් තත්ත්වයකට පත්වෙයි. ගුරු, සිකුරු, බුධ, ශනි, කුජ යන ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානවල පිහිටීමෙන් මෙම පංච මහා පුරුෂ යෝග යෙදේ. මෙම යෝග ඔබේ හෝ ඔබේ දරුවාගේ ජන්ම පත්‍රයේ ඇත්දැයි ඔබටම හඳුනා ගැනීමට මෙම ලිපිය ඉවහල් වේ.

● ගුරු හංස යෝගය

කේන්ද්‍රයක ගුරු නොහොත් බ්‍රහස්පති ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක යෙදීමෙන් ගුරු හංස යෝගය යෙදේ. මෙම යෝගයෙන් හොඳ ඥාන ශක්තියක් ඇති නිරෝගිමත්, බලවත්, ධන සම්පත් හිමි දීර්ඝායුෂ ඇති පුද්ගලයකු බිහිවේ. රාජ්‍ය අංශයේ තනතුරු ලැබේ. ආගම දහමට ඉතා ලැදි වේ. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට මෙම යෝගය නොයෙදේ.

● භද්‍ර යෝගය

බුධ ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන ස්ථානයක පිහිටීමෙන් මෙම භද්‍ර යෝගය යෙදේ. මෙම යෝගය ඇති අයට දැනුම, බුද්ධිය හොඳින් පිහිටයි. ශාස්ත්‍රීය කටයුතුවලට, ලේඛන කටයුතුවලට, කථිකත්වයට දක්‍ෂ වේ. ගත්කතුවරුන්, මාධ්‍යවේදීන්, පැවිදි පඬිවරුන් මෙම භද්‍ර යෝගයෙන් බිහි වේ. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට මෙම භද්‍ර යෝගය යෙදේ.

● මාලවී යෝගය

මාලවී යනු අනංගයාය. අනංගයා වැනි රූප ශෝභාවක් මෙම යෝගය ඇති අයට හිමි වෙයි. සිකුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව 1, 4, 7, 10 හි යෙදීමෙන් උදාවන මාලවී යෝගය සෑම ලග්නයකටම යෙදේ. සතුට, විනෝදය, කලාකාමී බව මොවුන් තුළ පිහිටයි.

● සස යෝගය

ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක පිහිටීමෙන් සස යෝගය යෙදේ. මෙම යෝගය ඇති අයට ගේ දොර, ඉඩකඩම්, යාන වාහන හිමිවේ. දුක – සැප සමසේ විඳ දරා ගැනීමේ ශක්තිය ඇත. ආගම දහමට ලැදිය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හැර අනෙක් ලග්නවලට මෙම යෝගය යෙදේ.

● රුචක යෝගය

රුචක යෝගය යෙදෙන්නේ කුජගෙනි. කුජ නොහොත් අඟහරු 1, 4, 7, 10 කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව යෙදීමෙන් මෙම යෝගය යෙදේ. මෙම යෝගය ඇති අය නිර්භීතය. එඩිතරය. සතුරන් ජයගත හැක. ආරක්‍ෂක අංශවල ප්‍රධානීහු වෙති. කාර්මික හා වගා කටයුතුවලට දක්‍ෂය. මෙම යෝගය මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට නොයෙදේ.

ලග්නයේ කොටු අනුව මෙම යෝග ඔබේ කේන්ද්‍රයේ ද පිහිටා ඇත්දැයි හඳුනාගත හැකි වගුවක් පහත දැක්වේ. උදාහරණයක් ලෙස ලග්නය මේෂ නම්, ගුරු 4 කොටුවේ නම් ගුරු හංස යෝගය ඇත. සිකුරු 7 නම් මාලවී යෝගය ඇත. ශනි නොහොත් සෙනසුරු 7 හෝ 10 කොටුවක නම් සස යෝගය පිහිටා ඇත. කුජ 1 හෝ 10 නම් රුචක යෝගය ඇත. මේ අනුව අනෙක් ලග්නවලට ද මෙම යෝග යෙදී ඇත්දැයි හඳුනාගන්න.

දියුණුව, කීර්තිය ගෙන එන පංච මහා පුරුෂ යෝගය

කපිල ඉන්ද්‍රික ගුණදාස
පී.එච්.ඩී. (ඉන්දියා) දේශමාන්‍ය
විදුහල්පති, වාස්තු විද්‍යා උපදේශක
දු.අංකය – 074 1838000

advertistmentadvertistment
advertistmentadvertistment