එළවළු මිල පල්ලම් බසී

84

මාස කිහිපයක් ඉතා ඉහළ ගිය එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව තවදුරටත් මේ වන විට පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් කියා සිටී.

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික කැප්පෙටිපොල මංජු මහතා කියා සිටියේ මාස කිහිපයක් තිස්සේ ඇතැම් එළවළු වර්ගවල මිල රුපියල් පන්සියයත් එක්දහස් පන්සියයත් අතර පැවති අතර මේ වන විට බොහෝ එළවළු වර්ගවල මිල රුපියල් දෙසියෙන් පහතට වැටී ඇති බවයි. මේ එළවළු මිල පහළ යෑම තව දුරටත් පවතී යැයි ඒ මහතා පැවසීය. මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණයේ වැඩිවීමක් ද පවතින බවත් සිංහල අලුත් අවුරුද්දටත් මේ මිල පහත යෑම පවතිනු ඇති බවත් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික කැප්පෙටිපොල මංජු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ගොවීන් කියා සිටින්නේ මේ වන විට රාබු විකුණා ගන්න බැරි තත්ත්වයක් පවතින අතර අනෙකුත් එළවළු වර්ගද මිල ඉතා පහළ මට්ටමක පවතින බවයි. මේ නිසා තමන්ට එළවළු වගාවන් සඳහා වැය කළ මුදලවත් මේ වන විට සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවයි. රසායනික පොහොර මිල, කෘමිනාශක මිල ආදියත් කම්කරු කුලී ආදියත් ඉහළ අගයක පැවතීම නිසා තමන්ට මෙම මිල පහළ යෑම දරාගත නොහැකි බවයි. එම නිසා රජය මැදිහත්ව රසායනික පොහොර මිල ඇතුළු කෘෂි යෙදවුම්වල මිල පහත දමන්නේ නම් එය ගොවියන්ට මහත් අස්වැසිල්ලක් වන බවත් පාරිභෝගිකයන්ටද අඩු මිලට එළවළු ලබා ගැනීමට පිටුවහලක් වන බවත්ය.

මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහත පරිදි වේ.

බෝංචි රු 150 – 170, ගෝවා රු 280 – 250, තක්කාලි රු 200 – 240, වම්බටු රු 180 -150, කැරට් රු 280 – 250, බීට් රු 200 – 250, අමු මිරිස් රු 250 – 240, මාළු මිරිස් රු 600 – 550, රාබු රු 50 – 20, ආර්තාපල් රු 250 – 300, ලීක්ස් රු 180 – 160, නෝකෝල් රු 150 – 120.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment