ඔබට වඩා දක්ෂයෙකුටතැන දෙන්න ඔබ දක්‍ෂ වෙන්න

71

පිංවත අවිද්‍යාවේ කැඩපතෙන් පෙනෙන ලෝකය අකුසලයටමයි විවෘතවෙලා තිබෙන්නේ. අවිද්‍යා කැඩපත ඉදිරියේ ඔබ නග්නව සිටියත් ඔබ ජාතික ඇඳුම පැළඳගෙන සිටියත්, සංස්කාර ලෝකයේ සාමාජිකත්වයමයි ඔබ උරුමකොට ගන්නේ. පිංවත කෙටි කාමයේ ආශ්වාදයේ සහ රූපයේ කෙටි ආශ්වාදයේ මෝඩ මුලාවට කොටුවී මිච්චා වාචාවන්ගේ කුණු රසය බෙදාදෙන, මිච්චා දිට්ඨියේ දුර්ගන්ධය, දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතිනවා. උතුම් තෙරුවන් විවේචනය කරන ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයේම මිච්චා වීරයන් අතලොස්සක් තම තමන්ගේ මිච්චා දෘෂ්ඨික මෝඩ හපන්කම් වේදිකාගත කරමින් සිටිනවා. සමාජගතවෙන මේ වාචාල මිච්චා වාචාවන් ඉදිරියේ උතුම් ධර්මවිනයේ අධිකරණයන් පවා පංචනීවරණයන්ගේ ග්‍රහණයට යටත්වයි පවතින්නේ. සමාජගතවෙන මිච්චා ධන බලය, අසත්පුරුෂ දේශපාලන බලය සහ කට වාචාල මිච්චා වාචාවන් ඉදිරියේ උතුම් ධර්මවිනය පවා අසරණ වෙනවාය කියන කාරණය හේතුඵල ධර්මයක්. පිංවත සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය, ආරක්ෂාව උදෙසා ශක්තිමත් ධාර්මිෂ්ඨ පාලකයෙකුගේ අත්‍යාවශ්‍යභාවය අපි හැමෝටම නැවත නැවත මතක්කොට දෙනවා. පිංවත අනතුර ජාතියේ කැණිමඬලට පහරදෙද්දී තවදුරටත් ප්‍රමාදවීම දීර්ඝකාලීන ප්‍රමාදිභාවයටමයි හේතුවෙන්නේ.

පිංවත අකුසල් විපාක දෙන්නේ තව අකුසල් සිද්ධකොටගන්න. අපේ දෑස් පනාපිට සක්සුදක්සේ පෙනෙනවා ජාතියක් හැටියට අපේ අකුසලයයි බලවත්වෙලාය තිබෙන්නේ කියන කාරණය. පිංවත සමස්ත ජාතියටම මේ විපාක දෙන්නේ අපේම පංචශීලයේ දුර්වලභාවයයි. අපි අනුන්ව කායිකව මානසික හිංසනයට පත් කිරීම නිසා නිරතුරුවම අපිව කායිකව මානසිකව හිංසනයන්ට පත්වෙනවා. අපි අනුනට බොරු කියන නිසා, බොරු කරන නිසා, නිරතුරුවම අපිව බොරුවෙන් රැවටෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ශිල්වතුන්ගේ බදු මුදල් සොරකම් කිරීම නිසා, වංචා කිරීම නිසා, නිරතුරුවම අපේ සැපය අනුන් විසින් සොරකම් කරනවා. අපේම කාමයේ වරදවා හැසිරීම් නිසා සමාජයම කාමච්ඡන්දයන්ගේ පාරාදීසයක් වෙනවා. පිංවත අපිම වගාකොට ගන්නා දුශ්ශීලභාවයේ අස්වැන්න, අපිටම අසතුටින් නෙලාගන්න වෙලා තිබෙනවා. පිංවත තවදුරටත් ඔබට අවශ්‍ය දෙය රටට කරන්න යන්න එපා. කරුණාකර රටට අවශ්‍ය දෙය ඔබ කරන්න. තවදුරටත් අපි ලෝකයේ බලවත් රටවල් ධනවත් කරන සිල්ලර කඩයක් වියයුතු නැහැ. ලෝකයට අපේ නිෂ්පාදන සපයන තොග කඩයක් බවට පත්වෙමු.

