ජාජබ ගහන්නේ රට බංකොලොත් කරපු දූෂිතයන්ට එරෙහි මැච් එකයි

101

අනුර කුමාර කැලණියේදී කියයි

“මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නුවරඑළියේ මැච් එකක බැට් කරනවා අපි දැක්කා. ජාතික ජනබලවේගය ගහන මැච් එක මේ රට බංකොලොත්භාවයට පත්කරපු දූෂිතයන්ට එරෙහිව අපි ගහනවා. එය විජයග්‍රහණයකින් අවසන් කරනවා.” යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (12දා) ජාතික ජනබලවේගයේ කැලණිය ආසන සමුළුවේදී පැවැසීය.

තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙසේද කියා සිටියේය.

“මේ රට විනාශ කරපු මේ රට ප්‍රපාතයට ඇදගෙන ගිය ලෝකය ඉස්සරහ බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරපු, දූෂණයෙන් වංචාවෙන් පිරුණු රාජ්‍යයක් බවට පත් කරපු දුප්පත්කමේ අසරණකමේ ගිලටීනයට තල්ලු කරපු ඒ දූෂිත කණ්ඩායම්වලට එරෙහිව අපිත් මැච් එකක් ගහන්න ලෑස්තියි. මේ රට ගොඩගැනීමේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ මැච් එක ජාතික ජනබලවේගය ගහනවා.

අපි දන්නවා මේ රටට වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. අපේ රටේ ජනතාවට වෙලා තියෙන ව්‍යසනය පිළිබඳව අපි හොඳාකාරවම දන්නවා. මේ තත්ත්වයෙන් අපේ මාතෘ භූමියත් ජනතාවත් මුදා ගන්න අපිට අවශ්‍යයි. මේ වැඩේ කරන්න ඕනේ. මේ රට ගමන් කරමින් තිබෙන විනාශකාරී මාවත මේ රටට අත්පත්වී තිබෙන දුක්ඛදායී මාවත අපේ රටේ ජනතාවට අත්වී තිබෙන අසරණකම දුප්පත්කම තවදුරටත් ඉදිරියට ගලා යෑමට ඉඩ ලබා නොදිය යුතුයි.

මේ වෙලාවේ ජීවත්වෙන මේ රට පිළිබඳව හැඟීමක් තිබෙන ජනතාව පිළිබඳව සහකම්පනයක් තිබෙන අපේ දුවා දරුවන් ගැන ඇත්ත බැඳීමක් තිබෙන හැම ජනතාවකගේම හදවතේ තියෙන්න ඕන. මේ දූෂිත පාලන ක්‍රමය පරාජයට පත්කළ යුතුයි කියන හැඟීමයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කැලණිය- මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment