දුර නොදැක අනතුරට අතවනන්නෝ

133

පසුගිය දිනවල තමිලිනී ජෙයක්කුමාර් ලියූ “තියුණු අසිපතක සෙවන යට” කෘතිය මා ඉමහත් කම්පනයෙන් කියවූවා. යුද්ධයේ කුරිරු බවත්, ඒ නිරර්ථක මහා ඛේදවාචකයත් මේ කෘතිය පුරා තිබෙනවා. එහි 93 වන පිටුවේ මෙසේ සටහන් කරනවා.

“හමුදාවේ සහ කොටින්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු වැසි ජලයෙන් තෙත බරිතව තැනින් තැන ගල්ගැසී තිබුණි. රත් පැහැ රුහිරු වැසි ජලය සමග එක්ව ගලා යමින් තිබුණි. සුළු වේලාවකට පෙර සතුරු හැඟීමෙන් යුතුව පිල් බෙදී සටන් කළ අය මහ පොළොවේ මළ සිරුරු බවට පත්ව වැටී විසිරී තිබුණු දර්ශනය මවකගේ ඇකයෙහි නිදාගෙන සිටින ළදරුවන්ව සිහිපත් කරන්නට සමත් විය. සියලුම ගැටුම්, එදිරිවාදිකම් අර්ථශූන්‍ය වී යන තැන යුද බිමයි යන්න මුළුමනින්ම අවබෝධ කර ගැනීමට අවශ්‍ය බුද්ධිය ඇත්තෙන්ම ඒ වන විට මා තුළ තිබුණේ නැත.”

මේ කෘතිය මාව අප්‍රමාණ කම්පනයට පත් කළා.

නිදහස ගන්න අපි අරගල කළේ එකට. හැබැයි නිදහස ගත්තට පස්සේ අපි රට පාලනය කළේ වෙනම. අන්න ඒ නිසා අපි රටක් හැටියටම අසාර්ථක වුණා.

50 දශකයේදී වර්ගවාදී අරගල ආවා., 60 දශකයේදී කතෝලික ආක්‍රමණයක් ගැන කතාකර භීතියක් මැව්වා. හැත්තෑව දශකයේදී පන්ති භේද, ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි අපි මුහුණ දුන්නා. 80 දශකයේදී අපි ජාතිවාදී අරගල දැක්කා. අවුරුදු තිහක් බෙදුම්වාදී අරගලයක් අපි දැක්කා.

ජාතිවාදය, පවුල්වාදය, කල්ලිවාදය, අන්තවාදය, ආත්මාර්ථකාමීත්වය වගේ හේතු නිසා මේ රට දවස ගානේම අරාජික වුණා.

මේ රටේ විවිධ ජනවර්ගවල මිනිස්සු වර්ණවත් විදිහට ජීවත් වෙච්ච කාලයක් තිබ්බා. නමුත් කාලයත් එක්ක ඒ ගොඩක් ජනවර්ගවල මිනිස්සු මේ රටෙන් ඈත්වෙලා ගියා.

අපි සමාජයක් ලෙස සාර්ථකව ඉදිරියට යන්නට නම් ඉතිහාසයෙන් පාඩම් උගත යුතුව තිබෙනවා.

අපේ මෑත ඉතිහාසයේ මේ රට දිගු කාලයක් පාලනය කළ, රට ගොඩනැඟීම සඳහා දුර දැක්මක් තිබූ නායකයකු ලෙස මම ජේ. ආර්. ජයවර්ධනයන් දකිනවා.

ඒ දුර දැක්ම ලංකාව ආර්ථික අතින් පැහැදිලි වෙනස් මගකට යොමුකරනු ලැබුවා.

චීනය, වියට්නාමය, ඉන්දියාව මෙන්ම ඇතැම් බටහිර රටවල් පවා වෙනස් ගමන් මගකට යොමුවන්නට පෙර ඔහු ශ්‍රී ලංකාව ඒ වෙනස් මගට යොමු කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුට තිබූ දුරදැක්ම හේතුවෙන්. ඒ දැක්ම වෙනුවෙන් ඔහුට දැඩි අධිෂ්ඨානයක් තිබුණා.

එහෙත් ශ්‍රී ලංකාවට පසුව ඒ ගමන් මගට ප්‍රවේශ වූ චීනය, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල් ඒ මග යමින් ආර්ථික අතින් පෙළහර පාද්දී අපට ඒ සාර්ථකත්වය ලබාගත නොහැකි වූයේ ඇයී?

අපි මේ ප්‍රශ්නය ගැඹුරින් සිතිය යුතුව තියෙනවා. ඇමතිය යුතුව තිබෙනවා.

දිගින් දිගටම උතුරේ ජනතාව මුහුණදී සිටි ගැටලු, වේදනාවන්, ප්‍රශ්න ගැන නිසි ඇමතීමක් නොවීම හේතුවෙන්, එය ජාත්‍යන්තර තලයට තල්ලුවීම සිදුවුණා.

වරක් ෆෙරියල් අෂ්රෆ් අමාත්‍යවරියගෙන් මුස්ලිම් කොංග්‍රසය වැනි වාර්ගික පක්ෂයන් නිර්මාණය කිරීම ගැන මාධ්‍ය ප්‍රශ්න කළ විට, ඇය සිදුකළ හේතු දැක්වීම මගේ මතකයට නැගෙනවා.

තම ස්වාමිපුරුෂයා ඇතුළු නැගෙනහිර මුස්ලිම් ජනතාව නියෝජනය කරන විද්වතුන්ගේ නියෝජිත පිරිසක් තමන් මුහුණ දී සිටින ප්‍රශ්න, දුක්ගැනවිලි ගැන කථා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලූ විට එයට දිගටම ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, අවසානයේදී ඒ ප්‍රශ්න ගැන ඒ ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් හමුවී සාකච්ඡා කරන ලෙස දැන්වීමක් ලැබුණු බවත්, මේ තත්ත්වය තුළ වෙනම දේශපාලන පක්ෂයක් ගොඩනඟාගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ විකල්පයකට ඔවුන් තල්ලුවූ බවත් ඇය කියා සිටියා. එය තමන්ගේ තේරීමක් නොව වෙන විකල්පයක් නැති තත්ත්වයකට තමන් තල්ලු කිරීමක් ලෙසින් ඇය අර්ථ දක්වා තිබුණා.

පැය විසිහතරෙන් සිංහල ප්‍රතිපත්තිය තුළ මෙරට බර්ගර්, ද්‍රවිඩ ඇතුළු සෑහෙන ජනකොටසක් පත්වූ අපහසු තත්ත්වය සහ මේ සියල්ල ඉදිරියේ සාකච්ඡා මේසය වෙනුවට, මර්දනය විකල්පය ලෙස තෝරාගැන්මේ විපාක අපි තවමත් භුක්ති විඳිමින් සිටිනවා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම ශ්‍රී ලාංකික අපි සියල්ල “කුමන ආගමක් ඇදහුවද එකම ශ්‍රී ලාංකික ජාතියක්” යන සිහිනය යථාර්ථයක් බවට පත්කරගත නොහැකිව විඳවමින් සිටිනවා.

මේ රටේ උපන් මේ රටේ ජීවත්වන සියලුම ජන කොටස් ශ්‍රී ලාංකික බව හදවතින් දරා ගනිමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වීම අප සියලු දෙනාගේම ප්‍රාර්ථනාවයි. ඔවුන්ට ඔවුන්ගේ උවමනාවන්, දුක්ගැනවිලි සාධාරණව ඉදිරිපත් කර, ඒ දුක්ගැනවිලි, උවමනාවන් වලට සාධාරණ සැලකිල්ලක් සහ ඇමතීමක් ලබාගැන්මට ශ්‍රී ලාංකීය දේශපාලන හා පරිපාලන ක්‍රමය තුළ අනෙක් ජන කොටස්වලටද සමාන ලෙසින් අවකාශය තිබිය යුතුය. ඒ සඳහා භාෂාව හෝ වාර්ගික හෝ පන්ති වෙනස්කම් සිදුනොවන පසුබිමක් තිබිය යුතුයි.

නිදහස පිළිබඳ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉදිරියේ තැබූ අවස්ථාවේ කළ ප්‍රකාශයක් මගේ සිතේ තවමත් රාව ප්‍රතිරාව දෙනවා.

“මුස්ලිම් ජනතාවට දුක්ගැනවිලි සහ ප්‍රශ්න තිබෙනවා. එහෙත් නිදහස පිළිබඳ ප්‍රශ්නයේදී එය ප්‍රමාද කිරීමට තුඩුදෙන ලෙසින් කොන්දේසි කිසිවක් ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තු වන්නේ නැහැ. එය මේ රටේ මුස්ලිම් ජනතාවගේ ඒකමතික අදහසයි. අපේ දුක්ගැනවිලි සහ ප්‍රශ්න නිදහසින් පසු අපේ වැඩිමහල් සොහොයුරන් බඳු සිංහල ජනතාව සමග සාකච්ඡා කර අපට නිරාකරණය කරගත හැක.”

නිදහස් ශ්‍රී ලංකාවට සාර්ථක ගමනක් යෑමට මේ ප්‍රකාශය ලබාදෙන ආලෝකය ඉමහත්.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment