නොතිබ්බොත් පංච දෝෂ මගහැර පැලවෙයි මුල්ගල සරුවට

246

දෝෂ නොමැති නිවසක් සාදා ගන්නා ආකාරය හා එම නිවස භාවිත කරන ආකාරයන් පිළිබඳව වාස්තු විiාවෙන් උගන්වයි. නිවසක් ඉදිකිරීමේදී ඇතිවෙන දෝෂ 05ක් ඇත. ඒවා හඳුන්වන්නේ පංච මහා දෝෂ වශයෙනි. මෙම දෝෂ අතර ප්‍රථමයෙන් ඇත්තේ ආරම්භක දෝෂයයි. මෙහිදී මුල්ගල තැබීම ආදි ගෘහ කටයුතු සඳහා ඉතා බලවත් හෝරාවන් සකසා ගත යුතුය. ගෙයි හිමියාගේ, බිරිඳගේ වැඩිමහල් දරුවාගේ උපන් නැකතට නිවසේ නැකතට සීහුම් වන ආකාරයට තත්කාල පඤ්චාංගය සහ ග්‍රහ පිහිටීම ශුභ වන ආකාරයට නැකත සෑදිය යුතුය. මක්නිසා ද නිවසක් ඉදිරිකිරීමට ප්‍රථම නැකත් 03ක් ගනු ලබයි.

  1. ප්‍රථම කූඤ්ඤය ගැසීම හා නූල් ඇදීමට
  2. අත්තාවාරම කැපීමට
  3. මුල්ගල තැබීමට

ප්‍රථම කූඤ්ඤය සිටුවීම සිදුකරන්නේ වාස්තු නාග චක්‍රයට අනුවයි. උදාහරණයක් වශයෙන් සූර්යා වෘෂභ, මිථුන, කටකයේ ගමන් කරන ජුනි, ජූලි, අගෝස්තු මාසවලදී වාස්තු නාගයාගේ හිස ගිනිකොණ දිශාවේ වන අතර වලිගය වයඹ දිශාවේ පිහිටයි. පිට ඊශාන දිශාවේ පිහිටන අතර කූඤ්ඤය ගැසීම කරන්නේ නිරිත කොටසේය. එය බෙලි ශාකයකින් සාදාගත් ශංකුවක් විය යුතු අතර නියමිත හෝරාවේ දී ඊශාන බලා ලී මිටියකින් ප්‍රථම ශංකුව සිටුවා දක්‍ෂිණවෘතව නූල් අදිනු ලබන අතර ඉන් පසුව යෙදෙන නැකත වන්නේ අත්තිවාරම තැනීයි. පුරාණයේ නම් රන් මුද්දකින් මැණික් ගලකින් නියමිත හෝරාවක දී භූමියේ පස් සාරා සුදු හෝ රතු රෙදි කඩකට ප්‍රථම පස් පිටක් දැමීම සිදුකරයි.

කෙසේ හෝ මෙම ප්‍රථම කාර්යයන් 02 හිදීම කූඤ්ඤය පස් ඉවත් කළ ද මුල්ගල නම් නිවස පවතිනා තුරාවට ඉවත් කිරීමක් සිදුනොවේ. එම නිසා මුල්ගල තබන නැකත ඉතා ප්‍රබල නැකතක් විය යුතුය.

මුල්ගල තබන දිනයට කලින් දිනයේ ගෙබිමේ අයිති සම්පූර්ණ කොටස කහදියර ඉසිය යුතුය. ගෙබිමේ සතර කොණ දශරාෂ්ට, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍යවන සතර වරම් දෙවිවරුන් වෙනුවෙන් පහන් පැල් 04 ක් ද ගෙබිම මධ්‍යයේ බුදුන්ට, ඊශ්වර දෙවිඳුන්ට, ගම්භාර දෙවිඳුන්ට දිග පහන් පැලක් සාදා 03 ට වෙන්කළ යුතුය. මෙම පහන් පැල්වල පහන් රාත්‍රී 9.00ට පමණ තැබිය යුතුවේ. මල් වර්ග, හඳුන්කූරු, සුවඳ දුම් තැබීම කළ යුතු අතර මල් පහන් (ගොක්කොළ වලින් තැනිය යුතුය) සතර වටේ නූලක් ඇද ගෙබිම ආරක්‍ෂා කිරීම පිරිත්වලින් හා ආරක්‍ෂක මන්ත්‍රවලින් සිදුකිරීම සිදුකරයි. මෙම පහන් පැල්වල පහන් දල්වා ටික වේලාවකින් නිවී ගියහොත් මෙම ගෙබිමේ බහිරව, අමනුෂ්‍ය දෝෂ ඇති බව හැඟවේ.

මුල් ගලක් නිවසට තැබීමට පෙර ගෘහයේ ගෘහවාසීන් එක්ව දින කීපයක් විහාරස්ථානයකට ගොස් බෝධි පූජාවන් කළ යුතුයි. තමන් සෑදීමට බලාපොරොත්තු වන නිවසේ වැඩකටයුතු ඉක්මනින් බාධාවකින් තොරව සිදුවීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත යුතුයි. මේ සඳහා විෂ්ණු, කතරගම දෙවිවරුන්ට පින් අනුමෝදන් කර බාරහාර විය යුතුය. බෝධි පූජාවන් අවසන් කර දිනයට පසු දිනයක ගම්භාර සිද්ධ සූනියම් දේවාලයකට ගොස් බුලත්, පඬුරු, කෙසෙල් ඇවරියක්, සුදුහඳුන් ගුලියක්, සුදුපිරුවටයක්, විලඳ, මී පැණි හා ගම්භාර සිද්ධ සූනියම් දේවතාවන්ට කැප කර නිවසේ කටයුතු බාධාවකින් උපද්‍රවයකින් තොරව කර ගැනීමට බාරයක් විය යුතුය. මුල්ගල තබන දිනට දිනයකට, දෙකකට කලින් මුල්ගල විහාරස්ථානයේ හිමිනමකට ලබාදී පිරිත් කරවා ගත යුතුය. එසේ නොමැතිව මුල්ගල තබන දිනයේ කඩයකට ගොස් මුල්ගලක් ගෙන තැබීම ඵලදායක නොවේ.

නිවසකට මුල්ගල තැබීමේ නැකත ඉතාම සුවිශේෂී වේ. නිවැරදිව සකස් කළ සුබ නැකත නිවස සෑදීම ඉක්මන් කරන අතරම වාසනාව ගෙනදේ. නිවසෙහි වැඩ ආරම්භ කළේ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ඒවා කෙසේ හෝ විසඳී නිවස බලා සිටියදී ඉදිවීමට තරම් ප්‍රභලතාවයක් මුල්ගල තබන නැකත සතුවේ. සුළු සුළු වාස්තු දෝෂ පැන නැඟුණ ද ප්‍රබල නැකත හමුවේ පරාජයට පත්වේ. ප්‍රබල නැකතක් හා වාස්තු නිවැරදිව ගැළපීම එකතුවූ විට ලැබෙන ප්‍රතිඵලය කියා නිමක් නොමැත.

මුල්ගල තැබීමට ගන්නා නැකත කිසිම විටක මීන, මිථුන, කන්‍යා, ධනු යන කෝණමාසයකට හසුනොවිය යුතුයි. කෝණ මාසයකට මුල්ගල තැබීම නිසා එම නිවසේ වැඩකටයුතු මොනතරම් මුදල් තිබුණ ද අවසන් කිරීමට නොහැකි වනු ඇත. ගෘහ මූලිකයා, පවුලේ සාමාජිකයන් ලෙඩ රෝගවලට අනතුරු වලට භාජනය වීමටත් නිවසේ අත්තිවාරම දැමීමට පැමිණි බාස්වරුන් වැඩය අතරමැද දමා යෑමටත්, නොයෙක් බාධා මත සියල්ල නතර වීමටත් කෝණ මාසයක් තුළ නිවසක මුල්ගල තැබීම හේතුවක් විය හැක. නිවසක මුල්ගල තැබීම එම නිවසේ ප්‍රධානියා විසින්ම කළ යුතුය. “මට ඒවෙලාවේ එන්න විදියක් නෑ බාස්උන්නැහේම ඕක කරන්නකෝ” කියා නිවස ඉදිකරන මේසන් බාස් විසින්ම සමහර ස්ථානවල මුල්ගල තැබීම සිදුකරයි. එය අශුභය. නොකළ යුතුය. තවත් නිවෙස් වල නිවසේ සුරතල් දරුවා විසින් මුල්ගල තැබීම සිදුකරයි. එය ද ශුභ නොවේ. නිවසේ ගෘහ මූලිකයා ප්‍රධානියා විදේශගතව ඇත්නම් හෝ මියපරලොව ගියවිටකදී ගෘහහිමි බිරිඳ විසින් තමන්ගේ නැකතට, ගෙයි නැකත සීහුම් කර මුල්ගල තැබිය හැකිය. මුල්ගල තබන නැකත සෑම විටම සම්පත්, මෛත්‍රි, පරම, මෛත්‍රී, ක්‍ෂේම, සාධක යන උතුම් නැකතකටම ගත යුතුයි.

නිවසට තබන මුල්ගල බ්‍රහ්ම පාදය මත, බ්‍රහ්ම පාදය චේදනය වන විකර්ණ රේඛා මත හෝ බ්‍රහ්ම පාදය මැදින් දෙපැත්තට කැපෙන මර්මස්ථාන රේඛා මතට, වැසිකිළි බිත්තිය මතට වැටෙන ස්ථානයට දොරවල් වැටෙන ස්ථානවලට නිවසේ පඩිය මතට වැටෙන ආකාරයට තැබීම ඉතාමත් අශුභ වේ. මුල්ගල පෑගීම ගෘහ හිමියා මරණයට පවා පත්කෙරෙන අනතුරුදායක කරුණකි. සමහර ප්‍රදේශවල ලංකාවේ මෙම මුල්ගල තැබීම නිවසේ මධ්‍යයේ හෙවත් බ්‍රහ්ම පාදය මත සිදුකෙරේ. එය අශුභ වේ. මුල්ගල තැබීමේ දිශාව ගැන පැවසීමේදී හාරමානිස් අප්පුහාමි මහතාගේ ගෘහ නිර්මාණ ශිල්ප පොතේ දැක්වෙන්නේ මෙසේය.

ප්‍රසාදෙදුච හර්ම්‍යෙසු ගෘහෙස්ව න්‍යෙෂු සර්වදා
අග්නෙයියං ප්‍රථමං සතම්‍ය තාපයෙත්තද්
විධානතත් සාර්මගධර

ගිනිකොණ හි මල් පහන් සුවඳ දුම්, වස්ත්‍ර, ආහාරපාන, රන්, රිදී, මැණික් වස්තූන්ගෙන් වාස්තු දේවතාවන්ට පූජා පවත්වා පළමු වන ශිලාව (මුල්ගල) තබන්නේය. අනෙක් ඒවා ප්‍රදක්‍ෂිණාවෙන් තැබිය යුතුයි. ඒවා නම් දකුණ, නිරිත, බටහිර, වයඹ, උතුර යන්නයි.

නමුත් වර්තමානය වනවිට නිවසකට තබන්නේ තනි මුල්ගලකි. එය ගිනිකොණ දිශාවේ ද, නැතහොත් ඊශාන දිශාවේ ද තවත් සමහරු නිරිත දිශාවේ ද තැන්පත් කරයි. කෙසේ වුවද මෙම දිශා 03 ඉතාම බලවත්ය. ගිනිකොණ දිශාවෙන් මුල්ගල තැබීම ධනයෙන්, බලයෙන්,

නිරෝගිකමින් හා රාජ්‍ය ප්‍රසාදය ලැබීමට හේතු වන සුවිශේෂ දිශාවකි.

ඊශාන දිශාවේ මුල්ගල තැබීම තුළින් දේව ආකර්ෂණය ලැබේ. විශ්වශක්තිය බලවත් වේ. දියුණුව අත්වේ. නිරිත දිශාවේ මුල්ගල තැබීම නිවසේ ධනය පිරේ. ජීව ගුණය වැඩිවේ. පුත්‍ර ලාභ ඇතිවේ. මූල්‍ය ශකතිය බලවත් වේ.

නමුත් වයඹට හා බස්නාහිර දිශාවට මුල්ගල තැබීම නොකළ යුතුය. වයඹ දිශාවට මුල්ගල තැබීම නිසා සතුරන්ගෙන් කරදර පීඩා ඇතිවීමත්, ධනය විනාශ වීමත්, ස්ත්‍රීන්ට කරදර ඇතිවීමත් සිදුවේ. බස්නාහිර දිශාවට තැබීමෙන් ගෙයි වැඩ ආරම්භක අවස්ථාවේම නතර විය හැක. ස්වභාවික විපත් ජල ගැලීම්, සුළං යනාදියෙන්ද සතුරු පීඩා ද ඇතිවේ.

පුරාණයේ මුල්ගල තැබීමේදී ශෛලය ප්‍රථමයෙන් තබා නිධන් වස්තු තැන්පත් කිරීම එම මොහොතෙම සිදුකළ ද වර්තමානයේ සිදුවන්නේ කුහර සහිත සිමෙන්තියෙන් සකසන ගල මධ්‍යයට නිධන් වස්තු දමා තැන්පත් කිරීමයි. මෙම නිධන් තැන්පත් කිරීම පෙර රජ සමයේ සිට කල කාර්යයකි. යම් වටිනා වස්තු තැන්පත් කිරීමයි. මේ සඳහා චාරිත්‍රානුකූලව තෝරාගන්නේ දුර්ලභ නිර්මල ඖෂධීය ගුණ ඇති දේය. අදටත් මේ සඳහා නිධන් ද්‍රව්‍ය තැබීම සිදුකරන්නේ පොළොවට අධිපති පොළොව මහී කාන්තාවට, භූමි දේවතාවන්ට, තුටු පඬුරු වශයෙන් භූමිය මත තැන්පත් කොට ගෘහ කටයුත්ත සඳහා පොළොව සමග සම්බන්ධ වීමටයි.

මේ සඳහා කස්තුරි, නවරත්න මැණික්, ගෝරෝචන, පස්ලෝ, හිරියල්, රත් හඳුන්, සුදු හඳුන්, උඳු, මුං, තල, මෑ, වී, අගුල්, ගුගුල්, සැවැන්දරා මුල්, ලදපස්මල්, කඹුරු ඇට, වැල් මී, මී ඇට, ගඟේ වැලි, මුහුදේ වැලි, දොළේ වැලි, ඇළේ වැලි, පර්වත පස්, ඇතා දළ බිඳි පස්, පස් තෙල් වර්ග, මැණික්, රත්‍රං, රිදී මුතු, මුහුදු කවඩි යොදා ආරක්‍ෂක බන්ධනවලින් සිදුරු සහිත සිටින සේ මැටිවලින් සකසා ගත් කලයකට දමා මෙම ද්‍රව්‍ය පුරවා හිස් ප්‍රමාණයට මාවී දමා තැන්පත් කිරීම ශුභ වේ.

මෙම මුල්ගල තබන අවස්ථාවේදී විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ආරාධනය කර පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මුල්ගල නියමිත හෝරාවට තැබීමට හැකි නම් එය ඉතාම උතුම් වේ. මෙම මුල්ගලට යටින් තඹ කොලයෙන් 3”ං3” දක්‍ෂිණ ස්වස්තිකයක් තැන්පත් කිරීමෙන් නිවසේ අන විණ, බන්ධන දෝෂවලින් ආරක්‍ෂාව ලැබී සෞභාග්‍යය උදාවේ. මුල්ගල තවත් ප්‍රබල වේ. එදා අතීතයේ රුවන්වැලි සෑ රඳුන්ගේ පාදම 09 වරක් ගිලී ගිය මොහොතේ දක්‍ෂිණ ස්වස්තිකය තැන්පත් කළ පසු පාදලම ගිලී යෑම නැවතුණ බව ඉතිහාසය පෙන්වා දී ඇත. වර්තමානයේදී පවා පුරාවිiා කණීම්වල දී මේ ස්වස්තිකය හමුවීම තුළින් පෙන්වාදී ඇත්තේ එදා රජ සමයේදී මේ නිධන් මුල්ගල් සමගින් දක්‍ෂිණ ස්වස්තිකය ද තැන්පත් කළ බවයි. අවසාන වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ නිවසක ආරම්භ මෙහොතේ අත්තිවාරමට පමණක් සීමාවුණ මුල්ගල වර්ෂ ගණනාවක් පැළ වෙමින් පවතින නිවාස වල මුල්ගල දෝෂයට ලක්වීම සිදුව ඇත්නම් එම මුල්ගල ඇති ස්ථානය හාරා මුල්ගල මතුකර ජලාශයක ගිල්වා දමා නැවත ශුභ හෝරාවක මුල්ගලක් තැබීමෙන් මුල්ගලින් ඇතිවූ දෝෂය ඉවත් කිරීමට හැකිය.

නොතිබ්බොත් පංච දෝෂ මගහැර පැලවෙයි මුල්ගල සරුවට

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment