විශ්‍රාමික දිවිය සුරක්ෂිත කරගන්න ලැබුණු අර්ථසාධක මුදලින් මහඟු මෙහෙවරක් කර රටටම ආදර්ශයක් දුන් අපූරු විදුලිබල සේවකයා

110

වයස පිරීමෙන් ඉසුඹු ලබන හැමදෙනාට ඇත්තේ තම රැකියා ජීවිතය තුළ ඉටු කර ගැනීමට නොහැකි වූ සුවිශාල පොදු බලාපොරොත්තු රැසකි.

නිවසේ ඉතිරිව ඇති වැඩ කටයුතු අවසන් කර ගැනීම, දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරදීම, ඔවුන් අවාහ විවාහ කරදීම, උගස් කර ඇතිනම් ගේ දොර ඉඩකඩම් නිදහස් කර ගැනීම, ණය තුරුස්වලින් නිදහස්වීම ආදිය එම බලාපොරොත්තු අතර නිසැකවම තිබේ.

මාසික විශ්‍රාම වැටුපක් වෙනුවට තම රැකියා ජීවිතයේ දුක් මහන්සි වී උපයා ගත් අර්ථ සාධක මුදල් හිමිකම මේ සඳහා ඔවුන්ට මහෝපකාරි වේ.

එසේ නොවේ නම් ඉදිරි ජීවිතය දුදරුවන්ට බරක් නොවනු පිණිස ලබා ගන්නා මුදල ස්ථිර බැංකු ගිණුමක මුදල් තැන්පත් කර ගැනීමට සමහර දෙනා කටයුතු කරති.

මේ නිසා විශ්‍රාම දිවියට සමග හිමි වූ අර්ථසාධක අරමුදල අනුන්ගේ යහපත පිණිස වැය කරන කෙනකු ගැන ඇසීම ඉතාමත් දුර්ලභ සිද්ධියක් යැයි කීම උචිතය.

එහෙත් මේ පුවත ඊට වෙනස් එකකි. බඩල්කුඹුර, බුත්තලපාර, එකේ කණුව ප්‍රදේශයේ පදිංචි වයි. එම්. ගුණතිලක මහතා ලංකා විදුලි බල මණ්ඩලයේ ආරක්ෂක අංශයේ සේවකයෙකි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළ හෙතෙම වසර 37 ක දිගු සේවා කාලයක් සම්පූර්ණකර පසුගිය දා ඉසුඹු ලැබුවේය.

හෙතෙම තම ගම් ප්‍රදේශයේ පදිංචි පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකි නම් එය ඔවුන්ගේ පවුල්වල දෙමාපියන්ට මහත් අස්වැසුමක් බව සිය බිරිඳ සහ දරුවන් සමග කතාබහ කළේය.

රටට දැයට සේවයක් කළ හැකි උගත් පිරිසක් දැකීම ද ප්‍රිය කළේය.

ඒ අනුව හෙතෙම තම නිවසට මහා සංඝරත්නය වඩමවා ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු කර පාසල් දරුවන් 550 දෙනකුට සෑම විෂයක් සඳහාම වසරකට ප්‍රමාණවත් සී. ආර්. අභ්‍යාස පොත් කට්ටලය බැගින් බෙදා දීමට පියවර ගත්තේය.

මො/බ/නිශ්ශංක ජාතික පාසල ඇතුළු මො/බ/ මාලිගාතැන්න මහා විද්‍යාලය, මො/බ/ බෝගහපැලැස්ස මහා විද්‍යාලය ආදි පාසල්වල දරුවන් එම පරිත්‍යාගයන් ලබා ගත්හ.

තවදුරටත් පසුගිය 02 දින බඩල්කුඹුර, වෑකුඹුර සුදර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ අධ්‍යාපනය ලබමින් සිටින භික්ෂුන් වහන්සේ 75 දෙනාටක් වසරකට ප්‍රමාණවත් සී. ආර්. අභ්‍යාස පොත් කට්ටල ලබාදීමට පියවර ගත්තේය.

මේ සඳහා අර්ථ සාධක අරමුදල් ලෙස ලබා ගත් රුපියල් ලක්ෂ 9ක විශාල මුදලක් වැය කර තිබේ.

බඩල්කුඹුර, පුංසිසිගම පදිංචි විශ්‍රාමික රාජ්‍ය සේවක ආර්.ඒ. අප්පුහාමි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු ලෙස ගුණතිලක මහතා කළ මෙම පරිත්‍යාගය ඇති හැකි සැම ආදර්ශයට ගත යුතු දුර්ලභ සත්ක්‍රියාවක් බවයි.

මෙම මහගු පරිත්‍යාගය කළ වයි.එම්. ගුණතිලක මහතාට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු.
බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment