ප්‍රංශයේ තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා වෙනුවෙන් අරමුදලක්

2437

ප්‍රංශය පුරා විරෝධතා කැරළි ඇති වීමට හේතු වූ පොලිස් මාර්ග බාධකයක් අසලදී තරුණයකු මිය යෑමේ සිද්ධියට වගකිවයුතු වූ පොලිස් නිලධාරියා වෙනුවෙන් පිහිටුවා ඇති අරමුදල් එකතු කිරීමේ ව්‍යාපාරයකට ප්‍රංශයේ දේශපාලකයන් ඇතුළු පාර්ශවයන් රැසක් සිය විරෝධය පළ කර තිබේ. ප්‍රංශයේ දක්ෂිණාංශික දේශපාලනඥයකු වන මරින් ලෙ පෙන් ගේ උපදේශකයකු වන ජින් මෙසිහා විසින් ‘ගෝ ෆන්ඩ් මි’ නමින් ආරම්භ කර ඇති මෙම අරමුදල සඳහා ඊයේ (04දා ) වන විට යුරෝ නව ලක්ෂ හැටතුන්දහසක මුදලක එකතු වී තිබූ අතර එම අරමුදල විවේචනයට ලක් කර ඇති මධ්‍යම හා වාමාංශික දේශපාලනඥයන් එය වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ. මෙසේ රට පුරා කෝලාහල ඇති කිරීමට හේතු වූ පොලිස් නිලධාරියකු වෙනුවෙන් අරමුදල් රැස් කිරීම අවිනීත ක්‍රියාවක් බව විවේචකයෝ පෙන්වා දී තිබේ.

ඇල්ජීරියානු සම්භවයක් සහිත 17 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණයකු වන නහෙල් එම් හට මෝටර් රථයක ගමන් කරමින් සිටියදී වෙඩි තැබූ පොලිස් නිලධාරීයා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර එම පොලිස් නිලධාරියා තරුණයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට ද පියවර ගෙන තිබිණි. අදාළ තරුණයා මිය යෑමේ සිද්ධියට විරෝධය පාමින් ප්‍රංශය පුරා හටගෙන ඇති කැරලි මැඬලීම සඳහා රජය විසින් සෑම දිනකම රාත්‍රි කාලයේදී පොලිස් නිලධාරීන් 45,000ක් පමණ දෙනා සේවයේ යොදවන බව වාර්තා වී තිබේ. ඉකුත් අඟහරුවාදා දිනයේ ආරම්භ වූ මෙම කැරලි මේ වන විට තරමක් අඩු වී ඇතත් තවමත් සැලකිය යුතු මට්ටමේ විරෝධතාවන් ප්‍රමාණයක් රට පුරා ක්‍රියාත්මකව පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

 

advertistmentadvertistment
advertistmentadvertistment