පිංවත අද අපි යා යුත්තේ අපි දිනන්න යන ගමනක් නොවේ, අද අපි යා යුත්තේ රට දිනවන්න යන ගමනක්. පිංවත අපි හැමෝම පරාර්ථකාමීභාවයෙන් පූර්වාදර්ශී වෙමු. පිංවත පූර්වාදර්ශී අපිව දැකලා අනුන් නිවැරදි වුණොත් සත්‍යකින්ම, අපිව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අපි ඇයි තවමත් නිවැරදි නොවෙන්නේ. පිංවත දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි අපි තවම දන්නේ නැහැ. පිංවත උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙලෙනවාය කියන කාරණය තවම අපි දන්නේ නැහැ. ඒ නිසාම අපි, අපිට වඩා දැනුම තේරුම තිබෙන අයගේ ඇසුර සොයන්නේ නැහැ. සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් විසිර යන්න, තවම අපිට මානසික විවේකයක් නැහැ. පිංවත ලස්සනයි වගේ පෙනුනට තෘෂ්ණාව හරිම කැතයි. මමත්වයේ දැඩිභාවය සෝද සෝදා මඩේ දමනවා.

ඔබට වඩා දක්ෂයෙකුටතැන දෙන්න ඔබ දක්‍ෂ වෙන්න

පිංවත වීර්යය කියන අර්ථය ජයග්‍රහණයේ පදනමයි. ඒත් අපි වීර්යය මමත්වයේ දැඩිභාවයෙන් ගතයුතු නැහැ. අපේ වීර්යය සෑම විටම දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකිනා, සති සම්බොජ්ජංගයෙන් පෝෂණය වෙන්න ඕනේ. පිංවත ඔබේ වීර්යය සති සම්බොජ්ජංගයෙන් පෝෂණය නොවුණොත් වීර්යයේ ඵලය වෙන්නේ ප්‍රීතිය, ඵස්සද්ධිය නොව දුකමයි. පින්වත ඔබේ මාතෘභූමියට තවදුරටත් අවශ්‍ය ශෝක, පරිදේව, දුක්, ගොන්නක් නොවේ, හෙට ගැන සිතෙත්දි, ඔබ තුළ ඇති වෙන්නේ ප්‍රීතියක්, ඵස්සද්ධියක්. පින්වත අවිද්‍යාවෙන් ඇට්ටකුනා වෙච්ච සමාජයක්, තෘෂ්ණාවට දේවත්වයෙන් ගරු කරන සමාජයක් යළි නිවැරදි දිශාවකට ගන්නවා යැයි කියන්නේ කිරෙන් දිය වෙන්කොට ගන්නවා වගේ දුෂ්කර ක්‍රියාවක්. ඒත් ඔබ ශීලයෙන්, මෛත්‍රියෙන් පිරිසිදු හංසයෙක් නම් ඒ දුෂ්කර කටයුත්තත් පහසුවක් බවට පත්කොට ගැනීමට හැකි වෙනවා. පින්වත අභියෝග කියන්නේ අකුසලයටයි. අභියෝගයන්ට යට වුණාය කියලා කියන්නේ අකුසලයට යට වුණාය කියන කාරණයයි. පින්වත හෙට දවස දුකට නොව ප්‍රීතිය, ඵස්සද්ධියට අයිතිකොට දෙන්න. අද දවස දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකින, සිහියෙන් පෝෂණය වූ වීර්යයෙන් අවදිවෙන්න. මෙය සටහන් තබන භික්ෂුව සැමවිටම ගසේ අතු, දලු, කොළ, මල්, ඵල ගැන සිතන භික්ෂුවක් නොවේ. භික්ෂුව සෑම මොහොතකම දකින්නේ අතු, දලු, කොළ, මල්, ඵල ලබාදෙන ගසේ මුදුන් මුල ගැනයි. වර්තමාන සමාජය ගසේ අතු, කොළ, දලු, මල්, ඵල කෙරෙහි ලෝබ සිතින් ප්‍රමාදීභාවයට පත් වී ගසේ මුදුන් මුල අමතක කොට දැමීමෙන්, අපිට සියල්ලම අහිමි වෙලා යන්න පුළුවන්. පින්වත කරුණාකර තවදුරටත් ගසේ අතු, කොළ, දලු, මල්, ඵල අවශ්‍ය නම් ගසේ මුදුන් මුල ආරක්ෂාකොට ගන්න. ගසේ මුදුන් මුල කියලා කියන්නේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වූ මෛත්‍රියෙන් සහ ශීලයෙන් ශක්තිමත් වූ උතුම් මනුෂ්‍යත්වයමයි.

පින්වත ඔබට වඩා දක්ෂයෙකුට ඔබේ තැන දෙන්න ඔබ දක්ෂ වෙන්න. එවිටයි ඔබ සැබෑම දක්ෂයෙක් වෙන්නේ. අපි අද ජීවත් වෙන්නේ අදක්ෂයින්ගේ ලෝකයක. අපිට තවමත් පුළුවන් වෙලා නැහැ, දක්ෂයින්ට තැන දෙන්න. ඒ නිසාම අපි, ඉදිරියට යන ලෝකය තුළ ප්‍රපාතයට යන ජාතියක් බවට පත්වෙලා. පින්වත අනුන්ව නිවැරදි කිරීමට පෙර තමන් නිවැරදි වෙන්න. පින්වත ඔබේ ඉලක්කය විය යුත්තේ තෘෂ්ණාවෙන් වැළඳ ගන්නා පදවියක්, තනතුරක් නොවේ. ඔබේ ඉලක්කය විය යුත්තේ ඔබේ පදවියත්, තනතුරත් උපයෝගී කොටගෙන ඔබ ඇතිකොට ගන්නා සමාධිමත් සිතයි. වර්තමානයේ පදවි සහ තනතුරුලාභී පින්වතුන්ලා සියලු දෙනාම තමන්ගේ හෘද සාක්ෂියට තට්ටුකොට අහන්න, ඔබ දරන තනතුරු, පදවි තුළින් ඔබට සමාධිමත් සිතක් තිබෙනවා ද කියලා. පින්වත් ඔබ දරන පදවි සහ තනතුරු පංච නීවරණයන්ටම ගොදුරක් වෙලා නේද? පංච නීවරණ ධර්මයන් පාවඩ එළන්නේ සතර අපායටම නේද? පින්වත මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන ඔබ, ඔබේ සිත පිහිටුවා ගන්න ඕනේ සශ්‍රීක දිව්‍ය ලෝකවල. එවිටයි ඔබ දරන තනතුරු, පදවි මනුෂ්‍ය ධර්මයන්ගෙන් බබළවන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වත සත්‍යකින්ම අපි මග සහ නොමග තෝරා නොගත් අවිද්‍යාවේ අනාථයෝ වියයුතු නැහැ. අපිට දුර පෙනෙන්නේ නැහැ, අපි දකින්නේ ළඟයි. මනුෂ්‍ය ලෝකයෙන් එහාට සිත පිහිටන්න අපි අදක්ෂ වෙලා තිබෙනවා. ඒ නිසාම පෙර පිනට අපිට ලැබුණ පදවි සහ තනතුරු අපේම හිස මතට කඩා වැටුණු අකුසල් නිධි බවට පත්වෙලා.

පින්වත මහා සාගරයට ඕනෑවට වැඩිය ආදරය කරන්න එපා. මහා සාගරය තුළ සැඟවී තිබෙන අසීමිත සම්පත් වලට තෘෂ්ණාවෙන් උපාදානයන් ඇතිකොට ගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, මහා සාගරය මුතු, මැණික්, රන් වලට ආකරයක්ය කියලා. මුහුදුබත් වූ සම්පත්වල සැඟවුණ පුරාවිද්‍යා නගරයක්ය කියලා. අපි මේ සම්පත් අයිතිකොට ගන්න, ගවේෂණය කරන්න තෘෂ්ණාවක් ඇතිකොට ගත්තොත්, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය යටතේ, අපිව අසුර ලෝකයේ උපදින්න පුළුවන්. මනුෂ්‍ය කිමිදුම්කරුවෙක් මහා සාගරයේ කිමිදි, කිමිදි සතුටු වෙන්නා සේ, අසුරයා ද මහා සාගරයේ කිමිදි, කිමිදි තම උපාදානයන් ඔස්සේ ඇලීම් සහ ගැටීම් ඇතිකොට ගන්නවා. පින්වත් ඔබ මහා සාගරයේ ගිලුණ නැවක් කෙරෙහි උපාදානයක් ඇතිකොට ගත්තොත්, ඒවා තෘෂ්ණාවෙන් ගවේෂණය කරන්න ගියොත්, මරණාසන්න මොහොතේ සාගර තෘෂ්ණාව ඇති වුණොත් ඔබව පටිච්චසමුප්පන්නව එම ගිලුණ නැව ආශ්‍රිතව ඕපපාතිකව අසුරයෙක් වෙලා උපදින්න පුළුවන්. පින්වත, පින සම්මා දිට්ඨියෙන් කළමනාකරණය නොකර ගත්තොත් පින කියන්නේ ගින්දරක්. තමාගේම අතීත පටිච්චසමුප්පන්න පිනෙන් තමාම අකුසලයෙන් විනාශ වෙලා යනවා. ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරගෙන මුහුදු පතුලේ සැඟවුන සම්පත් ගවේෂණය කරන්න යනවා කියන්නේ, වර්ණය, සැපය, බලයේම ඵලයක්. ඒ කියන්නේ පෙර පිනේ ඵලයක්. ඔබේම පින අධර්මානුකූලව කළමනාකරණය කොටගැනීම නිසා අවසානයේ අපි උරුමකොට ගන්නේ මුහුදු පතුලේ අවාසනාවන්ත අසුර ලෝකයේ උපතයි. පින්වත මහා සාගරය සිහිපත් වනවිට ඔබ අනිත්‍යයි කියලා දකින්න. අනාගත කල්ප විනාශයක දී මේ මහා සාගරයත් ජලය වියලී ගිය එකම වැලි තලාවක් බවට පත්වෙනවා. එදාට ලෝකයේ දේශසීමා, මායිම්, වැටකඩොළු මුකුත්ම නැහැ. එදාට මනුෂ්‍ය ප්‍රජාවත් නැහැ. එදාට තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන දුක ලෝකය පාලනය කරනවා. මහ පොළොව ගිනි නිරයක් බවට පත්වෙනවා. පින්වත් ඔබ දෑස් පියාගෙන මහා සාගරය අනිත්‍යයි කියලා දකිත්දි, ඔබේ සිත මහා සාගරය නිසාම සමාධිමත් සිතක් බවට පත්වෙනවා.

පින්වත අනාගතය ගැන තවදුරටත් සිහින දකිමින් සිටින්න එපා. සිහින අයිති වෙන්නේ අනිත්‍ය වූ මනෝ විඤ්ඤාණයට. අනාගතය කෙරෙහි සිහින නොදැක, වර්තමානය තුළ කර්මය කර්මඵල විශ්වාසයෙන් නැගී සිටින්න. මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් පෙරළා ලැබෙන සැපයේ ප්‍රතිලාභයන් ගැන පමණක් විශ්වාසය තබන්න. දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකින පූර්වාදර්ශී අර්ථය ජීවිතය ළඟම තබා ගන්න. තෘෂ්ණාව වැඩි පින්වත් මනුෂ්‍යයින් දහසකට වඩා, තෘෂ්ණාව දුකට මුල යැයි තේරුම් ගත්ත එක මනුෂ්‍යයෙක්ගේ සම්ප්‍රාප්තිය වර්තමානයේ මාතෘභූමියට අත්‍යවශ්‍ය බව කරුණාවෙන් තේරුම් ගන්න දක්ෂ වෙන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment