කුණු මාළු ටින් මාළු විදිහට දෙන්න යන මගඩියක්

271

රට වළපල්ලට යන්නට ඔන්න මෙන්න තිබියදී යාන්තමට නූලෙන් එල්ලී තිබේ. එහෙත් එතරම් අවුලක තිබියදීත් රටේ ජනතාවගේ රීරි මාංශය වුව අනුභව කරන්නට තරම් අමනයන්ගේ අඩුවක්ද නැත. මේ ‘සිස්ටම් චේන්ජ්’ කරන්නට හදන්නේ එවැන්නන් සමඟය. උන් සිස්ටම් චේන්ජ් කරන්නේ හොරා කෑමේ, වංචාවේ, දූෂණයේ ක්‍රමයේ පමණි. කෂඩ වැඩවල අඩුවක් නැත.

කන්ටේනර් 98 ක කුණු මාළු අපට කවන්නට හදන කතාවද එබන්දකි. දැන් මේ වනවිට කුණු මාළු තොගය ඇත්තේ එලියේය. තේරෙන භාෂාවෙන් කිවහොත් අපත් නොදැන කුණු මාළු මිලදී ගන්නා දිනය වැඩි ඈතක නොවේ. මේ වග අප කිහිප වතාවක්ම හෙළිදරව් කළෙමුත් ඒ ගැන නිසි අවධානයක් යොමු වූ වගක් පෙනෙන්නටද නැත.

අප නැවත ඒ බැව් සිහිපත් කරමු. ඒ, මෙම තක්කඩිකම අල්ලන්නට කිසිවකුත් උනන්දු නොවුණද අසරණ ජනතාවගේ බඩට කුණු ගොඩක් යෑම වැළැක්විය යුතු නිසාය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත කුරේ ද මෙසේ පවසා තිබේ.

ඒ, නරක් වූ මාළු කන්ටේනර් 98 සිද්ධිය ගැන පරීක්‍ෂණ නිසි ලෙස සාධාරණ ලෙස සිදු නොවූහොත් ඒ බව ජනාධිපතිවරයාට පැමිණිලි කරන බවය. එහෙත් අපට කියන්නට ඇත්තේ කිසිවකු පැමිණිලි කිරීමට පෙර ඒ බව ජනාධිපතිවරයාට කියන්නට තරම් නිලධාරීන් පිරිසක් සිටින බවය. ඉන් පැහැදිලි වන්නේ තවමත් හරි තැනකට මෙම ඇණය වැදී නැති බවය.

වරායේ හිරවී ඇති මාළු කන්ටේනර් 98ක් ගැන පසුගිය දිනවල ‘දිවයින’ මගින් කළ හෙළිදරව්වත් සමඟ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වූ ටින් මාළු පාරිභෝගිකයන් විමතියට පත් විය. ඒ, ඒ සමඟම කියවූ ප්‍රවෘත්තියක් නිසාය. ප්‍රවෘත්තිය වන්නේ මේ කුණු මාළු ‘ටින් මාළු’ ලෙස වෙළෙඳපොළට එවන්නට ඇති සූදානමක් නිසාය. මේ කන්ටේනර් 98 අප සාමාන්‍යයෙන් පාරේ දකින අඩි 20 ඒවා නොවේ. මේවා අඩි 40 දැවැන්ත හයි කන්ටේනර් ය. මේ නෞකාව සීසෙල්ෂ් සිට මැලේසියා බලා මසුන් ප්‍රවාහනයේ නියුතු නෞකාවකි. එම නෞකාවේ කාර්මික දෝෂයක් හටගෙන ඇත්තේ ලංකා මුහුදු සීමාවේදී ය. දැන් මේ මාළු තොගය ඇත්තේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේය. එහෙත් මේ කුණු මාළු පරිභෝජනයට සුදුසු ද නැද්ද යයි ද කියන්නට පුළුවන් අමාත්‍යාංශ හා ආයතන සියල්ල පසුගිය දිනවල තිබුණේ කොහේ දැයි අප කිසිවකුත් දැන සිටියේ නැත. මේ වනවිට තිබෙන අමාත්‍යාංශ හෝ ආයතන පිළිබඳව දැනගන්නට නැවත පාසල් යා යුතුය. වතුර බෝතලේ මිලවත් පාලනය කරගත නොහැකි වත්මන් ආණ්ඩුව මේ වරායේ ඇති මාළු ටික ටින් නොකරම පෑලියගොඩ මාළු මාකට් එකට ආවත් පුදුම විය යුතු නැත. පෑලියගොඩ කුණු මාළු වික්කාට වටලන්නට පුළුවන් රාජ්‍ය යාන්ත්‍රණයත් දැන් අකර්මණ්‍ය වී හමාරය. දැන් ප්‍රශ්නය ඇත්තේ අයිතිකාරයෙක්වත්, ගෙනියන්නේ නැති මේ මාළු තොගය පුත්තලම පැත්තේ ටින් මාළු ෆැක්ටේරියකට විකිණීමට ඇති සූදානමයි. එම කුණු මාළු ටින් කොට මෙරට වෙළඳපොළට ආවත් එය පුදුමයට පත් විය යුතු නැත. ටින් කළේ කුණු මාළු ද නැත්නම් පණපිටින් මාළු දැයි ‘සැමන් ෆැක්ටේරියට කඩා පැන දඩ ගහන්නට නඩු දාන්නට දැන් පාරිභෝගික අධිකාරියට හෝ සාධාරණ වෙළෙඳ කොමිසමට ඇති කැසිල්ලක් නැත. එකම කැහිල්ල නම් සමහරුන්ට සැමන් කා අසාත්මිකතාවය නිසා ඇතිවන ‘කැහිල්ල’ විය යුතුය. ඔය කුණු මාළු ටින් මාළු ලෙස වෙළෙඳපොළට ආවොත් කළ යුත්තේ ටිකක් අඩුවෙන් දුන්නොත් ඕනම කුණුගොඩක් බෙදන සතොසට කදිම ඉල්ලමකි.
ටූනා මාළු TUNA FISH මෙන් කුණුමාළුවලට KUNU FISH නමින් මනරම් ලේබලයක් සැමන් බෙලෙක්කයේ ඇලවීම හොඳටම ප්‍රමාණවත් ය. කාලය ඉකුත් වන දිනය නොහොත් EXPIRE DATE එක 2050 දිනයක් දැම්මත් ඒවා පරීක්‍ෂා කරන්නට ලංකාවේ රාජ්‍ය ආයතනයක් නැත. මුල් කොරෝනා රැල්ලේ ආරම්භයේදීම ෆේල් ජනාධිපති නන්දසේන අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිල පාලනයට ලක් කරන ලද බව අද බොහෝ දෙනාගේ ‘ටිකිරි මොළවල’ මතකයෙන් ගිලිහී ඇති බව සාතිශය සංවේගයෙන් දැනුම් දිය යුතුය. නන්දසේන ජනාධිපතිතුමා ග්‍රෑම් 425 ලොකු සැමන් ටින් එකක් දුන්නේ රු. 100 කටය. පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 60ක් විය. දැන් බොහෝ ප්‍රදේශවල සිල්ලර කඩවල පරිප්පු කිලෝවක මිල රු. 600/=කි. ඒ අනුව දෙවසරක් තුළ පරිප්පු මිල ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 600කි. එදා රු. 100ට දුන් සැමන් ටින් එක දැන් 680කි. එතකොට සැමන්වල මිල වැඩිවීමේ ප්‍රතිශතයක් ලෙස සියයට හත්සියයකට ආසන්නය. රු. 680කට වික්කත් මේ සැමන් ටින්එකක් විකිණීමෙන් සිල්ලර කඩේට ඇති ලාභය රු. 20/= කි. කොටින්ම කිව්වොත් රු. 660ක් ආයෝජනය කොට මිලදී ගන්නා සැමන් ටින් එක විකුණා ගන්නා සොච්චම් රු. 20/= ක ලාභය බස් රථයකට නැඟ බසින්ටත් මදිය. දැන් බස් එකකට නැග බසින්නටත් රු. 32/=ක් නැතුව බැරිය. ඒ කියන්නේ බස් එකක පළමු සෙක්ෂන් එකේ අවම මිලත් රු. 32/=කි. ටින් මාළු ටින්එකක ග්‍රෑම් 425 ක් ඇති බව කිව්වත් එහි ග්‍රෑම් 140ක්ම ඇත්තේ කල්තබා ගැනීමේ රසායන දියර හා ලුණුය. දැන් වරායේ හිර වී ඇති මාළු කන්ටේනර් 98 ටින් මාළු ලෙස වෙළෙඳපොළට ආවත් ටින් කළේ කුණු මාළු දැයි ජනතාවට දැන ගන්නට ක්‍රමයක් නැත. විවෘත නොකළ සැමන් ටින් එකක් ගෙන එහි අන්තර්ගතය ශරීරයට අහිතකර දැයි සොයන්නට අපේ පාරිභෝගිකයන් ඊට අදාළ රාජ්‍ය ආයතන පසුපස යන්නේ නැති නිසාය. මුළු ලංකාවටම සැමන් තොග බෙදන්නේ පිටකොටුවේ බසාර් එක නොහොත් පස්වැනි හරස් වීදියයි. කල් ඉකුත් වන දින ළංවන විට ඒවා තොග පිටින් අඩු මිලකට විකුණා අත පිසදා ගැනීම සැමන් ආනයනකරුවන්ගේ සිරිතය. ඉන්පසු ඒවා ගෙන යන ගැනුම්කරු බොහෝ විට කරන්නේ එහි ලේබලය තවත් ඉදිරියට වසර 2ක් පමණ දින ඇති කල් ඉකුත්වන දිනයක් දමා මනරම් ලේබලයක් ඇලවීමය. කල් ඉකුත් වූ දින ඇති ලේබල් තොගය ගලවා ගිනිකූරක් ගසා ආදාහනය කොට අවසන් කටයුතු සිදුකරනු ලැබේ. දැන් වෙළෙඳපොළට ආයිත් එන්නේ අලුත්ම අලුත් සැමන් ටින් එකකි. කල් ඉකුත්වී දැයි මේ සැමන් ටින් එකේ ලේබලයේ එය චිලී රටේ හෝ චීනයේ ෂැංහයි ජන්ෂන් හංදියේම වූ පැක්ටේරියේ ඊයේ පෙරේදා හදා උණු උණුවේම ලංකාවට ගෙනා බව සඳහන් ය. ලංකාවේ දැන් දේශීය ටිං මාළු පැක්ටරි ගාන 5කි. ඔවුන්ගේ සමිතියක් ද ලංකාවේ ඇති බව අපට දැක ගත හැකි වූයේ රවී කරුණානායක මුදල් ඇමැති කාලයේය. රාජපක්‍ෂ යුගයේ ටින් මාළු කිලෝවකට පනවා තිබූ රු. 102 බද්ද රවී මුදල් ඇමැතිතුමා ආනයනික සැමන් කිලෝවක බද්ද රු. 50/= දක්වා අඩු කරන ලදි. නන්දසේන ජනාධිපතිතුමා රු. 100/=ට සතොසේ ටින් මාළු දුන් වෙලේ පිටකොටුවේ එම සැමන් ටින්එකක මිල 295 ක්ය. එයින් පෙනෙන්නේ රු. 195ක්ම බරපැන දැරුවේ මහා භාණ්ඩාගාරයයි. ඒත් නන්දසේන ආණ්ඩුවට ලංකාවේ ටින් මාළු නිෂ්පාදකයෙකුට එම මුදල ලබා දෙන්නට සිහිකල්පනාවක් නොවීය. ‘දිවයින’ කුණු මාළු පුවත පළ වූ දින පිටකොටුවේ සැමන් තොග වෙළෙඳපොළේ දක්නට ලැබුණේ සැමන් සාගතයකි. චිලී රටෙන් අල්ලපු ගමන්, අපේ යාළු මාළු ආදී වෙළෙඳ පාඨ ඇති සැමන් තොග වෙළෙන්දන්ගේ වෛර්ණ බෝඩ්වල සැමන් ටින් පෙනෙන්නට ඇතත් විකුණන්නට සැමන් තොග නැත. තොග කඩවල ඇතත් සැමන් 1 – 2 දෙන්නෙත් හොර රහසේ ‘ප්‍රීති’ පැකට් එකක් දෙනවා වගේ පත්තර පිටුවක ඔතලාය. මේ බොහෝ සැමන් ප්‍රචාරක පුවරුවල ඇත්තේ In Natural Juice salt Added යනුවෙනි. දෙවියන්ගේ පිහිටෙන් කුණු මාළු කෑවිට මේ සියලු ගුණ ලැබේ දැයි දන්නේ දෙවියන්ම පමණි.

චන්දිම ටයිරසී බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment