පෙළපාලිවලට ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 6125ක්

101

නිදහස් උළෙල බලන්න සාමාන්‍ය ජනයාට ඉඩ නෑ

තේමාව ‘හදමු අලුත් රටක්’

76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතා සහභාගි වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ඊයේ (31 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙම අවස්ථාවට තායිලන්ත අගමැතිවරයා සමග දූත පිරිසක් ද එම තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද සහභාගි වන අතර සාමාන්‍ය ජනතාව සඳහා නිදහස් පෙළපාලිය නැරඹීම සඳහා මෙවර අවස්ථාව හිමි නොවේ.

නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකායේ සාමාජිකයෝ එක්වෙති. මේ සඳහා නිලධාරීන් 241 දෙනකු සමග ආරක්‍ෂක අංශ සාමාජිකයන් 6125ක් සහභාගි වන බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. සැමරුම් පෙළපාලිය සඳහා ගුවන්යානා 19ක් සමග ගුවන් හමුදාවේ නව තාක්‍ෂණ නිපැයුම් මෙවර පෙළපාලියට එක්කරන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා පැවසීය. නාවික හමුදා රථ පෙළපාලියට සමගාමීව නාවික හමුදාව සතු නැව් කිහිපයක් ගාලුමුවදොර අබියස මුහුදේ ගමන් කරමින් ප්‍රදර්ශනයට සහය වේ.

නිදහස් දින සැමරුම වෙනුවෙන් 03 වැනිදා සවස 2.00 සිට 04 වැනිදා දහවල් 12.00 පමණ වන තෙක් කොල්ලුපිටියේ සිට ගාලුමුවදොර දක්වා පාර වසා දමන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. නිදහස්දා රථවාහන සහ ආරක්‍ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 4000ක් පමණ දෙනා යොදවන බව ද තෙන්නකෝන් මහතා කීය.

නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට (02 දා) අගමැති ප්‍රධානත්වයෙන් ඖෂධ රුක් රෝපණ වැඩසටහනක් නිදහස් චතුරස්‍රය මුල්කරගෙන ආරම්භ කර නිදහස් චතුරස්‍රය අබියස එදින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් ආරම්භ කර පසු දින සංඝගත දක්‍ෂිණාවකින් එය අවසන් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

චමින්ද සිල්වා

76 වැනි නිදහස් සැමරුම් උළෙලේ සම්පූර්ණ වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ, නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (31දා) පැවැති අවස්ථාවේදී ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ඒ පිළිබඳව කරුණු දැක්වූ අයුරු.
(ඡායාරූපයේ වමේ සිට) වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, පළාත් සභා හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ දිනිත් චින්තක කරුණාරත්න සහ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පාලන හා මාර්ග ආරක්‍ෂාව) ඉන්දික හපුගොඩ යන මහත්වරු ද වෙති.
ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment