ගිය වසරේ අයවැය යෝජනා ඉටු කිරීම අන්ත දුර්වලයි මේ අයවැය ගැනත් විශ්වාසයක් නෑ – විපක්‍ෂ නායක සජිත් කියයි

75

රජය විසින් 2023 වසරේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ඉටුකිරීම අන්ත දුර්වල තත්ත්වයක පවතින බවත් අයවැය යෝජනා අධීක්ෂණය සඳහා කාර්යසාධන බළකායක් ස්ථාපිත කරන බව පැවසුවත් එයද මෙතෙක් පිහිටුවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) පැවසීය.

2023 අයවැය ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු විශ්ලේෂණයකින් තොරව ලබන වසර සඳහා අයවැය සකස් කර ඇතැයිද 27/2 යටතේ විශේෂ ප්‍රශ්නයක් විමසමින් හෙතෙම සඳහන් කළේය.

රජයක් ඉදිරිපත් කළ අයවැයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක වන්නේද නොවන්නේ ද සහ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් රජය 2023 අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා මේ වන තෙක්ම ඉටු කර නැතැයි දක්නට ලැබෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.

වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයකට අනුව 2023 අයවැයේ විශේෂිත යෝජනා 50 ක් සඳහා වෙන් කළ ප්‍රතිපාදනවලින් සියයට 97 ක් වැය කළේ කුමක් සඳහා ද යන්න සම්බන්ධව නිශ්චිත තොරතුරු නොමැති බවත් එසේම පසුගිය වසරේ වැඩිම මුදලක් වෙන් කළ යෝජනා 25න් 17ක තොරතුරු නොමැති හෝ සොයා ගත නොහැකි බවත් හෙතෙම කීය.

එබැවින් 2024 නව අයවැයේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලු තිබෙන අතර අයවැයක විශ්වසනීයත්වය ගැටලුවක් නම් වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ඊළඟ වසරේ අයවැය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පර්යේෂණ අංශය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් සමඟ එකතු වී 2023 අයවැය යෝජනා 77ක් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකදී ඒ අතරින් යෝජනා 69ක තොරතුරු අසම්පූර්ණ බවත් මෙවර ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා 2023 වසරේ පවා ඉදිරිපත් කර මුදල් වෙන් කර ඇති නමුත් ක්‍රියාවට නංවා නැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම යෝජනා සඳහා මෙවරද මුදල් වෙන් කර ඇතැයි කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment