ක්‍රිකට් තහනම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට පවරයි

134

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දී ඇත.

එසේම මින් ඉදිරියට ක්‍රිකට් අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළේ පසුගිය 10 වැනිදාය. වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යෑම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පසුගිය නොවැම්බර් 5 වැනිදා නව ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබීමෙන් පසුව මෙරට ක්‍රිකට් පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් මතු විය.

පසුගිය 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රැස්වී තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ රාජ්‍ය පාලනය, නියාමනය හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment