වස්කඩුවේදී යකඩ යකාගේ ගැටුණු සංචාරක බස්රථය දෙකට කැඩිලා

590

දුම්රිය හරස් මඟේ සංඥා ලාම්පු වැඩ කළේ නෑ – බස්රථ රියැදුරු
සංචාරකයන් දෙදෙනකුට සහ දුම්රිය රියැදුරුට තුවාල

චෙක් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව සිටි සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් ඊයේ (29 දා) අලුයම 4.20 ට පමණ වස්කඩුව ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී තිබේ. එම අනතුරින් දුම්රිය රියැදුරු සහ සංචාරකයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

අනතුරෙන් ඇසකට තුවාල සිදුවූ දුම්රිය රියැදුරු 1990 සුවසැරියෙන් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගිය අතර අත්වලට සුළු තුවාල ලැබූ විදෙස් යුවළට ප්‍රථමාධාර ලබාදෙනු ලැබීය. අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණපා ඇත. මෙම සංචාරකයන් කටුනායක බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා රැගෙන යමින් සිටියදී බස් රථය මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුරෙන් බස්රථය කොටස් දෙකකට කැඩී වෙන්ව තිබූ අතර දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව තිබුණි. මේ පිළිබඳ අදහස් දැක්වූ බස්රථ රියදුරු – “දුම්රිය හරස් මාර්ගයේ සංඥා ලාම්පු අක්‍රීයව තිබුණේ. දුම්රිය මාර්ගයේ දෙපැත්ත බලලා දැම්මා. නමුත් දුම්රිය ප්‍රධාන ලාම්පු නිවාගෙන ආවේ. හෝන් ගහනවිට මම ඉක්මනින් බසය ගත්තා. ඒත් බසයේ පසුපස කොටස වැදුණා. දුම්රිය අනතුරත් සමගින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ විනාඩි 45 ක පමණ කාලයක් දුම්රිය ගමනාගමනය එක් මංතීරුවක මුළුමනින්ම ඇණහිට තිබූ අතර දුම්රිය නැවත කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ධාවනය යථා තත්ත්වයට පත්කෙරුණි.

කළුතර පානදුර අතර සංචාරක කලාපයේ වැඩිම සංචාරකයින් ගැවසෙන වස්කඩුවේ මෙවන් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් තිබීම ගැන බලධාරීන් කොතරම් දැනුවත් කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ප්‍රදේශවාසීහු චෝදනා නඟති.
වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment