බිග් මැච් දැගලිල්ල – සිසු ජීවිත දෙකක් බිලි ගනී – හතකට තුවාලයි

259

රෝඩ් ෂෝ ඛේදවාචකයක් – වෛද්‍ය පාලිත රාජපක්‍ෂ

බදුල්ල ඌව මහා විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත මහා විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වෙන අතරතුර පසුගිය 01 වැනිදා වාහන පෙළක නැගී මාර්ග සංදර්ශන පෙළපාලියක (ඊසට ඵ්එජය ඍද්ා ියදඅ) ගිය සිසුන් පිරිසක් සිටි එක් කැබ් රථයක් ක්‍රීඩා පිටියට ආපසු පැමිණ අධික වේගයෙන් ක්‍රීඩා පිටිය තුළ වංගු ගනිමින් ධාවනය කිරීමේදී පෙරළීමෙන් තුවාල ලැබූ සිසුන් නව දෙනකු (09) බදුල්ල ඌව පළාත් මහ රෝහලට ඇතුළත් කළ බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

ඉන් එක් සිසුවකු අතරමගදී මිය ගොස් සිටි බවත් තවත් සිසුවකු ප්‍රතිකාර ලබමින් සිටියදී පැයකට පමණ පසු මියගිය බවත් සෙසු හත් දෙනාගෙන් දෙදෙනකු ප්‍රතිකාර ලබා වාට්ටුවෙන් පැන ගොස් ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ ධර්මදූත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හාලිඇල නව නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි 19 හැවිරිදි හරීන්ද්‍ර රුක්මාල් ද සිල්වා සහ බදුල්ල හෑගොඩ 18 හැවිරිදි රවිඳු දුලක්ෂණ යන සිසුන් දෙදෙනාය.

නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරුවන් පස්දෙනාගේ (05) තත්ත්වය බරපතළ නොවන බව පැවසූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා, එක් අයකුගේ එක් පාදයක් ද තවත් අයකුගේ පාද දෙකම ද බිඳී තිබූ අතර සෙසු සිසුන් සුළු තුවාල ලබා ඇති බවත් පැවසීය. වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“පාසල් සිසුන් අනවශ්‍ය අනාරක්ෂිත කාර්යන්ට සම්බන්ධ වී වටිනා තරුණ ජීවිත නැතිකර ගැනීම සමාජ ව්‍යසනයක් වී තිබෙනවා. මෑතකදී වැල්ලවාය ප්‍රදේශයේ දිය ඇල්ලක නෑමට ගොස් තරුණයන් හතර දෙනෙක් දියේ ගිලී මිය ගියා. මීට වසර හතරකට පෙරද මෙවැනිම සිද්ධියකින් මෙකී පාසලේ සිසුන් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා. ඒකෙන්වත් මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන පදික ජනතාවගේ සහ රෝඩ් ෂෝ යන අයගේ ආරක්ෂාව ගැන සලකා මේ රෝඩ් ෂෝවලට ඉඩ නොදීම සමාජ වගකීමක් වෙනවා. එය රටේ පවතින නීතිය තීරණය කළ යුතුයි.

බලධාරීන් මේ ගැන අවධානය යොමු කර රටට වැඩදායී තරුණ ජීවිත අකාලයේ මිය යෑමෙන් වළක්වා ගන්න කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා. එමගින් දඬුවම් කිරීමක් නොව අනතුරු වළක්වා ගැනීමයි අපේක්ෂා කරන්නේ.

අනතුරට පත් කැබ් රථයේ සිසුන් 20 දෙනෙක් පමණ නංවාගෙන වහලේත් එල්ලී නගරය වටේ රවුම් කීපයක් ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී එය නතර කළානම් මෙය නොවන්න ඉඩ තිබුණා. සාමාන්‍ය ජනතාවට මෙය නතර කළ නොහැකියි. පුද්ගලයෙක් ලෙස මා මෙය නවත්වන්න ඉදිරිපත් වුණා නම් අනිවාර්යෙන්ම ගුටි කාලා යන්න වෙනවා.

එක් අවස්ථාවක රටේ වෙනත් ප්‍රදේශයක සිසුන් පිරිසකට වැරැද්දක් පෙන්වා දුන් ගුරුවරියකගේ ස්වාමි පුරුෂයෙක් හෙල්මට්වලින් පහර කා මියගියා. එවැනි අවාසනාවන්ත සිදුවීම් නිසා මෙවැනි කටයුතු වළක්වා ගන්න කිසිවකු කිසිවිටක ඉදිරිපත් වන්නේ නැහැ.

මේ වගේ සිදුවීම් නිසා පාසලේ විනයත් රටේ විනයත් අභියෝගයට ලක් වෙනවා. මෙවැනි සිද්ධි නිසා තරුණ පරම්පරාව ගැන බහුතර ජනයා අතර පවතින ආකල්පය ඉතා කනගාටුදායකයි.

ඊයේ අප වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයට අනතුරට පත්ව සිටි එක් සිසුවෙක් සැරපරුෂ ලෙස කතා කළා. ඔහුගේ අතක් විසන්ධි වී තිබුණා. එය යථා තත්ත්වයට පත් කොට වාට්ටුගත කිරීමට අප කටයුතු කළා. අපිට හිතා ගන්න බැහැ ඒ අය කුමන ආකාරයේ මානසික තත්ත්වයක සිටිනවාද කියලා. එය තමයි ඛේදනීයම තත්ත්වය.

අපි ඔවුන්ට ප්‍රතිකාර කරන්න ගියාම එලෙස හැසිරෙනවා නම් රෝඩ් ෂෝ යන්න එපා කිව්වොත් මොනවා වෙයිද කියලා මට නම් හිතා ගන්න බැහැ.

මේ දරුවන්ගේ හැසිරීම වැඩිහිටියන්ගෙන් ඔබ්බට ගිය ආකාරයක් මම දකින්නේ.

මේවාට පාසල් පද්ධතියට පමණක් දෝෂාරෝපණය නොකර ගුරුවරුන් දෙමාපියන් සහ නීතිය සාමුහිකව වගකියන්න ඕනෑ. සමාජ කථිකාවකට ලක් කරන්න ඕනෑ.

එක් පියෙක් මෙදින තම දරුවා ටියුෂන් පන්තියට ඇරලවා ආවත් එම ශිෂ්‍යයා හොරෙන් ඇවිත් රෝඩ් ෂෝ එකට ගිහින් තුවාල ලබා සිටියා. එම පියාගේ වේදනාව අපි දැක්කා.

තුවාල ලැබූ සිසුන් සමග පැමිණි ගුරුවරුන් දෙදෙනකු මේ රෝඩ් ෂෝ කරන්න එපා කී විට සිසුන් ඔවුන්ටත් තර්ජනය කළ බව අප සමග කියා සිටියා. ගුරුවරුන්ට අවනත නැති සිසුන් සාමාන්‍ය ජනතාවට අවනත වෙන්නේ කොහොමද?.

මේ නිසා මෙවැනි ක්‍රියා පාලනයට අදාළ බලධාරීන්ට සහ නීතියට ලොකු කාර්ය භාරයක් පැවරී තිබෙනවා.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment