සිංහරාජය බේරාගත් අරගලයට වසර 50 යි

510

තිලෝ නැත්නම් සිංහරාජයක් නෑ

1946 දී මෙරටට කෘෂි උපදේශකවරයකු ලෙස සේවය කිරීමට පැමිණි විදේශිකයකු අප රට සංවර්ධනයට, විශේෂයෙන් පරිසරය සුරැකීමට, වන සතුන් ආරක්‍ෂා කිරීමට කැප වී ක්‍රියාකිරීම අප අගේ කළ යුතුව ඇත. ඒ අන්කිසිවකු නොව, සිංහරාජ වනාන්තරය බේරාගැනීමට පුරෝගාමීව කටයුතු කළ තිලෝ එම්. ඩබ්ලිව්. හොප්මන් මහතා ය.

මෙම ලිපියෙන් අරමුණු කෙරෙන්නේ මෙම වටිනා වැසි වනාන්තරය බේරා ගැනීමට මුල සිට ම ඔහු ගත් ක්‍රියාමාර්ගත්, මතුවූ ප්‍රශ්නවලට මුහුණදීමත්, එය බේරා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ පරිසරය, ජාතික වන උයන් ඇති කිරීමට හා පරිසරය ආරක්‍ෂා කරගැනීමට මතු පරපුර දැනුවත් කිරීමට ඔහු ගත් උත්සාහයන් පැහැදිලි කිරීමට ය.

පෞද්ගලික කටයුතු සඳහා ඔහු වරින්වර තම ජන්මභූමිය වූ ස්විට්සර්ලන්තයට ගියත් නොකඩවා ශ්‍රී ලංකාවේ අවුරුදු 60කට වඩා වාසය කළේය. අප රට ප්‍රමුඛ පෙළේ පැරණිතම පරිසරය හා වන සතුන් ආරක්‍ෂා කරගැනීමේ සංගමය වූ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්‍ෂක සංගමය (WNPS) හි පළමුව ලේකම්වරයකු ලෙසත්, පසුව එහි සභාපති ලෙසත් අවුරුදු තිහකට (30) වැඩි කාලයක් රටට වැඩදායක ක්‍රියාදාමයක් ඉටුකිරීමට ඔහු ක්‍රියා කළේය.

එම සංගමයේ කමිටු සාමාජිකයකු වශයෙන් 1972 සිට ක්‍රියා කළ මාහට ඔහුගේ අප රට ගැන තිබූ ඇල්මත්, පරිසර ප්‍රශ්නවලට මුහුණදිය යුතු ආකාරයත් ඔහුගෙන් දැනුමක් ලබාගැනීමට මට හැකියාවක් ලැබිණි.

සබරගමුව හා දකුණු ප්‍රදේශවලට මායිම්ව රත්නපුර, ගාල්ල, හා මාතර දිස්ත්‍රික්කවලට අයත් සිංහරාජ වැසි වනාන්තරය, ඒ වටා ඇති රක්‍ෂිත 14ක් අතරින් ආරක්‍ෂිත වූ වනයකි. වර්ෂ 1960 වනවිට මෙම වනාන්තරයේ වැදගත්කම හෝ වටිනාකම ගැන දේශපාලනඥයන්ට, බලධාරීන්ට හෝ මහජනතාවට වටිනාකමක්, තේරුමක් නොවීය. රජය එයින් තෙත් කලාපයේ ඉතිරිව තිබූ වනාන්තර, දැව ලබාගැනීමට විශේෂයෙන් තේ පෙට්ටි සෑදීමට කපා දැමීම ආරම්භ කෙරිණි.

සිංහරාජය බේරාගත් අරගලයට වසර 50 යි

ආරම්භයක් වශයෙන් මහා පරිමාණ සැලැස්මක් අනුව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි රාජ්‍ය දැව සංස්ථාව සඳහා සිංහරාජ රක්‍ෂිතයට අයත් මොරපිටිය, රූණකන්ද වනාන්තරය කැපීම ආරම්භ විය. මෙම දැව ‘ප්ලයිවුඩ්’ හා ‘චිප්බෝඩ්’ (Chip Board) බවට පරිවර්තනය කිරීමට වර්ෂයකට ඝන අඩි මිලියන 04ක් ලබාගැනීමට රුමේනියානු ආධාර ඇතිව කොස්ගම සාලාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලදි. දැව කඳන් කැපීම සඳහා යන්ත්‍ර සූත්‍ර ලබාගැනීමට කැනේඩියානු ආධාර ලබාගන්නා ලදි. කැනේඩියානුවන් විසින් කපාගත් දැව ප්‍රවාහනය කිරීම සඳහා පාරවල්, පළල් කරන ලද අතර පාලම් සකස්කොට දෑල ( Dela ) දුම්රිය ස්ථානයෙහි පිහිටුවන ලද අංගණයකට ගෙන යන ලදි. මෙම දැව සිංහරාජයේ සිට කොස්ගමට කිලෝමීටර් 85ක දුරක් ප්‍රවාහනය කිරීමට සිදුවිය. එම යන්ත්‍ර අලුත්වැඩියා හා නඩත්තු කිරීමට සිංහරාජය තුළ ම විශාල පෙදෙසක් වෙන් වූ අතර එම පෙදෙස යන්ත්‍ර තෙල්වලින් තෙත් වී දූෂණයට ලක් විය. මේ සඳහා කැනේඩියානුවන් එතෙක් ලෝකයේ දැව ලබාගැනීමට උපකාරී වූ විශාලතම යන්ත්‍ර භාවිතයට ගනු ලැබීය.

1969 දී ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාවික ආරක්‍ෂක සංගමයෙහි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙහි භායානක ඵලවිපාක සහ එම වනාන්තරයේ වටිනාකම සාමාජිනයන්ට හොප්මන් මහතා විසින් කියා දුන් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය දැව සංස්ථාව මාර්ගයෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේ මෙම නොයිඳුල් වනාන්තරයෙන් අක්කර 1000 – 1200ක් වත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙන්කර දෙන ලෙස ය.

1971 වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජික වියර් ද මෙල් මහතා සිංහරාජ වනාන්තරය බේරාගැනීමට සංගමය මගින් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීම කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කොට ස්ථිරකර ගන්නා ලදි. ඒ අනුව සංගමයේ සභාපති වශයෙන් තිලෝ හොප්මන් මහතාට භාරදූර කාර්යයක් පැවරුණ අතර, ඒ සඳහා වැඩපිළිවෙළක් ඔහු විසින් සකස් කරන ලදි. එම විද්‍යාත්මක සැලැස්ම අනුව

  1. සිංහරාජය පිළිබඳ සියලු පැරණි තොරතුරු රැස්කිරීම
  2. සිංහරාජයට ගොස් භූමියේ තත්ත්වය නිරීක්‍ෂණය කොට තත්ත්ව වාර්තාවක් සැපයීම.
  3. අනෙක් අදාළ සංවිධාන ‘සිංහරාජ බේරාගැනීමේ සටනට ඇතුළත් කර ගැනීම.
  4. මෙම වනාන්තරය රැකගැනීමේ වටිනාකම ගැන පුවත්පත් හා අනෙකුත් මුද්‍රිත මාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබාගැනීම සිදුකෙරිණි.

ඒ අනුව කටයුතු කළ හොප්මන් මහතා 1972 දී පෙබරවාරි 26 – 28 දක්වා දින තුනක් සිංහරාජය හා අවට වනාන්තරයේ තත්ත්වය පරීක්‍ෂා කිරීමට දින 03ක් එහි ගත කරන ලදී.

අනතුරුව ‘සිංහරාජ වනාන්තරය – 1972’ යනුවෙන් ප්‍රකාශයක් සකස් කරන ලද අතර, මෙය අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඉදිරිපත් කිරීමට පිළිගැන්වීමට හැකිවන පරිදි රටේ පිළිගත් සංවිධාන, විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් හා පුද්ගලයන් ගේ කැමැත්ත හා අත්සන් ලබාගත යුතුව තිබිණි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ඉතාමත් කැමැත්තෙන් ගෞරවයෙන් ගාලු පිරිවනේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නෙළුවේ ගුණානන්ද හිමිගේ පූර්ණ සහයෝගය ලබාගැනීම, ආයුර්වේද වෛi පර්යේෂණ සංගමයේ සහයෝගය ලබාගැනීම හා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජී. පී. මලලසේකර මහතාගේ සහයෝගය ලබාගැනීමය. මෙම ප්‍රකාශයේ සඳහන් වැදගත් කරුණු වන්නේ

  1. මෙය ලංකාවේ විශාලතම නිවර්තන වැසි වනාන්තරය වීම හා මෙම තත්ත්වයට පැමිණීමට අඩු තරමින් වර්ෂ මිලියන 100ක් වත් ගතවිය හැකි බවත් ඒත්තු ගැන්වීම.
  2. එය කපා දැමූ පසු අසමසම පරිණාමයේ සිහිවටනයක් නැතිකර ගැනීමක් බවත්,
  3. මිනිසා විසින් මෙම වනය විනාශ කළ හැකි බවත්, නැවත එය බිහිකිරීමට කිසි දිනෙක නොහැකි බවත්,
  4. මෙම වනාන්තරය ගැන මෙතෙක් විද්‍යාත්මක අධ්‍යයනයක් නොකර ඇති බවත්, මෙහි රටට ප්‍රයෝජනයක් අත්වන හා වෘක්‍ෂලතා තිබිය හැකි බවත්, ඒවා විනාශයට යා හැකි බවත්,
  5. එය කපා දැමීමෙන් විශාල වශයෙන් පාංශුඛාදනය ඇතිවිය හැකි බවත්, එයින් මහජනතාවට නොමැකෙන අපහසුතාවට පත්විය හැකි බවත් ය.

මෙම විරෝධතාවයට ප්‍රතික්‍රියාවක් දැක්වූ රජය එකල ධීවර ඇමැති ජෝර්ජ් රාජපක්‍ෂගේ සභාපතිතින්වයෙන් කමිටුවක් පත්කරන ලදි. මෙම කමිටුවේ සාකච්ඡා අවුරුදු කිහිපයක් ඇදී ගිය අතර, මෙම යෝජනාවලට මුලදීම විරුද්ධ වූයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා එම අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය හා කැනේඩියානු කොන්ත්‍රාත්කරුවන් බව සඳහන් කළ යුතුව ඇත.

1975 ශ්‍රී ලංකා වන සත්ත්ව සංගමයේ කමිටු සාමාජිකයන්, සිංහරාජ වනාන්තරයේ තත්ත්වය නිරීක්‍ෂණය කිරීමට එහි සංචාරයක යෙදුණ අතර, මම ද ඒ සඳහා සහභාගි වූවෙමි. එහිදී අප දුටු දෙයින් අපගේ හදවත් සසල විය. අපගේ නිරීක්‍ෂණ වූයේ

  1. අදාළ විශාල ගස් කරා ළඟාවීමට එම විශාල යන්ත්‍ර සඳහා යා හැකි මාර්ග සකස් කිරීම නිසා විශාල වශයෙන් වෘක්‍ෂලතා හා සත්ත්වයන් මියයන බවත්, සෑම විශාල ගසක් මගින් විනාශ වන කුඩා ගස් සංඛ්‍යාවක් අති මහත් බවයි.
  2. මුලදී අක්කර 1500ක් කැපීමට යෝජනා වී ඇති නමුදු අක්කර 3000කට වඩා ඒ වනවිට කපා දමා විනාශ කර ඇති බව පැහැදිලි විය. විරෝධතා මධ්‍යයේ සිංහාරාජය දිගට ම කපා දැමීම සිදු වූ අතර මේ තත්ත්වය මහජනයාට අවබෝධ කර දීමට පරිසරය සුරැකීමේ වගකීම අරමුණු කරගෙන 1976 දී හොප්මන් මහතා සංරක්‍ෂණය ද, විනාශය ද යනුවෙන් පොත් පිංචක් මුද්‍රණය කර මහජනයාට එයින් පිටපත් ලක්‍ෂයක් බෙදා දෙන ලදි. සිංහරාජය කැපීමෙන් කිසිදු උවදුරක් නොවන බවත්, එය අවුරුදු 20කින් නැවත වැවෙන බවත් ඉන්දියාවෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ගෙන්වා ගත් විශේෂඥයකු මාධ්‍යයට කරුණු දැක්වූ අතර මාධ්‍යයෙන්ම හොප්මන් මහතා කදිම පිළිතුරක් ලබා දුන්නේය.
සිංහරාජය බේරාගත් අරගලයට වසර 50 යි

1976 දී වනයක අවසන් අනුස්මරණ යනුවෙන් ලිපියයක් ද හොප්මන් මහතා ප්‍රසිද්ධ කරන්නේ අරගලය දිගමට පවත්වාගෙන යන අතර තුරදීය.

කෙසේ වෙතත් 1977 වර්ෂයේදී අලුත් රජයක් බිහිවිය. හොප්මන් මහතා කළේ වහාම එකල නව අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා හමුවීමය. එතුමා සිංහරාජ අරගලය ගැන දැන සිටියේය. හොප්මන් මහතාගේ පැහැදිලි කිරීමට සවන් දුන් නව අගමැතිතුමා, නිවැරදි තීරණයක් ගනු ලැබීය. එම රජයේ මූලික කටයුත්තක් වශයෙන් වහාම සිංහරාජය කැපීම නතර කරන ලෙසට ඔහු නියෝග දුන් අතර, සියලු කැනේඩියානුවන් තම යන්ත්‍රෝපකරණ රැගෙන ආපසු රටින් පිටවිය.

සිංහරාජය බේරා ගනු ලැබීය. මෙම වටිනා නොඉඳුල් වනාන්තරය මතුවට ඇතිවිය හැකි බාධා මැඬපැවැත්වීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුව (ඉතා ප්‍රමාදව) තේරුම් ගිය අතර, එහි ඇති ජෛව විවිධත්වය සොයා බැලීමට, විද්‍යාත්මක පර්යේෂණ කිරීමට 1978 දී විද්‍යාඥයන්ට අවසර දෙනු ලැබීය. ඒ අනුව එම වර්ෂයේ දීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සාවිත්‍රි ගුණතිලක හා නිමල් ගුණතිලක විසින් මූලික පර්යේෂණ වැඩසටහනක් සිංහරාජයේ දියත් කරන ලදී.

මෙහිදී මතක තබා ගතයුතු කරුණු වන්නේ

  1. 1978 අප්‍රේල් මස සිංහරාජය ජාත්‍යන්තර මිනිසා හා ජෛව ගෝල රක්‍ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීම. ඒ අනුව සිංහරාජයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇතිවීම.
  2. 1985 නව පනතක් අනුව එනම් ජාතික උරුමවන අඩවි පනතින් එය ජාතික වන අඩවි භූමියක් ලෙස අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

1985 දී ලෝක වන සත්ත්ව අරමුදල හා සොබාදහම සංරක්‍ෂණ සංවිධානය සමග එකතු වී මෙම වනාන්තරය සංරක්‍ෂණය කිරීමට විස්තරාත්මක සැලැස්මක් සකස් කිරීම.

1989 දී මෙම වනාන්තරයේ වටිනාකම තේරුම් ගත් යුනෙස්කෝ සංවිධානය එය ලෝක උරුම බිමක් යනුවෙන් ප්‍රකාශයට පත් කොට එයට ජාත්‍යන්තර පිළිගැනීමට ලක්කරන ලදි. ඒ අනුව සිංහරාජ වනාන්තරය ලෝකයෙහි සියලු ජනතාවට අයත් බව පැහැදිලි කරන ලදි.

ඒ අනුව මෙම සිංහරාජ වනාන්තරයෙහි වටිනාකම තක්සේරු කළ නොහැකි බව පිළිගැනීමට පත්කෙරුණි.

සිංහරාජය බේරා ගැනීමේ සටනට මූලිකත්වය දුන් හොප්මන් මහතා එයට අමතරව ලංකාවේ වන සත්ත්ව හා පරිසර සංරක්‍ෂණය සඳහා කළ කාර්යභාරය ඉතා වැදගත්ය. ඒ මහතා වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත අනුව ස්ථාපිත කරන ලද උපදෙස් කමිටුවේ 1968 සිට 1993 දක්වා සේවය කළ අතර, ඒ අනුව මෙම විෂයට අදාළ නොයෙකුත් නිවැරදි තීරණ රජයට හා අදාළ නිලධාරීන්ට ලබාදීමට ඔහු කටයුතු කළේය. එයට අමතරව වන සත්ත්ව සංරක්‍ෂණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් තැනීමේ කමිටුව (1979) හා ජාතික සංරක්‍ෂණ උපාය මාර්ග (1982) නම් කමිටුවේ සාමාජිකයකු වශයෙන් රජයට සහාය විය.

ඩග්ලස් බී. රණසිංහ
(හිටපු සභාපති ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්‍ෂක සංගමය)

advertistmentadvertistment
advertistmentadvertistment