සතර අත බිඳ වැටෙමින් තිබිය දී අපේක්ෂාවේ සිතුවිලි දල්වා ගතහැක්කේ ඒ සමාජයේ සුවිශේෂී මිනිසුන් සිටී නම් පමණකි. හැමවිට ම මේ ලෝකය වඩාත් ඉදිරියට ගියේ ද රැල්ලට ගසා නොගිය උඩුගන් බලා පිහිනු එවැනි මිනිසුන් හේතුවෙන්ය. එරන්දි ශීරෝමී, ඇය අප අතර සිටින එවැනි සුවිශේෂී කතක වන්නීය.

කිසිඳු යෞවනියක පය නොතබන වෘත්තියට පව තැබූ ඇය දැන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු ඇලුමිනියම් වෑද්දුම් ශීල්පිනිය මතු නොව, එම වෘත්තියෙහි ජාත්‍යන්තර පිළිගත් උපදේශිකාවක බවට පත්ව හිඳින්නීය. මීට වසර ගණනාවකට ඉහත ජාතික අධුනිකත්ව මණ්ඩලයෙන් ඇලුමිනියම් වෑද්දුම් ශිල්පය පිළිබඳ පාඨමාලාව හදාරා එන්. වී. කිව්. ප්‍රමාණයේ සහතිකයක් ලද ඇලුමිනියම් කර්මාන්තයේ පළමු කාන්තාව ඇයය.

තවදුරටත් කියන්නේ නම් එරන්දී ශිරෝමී යනු එම කේෂත්‍රයේ පිළිගත් ගෞරවනීය ආචාර්යවරියකි. මේ රටේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දැනුම ශ්‍රමය කැප කළ විශිෂ්ට ගැහැනියකි. මේ වනවිට ඇලුමිනියම් කර්මාන්තයේ අන්තර් ජාතික තක්සේරු සහතිකය ලද එකම ශ්‍රී ලාංකික කාන්තාව එරන්දීය.

ඒ විෂයයෙහි ලද නිපුණත්වය නිසා ම ඇය දැන් සේවය කරන්නේ ජපානයේ තාක්ෂණික ආයතනයකය. ජපනුන් හපනුන් කියන ජපනුන් අතර එම ආයතනයේ ප්‍රධාන කළමනාකාරීනිය වන්නේ එරන්දීය. සියුමැලි දෑත්වලට නොහැකි පිරිමින්ට පමණකැයි කී රැකියා කේෂ්ත්‍රයක අන්තර් ජාතික තලයේ අවධානයට ලක්වන තෙක් ඇය ගිය ඒ ගමන මේ මොහොතේ කතා කිරීම ම එක් අතකට වැදගත්ය. ඒ මේ දුර්භාග්‍ය සම්පන්න වටපිටාව හමුවේ වැළලෙන්නට යන ජාතියකට ලිංග භේද අමතක කර අභියෝග ජය ගතයුතු මිනිසුන් වැඩි වැඩියෙන් අවශ්‍ය බව කියන්නට මෙය කදිම කතාවක් නිසාය. ඒ කතාව එරන්දී අපට කීවේ මෙහෙමයි.

“ මගේ ගම ඇල්පිටියේ අම්මල හිටියේ මතුගම වැලිපැන්නේ. මම හැදුනෙ වැඩුනෙ මතුගම. ඉගෙන ගත්තෙ මතුගම ශාන්ත මේරි විද්‍යාලයෙන්.

ඇත්තට ම උසස් පෙළින් පස්සෙ මට අවශ්‍ය වුණේ නෑ. සාම්ප්‍රදායික ක්‍රමවේදකයට රැකියාවක් කරන්න. මගේ ලොකු තාත්තා මට කිව්ව කතාවක් තිබුණා. ඒ තමයි, හැම කෙනාම කරන දේ ගැන කල්පනා නොකර අලුත් දෙයක් කරන්න කියල. ඒ නිසා උසස් පෙළින් පස්සෙ වෘත්තීය පුහුණු අධිකාරිය මෙහෙයවන තාක්ෂණික පාඨමාලාවක් කරන්න මම කල්පනා කළා. එහෙම තමයි රජයේ වෘත්තීය පුහුණු පාසලේ විදුලි කාර්මික ශීල්පීය පාඨමලාව හැදැරීම සඳහා මම යොමු වන්නෙ. මුලින් මම තෝරගත්තෙ ඉන්ඩස්ටි්‍රයල් ඉලෙක්ටි්‍රකල් කියන විෂය. ඒ විෂය හදාල කාන්තාවන් හිටියේ අතේ ඇඟිලි ගණනකටත් වඩා අඩුවෙන්. වාසනාවකට මගේ පාඨමාලාව භාරව හිටියේ ගුරුවරියක්. පිරිමි ළමයි පහළොවක් හිටියා පන්තියේ. එකම ගෑනු ළමයට හිටියේ මම. ඒත් පාඨමාලාව ගුරුවරියක් යටතේ තිබීම මගේ ආත්ම ශක්තිය වැඩි වීමට හේතුවක් වුණා. එදා මට ඕන වුණේ විෂය සම්බන්ධ උපදේෂිකාවක් වෙන්න. මේ මාස හයක පාඨමාලාව හදාරලා වසරක ප්‍රායෝගික පාඨමාලාව කරන්න රත්මලාන කාර්මික විද්‍යාලයට යන්න ඉන්නකොට තමයි මට ලක්ෂ්මන් සර්ව මුණ ගැහෙන්නෙ. ඉලෙක්ටි්‍රකල් පැත්තෙන් අලුත් පාඨමාලාවක් ඇවිත් තියෙනවා, ඒකට ඉල්ලුම් කරන්න කියන අදහස ආවේ ලක්ෂ්මන් සර් ගෙන්. කෝකටත් මුලින් ක්ලාස් එකට ගිහින් එතැන කරන්නෙ මොනවද කියල බලන්න කිව්වා. මම අම්මත් එක්ක ක්ලාස් එක පැත්තට යනකොට එතැන පිරිමි ළමයි වෙල්ඩිං වැඩ කරනවා. හරියට ගරාජ් එකක් වගේ.

මේකද ඔයාට කරන්න තියෙන්නෙ, වගේ බැල්මකින් ඒ වෙලාවේ අම්මා මගේ මූණ දිහා බැලුවා.

ඒත් එතැන හිටිය සර් මට වෙනසක් පෙන්නුවේ නෑ. එළියට ආව ගමන් අම්මා මගෙන් ඇහුවේ පුතේ උඹට ඕවා කරන්න පුළුවන් ද කියල. අම්ම එහෙම අහන කොටත් මම තීරණයක් අරන් තිබ්බෙ. ඒ නිසා කමක් නෑ කරල බලමු කියල අම්මට කිව්වා. මම තෝරාගත්තෙ ඇලුමිනියම් තාක්ෂණ ශිල්පය පිළිබඳ පාඨමාලාව. පාඨමාලාවේ කාලය මාස හයයි. හැබැයි මේ පාඨමලාව කළා ට කේෂ්ත්‍රයේ රැකියාවක් කරන එක ගැන මට පොඩි සැකයක් තිබ්බා. මොකද ඒ පාඨමාලාවේ කටයුතු හරිම බරයි. කේෂ්ත්‍ර රැකියාවකදි දිවා රෑ ගැටෙන්න වෙන්නෙ පිරිමි අය එක්ක. උඩ නැඟගෙන, වෙල්ඩිං කරගෙන කරන බර වැඩක් වගේ සලකන මේ වගේ කේෂ්ත්‍රයකට ඇත්තට ම ඒ අය ගැහැනු ළමයි උනන්දු කළෙත් නෑ. කොහොමත් ඒ වගේ දේකට පෙළඹවීමක් නොකරන ගතානුගතිකත්වයක් සහිත සමාජයක් තමයි අපට තියෙන්නෙ. ඒ ගැන මටත් වැටහීමක් තබ්බා.”

“ හැබැයි මම ඒ පාඨමාලාව දැන් ඔන්න කරගෙන යනවා. මට උඩ නඟින්න පට්ට බයයි. වීදුරු කපන්න බයයි. මගේ ඒ බය නැති කරේ ලක්ෂ්මන් සර් වගේ උපදේශකවරු. ටික කාලයක් යද්දි ඔවුන් මාව ඒ වෘත්තියට හුරු කළා. කේෂ්ත්‍රයේ ඕනෑම දෙයක් වගකීමක් සහිතව ඉටු කරන්න පුළුවන් කියන විශ්වාසය මට ගොඩ නැඟුණා. අවසානයේ තනි කාන්තාව වුණ මම තමයි මුළු පාඨමාලා වෙන්ම දෙවෙනිතැනට ලකුණු ගත්තේ.”

ඇය පැමිණි ගමන් මඟ එක හුස්මට කියාගෙන යන්නෙ චිත්‍රපටයක් මෙනි. මම ඇයගෙන් මෙසේ ඇසුවෙමි.

පඨමාලාව ඉවරවෙලා මොකක්ද කරන්න ගත්තෙ?

මම මගේ කියල වැඩපළක් කරන්න හිතාගෙන කොන්ත්‍රාත් ගත්තා. වැඩ හොඳයි කියන සහතිකය සමාජයෙන් ම ලැබෙන්න ගත්ත ම වටිනාකමක් ලැබුණා. ඉල්ලුම වැඩි වුණා. ඒ අතරේ මට කැන්දලන්ද වෘත්තීය පහුණු මධ්‍යස්ථානයෙන් ආරාධනා ලැබුණා දේශන තියන්න. ඒ නිසා මට තරුණ ළමයි විශාල සංඛ්‍යාවකට මේ තාක්ෂණ ශිල්පය උගන්වන්න අවස්ථාව හිමිවුණා. ඒ අතරේ මම එන්. වී. කිව්. කරල ඇලුමිනියම් කේෂ්ත්‍රයේ තක්සේරුකරුවෙක් විදියට සුදුසුකම් සැපිරුවා. ඒ කාලේ මේ කේෂ්ත්‍රයේ එකම සහ පළමු සහතික ලත් කාන්තා තක්සේරුකාරිනිය වුණේ මම.”

ඇය කියන්නීය. ඒ සමග ම ඇයගේ දැනුම සහ හැකියාවට ඇලුමිනියම් කේෂ්ත්‍රයේ විදෙස් ගත අධ්‍යයන අවස්ථාවක් හිමිවන්නීය. ඒ සඳහා ඇය ජපානයට යන්නීය. ඒ ඇගේ වයස 36 දීය. ඊට විශේෂ හේතුවක් තිබිණි.

“ මම මේ අධ්‍යයන අවස්ථාව ජපානයෙන් ඉල්ලා සිටියත් ඔවුන් මට ශිෂ්‍ය වීසා නිකුත් කරන්නෙ විශේෂ හේතුවක් නිසා. වෘත්තීය පුහුණු අධිකාරියෙන් මට සහතිකයක් දුන්නා ඇලුමිනියම් ශිල්පය සඳහා ලංකාවේ ඉන්න එකම සුදුසුකම් ලත් කාන්තාව මා බව තහවුරු කරල. එයින් මට ජපානයේ දී මේ කේෂ්ත්‍රය ගැන අධ්‍යයන අවස්ථා හම්බවුණා, විතරක් නෙවෙයි රැකියා අවස්ථාවකුත් ලැබුණා. දැන් මම වැඩ කරන මේ කුඩා ආයතනයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කරන්නෙත් මම. 2015 ඉඳන් මම ඉන්නෙ ජපානයේ. ඒ අතර මම ලංකාවට එනවා. එක් වතාවකදි ජපානයේ මම වැඩ කරන ආයතනයෙන් පඩි සහිතව වසර තුනහමාරක නිවාඩුවක් ලැබුණා. ඒ කාලයේ දී ම ගාල්ල තාක්ෂණික විද්‍යාලයේ උපදේශක වරියක් ලෙස කටයුතු කළා. ඒත් එක්ක ම කොවිඩ් වසංගතයක් එක්ක අපි දැක්ක රටට මොකද වුණේ කියල. ගොඩක් අය විදේශ විනිමය හොයන්න උත්සහ කළා. ඒත් ඒ උත්සහයන් සැලකියයුතු ප්‍රමාණයක් නැවතුණේ රැවටීම්, වංචා කිරීම්වලින් අපේක්ෂා භංගත්වයත් එක්ක. ඒ වගේ අයට යමක් කරන්න ඕන කියන චේතනාවත් එක්ක එක්සත් රාජධානීයේ සිටින සුමේධ ආරියරත්න නැමති ප්‍රකට නීතිවේදියා එක්ක විදේශ ගතවීම සඳහා අපේක්ෂා කරන අයට උපදේශන සේවාවක් සැපයීමේ ආයතනයක් මම පිහිටු වූවා. එයින් මම වගේ වෘත්තීය සුදුසුකමක් එක්ක නැඟී සිටින විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට සේවාවක් කරන් යනවා. සංක්‍රමණය සම්බන්ධ පුළුල් පරාසයක කරුණු සම්බන්ධව අවධානය යොමු කරල අපි මේ සේවාව කරන් යන්නෙ. එත් එක්ක ම මම උගත් කේෂ්ත්‍රයේ එන්. වී. කිව්. තුන-හතර මට්ටමේ පාඨමාලා කිහිපයක්ම දැන් පටන් අරන් තියෙනවා. මම කියන්නෙ අපි ගතානුගතිකව කොටු වෙලා ඉඳල මේ ළිඳෙන් ගොඩ එන්න බෑ. රටක් විදියට අපි වැටිල ඉන්න තැනින් ගොඩ එන්න නම් අපි තනි තනිව අපේ කොටස අපි ඉටු කරන්න ඕන. ඒකට ලිංග භේදය කොහෙත්ම අදාළ නෑ. ”

ඇය අවසානයේ කීවේ තමන් තෝරා ගන්නා සමාජය ගැන සිතා නොවෙනස් කළ යුතුය කියා ය. එසේ ම ලබාගන්නා වෘත්තීය පරිචය අරමුණක් ඔස්සේ දිශානගත කළවිට උනන්දුවක් සහිත ඕනෑම කෙනෙකුට එයින්ම ඉහළ තැනකට පැමිණිය හැකිය කියා ය.

එය ඇත්තය. මෙවැනි කාලයක මේ රටට අවශ්‍ය වන්නේ අලුත් විදියට සිතන අභියෝග භාරගන්නා ලිංග භේදයෙන් තොරව සඳහන් කරන්නේ නම් ශක්තිමත් හිතක් ඇති මිනිසුන්ය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment