දරුවන්ට දේව ප්‍රේමයේ කැඩපතක් විය යුතු දෙමාපියෝ

174

සෑම පියෙකුගේම, මවකගේම මූලික අරමුණ වන්නේ තම දූ දරුවන් විනයගරුකව රටට වැඩදායී ලෙස හදා වඩා ගැනීම බව නොරහසකි. යහපත් දරුවන් බලාපොරොත්තු වන සෑම පියකුම, මවකම යහපත් පියකු හා මවක වීම අනිවාර්ය වේ. ශුද්ධ ලියවිල්ලේ නොයෙක් තැන්වල දරුවන් යහමග ගැන්වීමෙහිලා වැදගත් වන උපදේශ දැකගත හැකිය.

ඔබට දරුවෝ සිටිත්ද? ඔවුන්ට උගන්වන්න ළමාවියේ පටන් ඔවුන් කීකරු කමට නමා ගන්න. ඔබට දූවරු සිටිත්ද? ඔවුන්ගේ ශරීර ආරක්ෂා කරන්න. එහෙත් පමණට වඩා කරුණාව නොපෙන්වන්න. (උපදේශකයා හෙවත් සිරාක් 4:23- 24)

දරුවන්ට ඉගැන්වීමේ වගකීමත්, දූ දරුවන් ආරක්ෂා කරගැනීමේ වගකීමත් දෙමාපියන්ට පැවරෙන අයුරු එම වගන්තිවලින් අපට මනාව පැහැදිලි වෙයි. දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ උපදේශකයා හී කතුවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. ‘තම පුත්‍රයා මනාලෙස ඇතිදැඩි කරන්නා එහි ඵල නෙළා ගන්නේය. තමා අඳුනන අය අතරේ ඔහු ගැන ආඩම්බර වන්නේය’. “(30:2)” තම පියා මරුණු විට පවා ඔහු නොමැරුණාක් මෙනි. මන්ද තමාට සමාන පුතකු ඉතුරු කර යන හෙයිනි. (30:4) හීලෑ නොකරන ලද අශ්වයා මුරණ්ඩු වන්නේය. නොහික්මවන ලද දරුවා හිතුවක්කාරයෙක් වන්නේය. (30:8)

ඔබේ පුත්‍රයා හොඳින් ඇති දැඩි කරන්න. හොඳින් පුහුණු කරන්න. එසේ නොකළහොත් ඔහුගේ ගරුසරු නැති කමින් ඔබ ශෝකයට පත්වන්නේය. (30:13) දරුවන් හික්මීමකින් යුතුව හදාවඩා

ගැනීමෙහිලා ඉතා වැදගත් උපදෙස් ඉතාම සරලව දී ඇති අයුරු ප්‍රශංසනීයය. හිතෝපදේශ කතුවරයා දෙමාපියන්ට මෙසේ උපදෙස් දෙයි. ගෙදරක පදනම දැමිය යුත්තේ ප්‍රඥාවෙනි. එය විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි. (24:3-4)

වර්තමානයේ වැඩිහිටි දරුවන් සිටින දෙමාපියන්ට වටිනා ඔවදනක් උපදේශකයාහි මෙසේ සඳහන් කරයි. “ඔබේ දුව සරණ පාවා දෙන්න. එවිට ඔබ මහඟු වැඩක් නිම කළෙහිය. එහෙත් ඇය බුද්ධිමත් මිනිසෙකුට දෙන්න. (7:15) එය කොතරම් අගනා අදටත් ඔබින ඔවදනක්ද? දියණියක සරණ පාවා දෙන්නට හිතන දෙමව්පියෝ සිය අනාගත බෑණනුවන් බුද්ධිමතෙකු යැයි සොයා බලනවාද? මෙය අපට අනගි ඔවදනක් බව තරයේ සිතට ගනිමු.

දරුවන් විනය ගරුකව හික්මවා ගැනීමට රුකුල් වන ඉතා වටිනා උපදෙස් ශු. ලියවිල්ලේ බොහෝ තැන්හි අපට දකින්නට ලැබේ. දෙමාපිය සෙනෙහස අවැසි පමණින් නොලද දරුවන් අසරණ වන බව අප තරයේ සිතට ගත යුතුය. අපේ දූ දරුවන් රටට දැයට වැඩ ඇති අයකර ගැනීමට අප තරයේ අධිෂ්ඨාන කර ගනිමු. යම් දරුවකු යම් හෙයකින් අයාලේ ගියහොත් එහි මූලිකතම වගකීම නිසඟයෙන්ම පැවරනුයේ එම දරුවාගේ දෙමාපියන්ට බව අපි තරයේ අදහා ගනිමු.

දෙමාපියන් වශයෙන් අපට පැවරී ඇති වගකීම කිසිසේත් සුළුකොට නොතකමු. දරුවන්ට දේව ප්‍රේමය පිළිබිඹු කරන ‘කැඩපත’ ත් වන්නට අපි අදිටත් කර ගනිමු.

සී. ආර්. ඩික්සන් ඇන්ටනි

advertistmentadvertistment
advertistmentadvertistment