පනත් කෙටුම්පත් ගේන්න ඕන පුළුල් සංවාදයක් තියලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

99

ත්‍රස්තවාදය අර්ථ නිරූපනය කිරීමේ වරදක් තියෙනවා!

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ සමාජයේ විවිධ කතාබහ ඇතිවෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් විමසීමට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. මේ ඔහු සමඟ කළ සංවාදයයි.

ප්‍රශ්නය – අධිකරණය ඇමැතිවරයා විසින් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරල තියෙනව. මේ මොහොතේ මෙවැනි පනතක තියෙන අවශ්‍යතාව කුමක්ද ?

පිළිතුර – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙ ගැටලු තියෙනව. ඒ ගැටලු නිරාකරණය කරන්න ඕන. එකක් තමයි මම දන්න තරමින් ලංකාවට ජීඑස්පී ෆ්ලස් සහනය තවදුරටත් ලබාදෙන්න නම් ශ්‍රී ලංකා රජය පොරොන්දු වෙලා තියෙනව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරල අලුත් පනතක් ගේනවා කියල. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය රජය ගෙන්න බලාපොරොත්තු වන පනත දැනට තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා අන්ත පනතක් නම්, ඊට වඩා මිනිසුන්ගෙ අයිතිවාසිකම්වලට හානිකරවන පනතක් නම් ඒකෙන් ප්‍රයෝජනයක් නැතිවෙනව. ඇත්තටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ස්ත්භාවයෙන් සංශෝධනය කරන්න ඕන. හැබැයි මට තේරෙන විදිහට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනටත් වඩා ගැටලුසහගත පනතක්.

ප්‍රශ්නය – ත්‍රස්තවාදය වැළැක්වීමට තාවකාලික විධිවිධාන පනතක් එන්නේ 1979 වසරේදී. ඒ එල්ටීටීඊ ත්‍රස්තවාදය මතුවෙන පසුබිමක. එහෙත් ත්‍රස්තවාදයක් නැති පසුබිමක මේ වගේ පනතක් අපිට අවශ්‍යයි ද?

පිළිතුර – මම හිතන හැටියට දැනට තියෙන පනත ප්‍රමාණවත්ව අදාළ පාර්ශ්වයන්ගෙ මත විමසීමක් නැතිව තමයි ගෙනල්ල තියෙන්නෙ. මේ පනත් කෙටුම්පත කැබිනට් කමිටුවක් කෙටුම්පත් කරල තියෙනව. ඒ කෙටුම්පත් කිරීමේදී මහජනතාවගෙන් අදහස් විමසීමක් කරල නෑ. මේ ගැන නීතිඥ සංගමයෙ සභාපති විදිහට මම හිටපු කාලයේ මේ කෙටුපතේ පිටපත් ගැසට් කරන්න පෙර ලබාදෙන්න කියල අපි අධිකරණ ඇමැතිවරයටයි, විදේශ ඇමැතිවරයටයි ලිපියක් යැව්ව. එතකොට එහෙම කරල පුළුල් සාකච්ඡා තියෙන්න ඕන මේකෙ තියෙන ප්‍රතිපාදන ගැන. එහෙම ප්‍රතිපාදන නැතිව, පුළුල් සාකච්ඡාවක් නැති මේ ආකාරයෙන් පනත් කෙටුම්පත ගැසට් කිරීම මම නම් හිතන්නේ සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙ අයිතිවාසිකම්වලට විශාල බලපෑමක් වෙනව කියලයි.

ප්‍රශ්නය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම පනත් කෙටුම්පතින් උල්ලංඝනය වෙන බව බොහෝ දෙනෙක් සඳහන් කරන කාරණයක්. ඒ ගැන ඔබගේ අදහස කෙසේද ?

පිළිතුර – පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද කියල බලන්න වෙන්නෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සෙ. ඒ ශ්‍රේඨාධිකරණයෙදි ඒක අභියෝගයට ලක්කරන්න පුළුවන් වෙනව. කවුරු හරි අභියෝග කළොත් ඒක ව්‍යවස්ථානුකූලභාවය බලන්න. හැබැයි පනත් කෙටුම්පතක තියෙන හොඳ නරක ගැන කතා කරද්දි ශ්‍රේෂ්ඨාධිකරණයට බලන්න පුළුවන් වෙන්නෙ ව්‍යවස්ථානුකූලභාවය විතරයි. නමුත් මම දකින විදිහට බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, මේ පනත් කෙටුම්පතේ ගැටලු තියෙනව.

ප්‍රශ්නය – පනත් කෙටුම්පතේ 82 වැනි වගන්තියෙ ජනාධිපතිවරයාට බලය හිමිවෙන වගන්තිය. එහි පොලිස්පතිවරයා නිර්දේශ මත ඕනම සංවිධානයක් තහනම් කරන්න ප්‍රතිපාදන තිබෙනවා. මේ වගන්තිය බොහෝ දෙනා දෝෂාරෝපණයට ලක්කරනව. මේ වගන්තියෙන් සාමාන්‍ය ජනසමාජයට වෙන්න පුළුවන් බලපෑම මොකක් ද?

පිළිතුර – මේ තියෙන ප්‍රතිපාදනවල ගැටලු කතා කළොත්, මුල්ම ප්‍රතිපාදනයෙම ගැටලුවක් තියෙනව. ඒ තමයි ත්‍රස්තවාදය නිර්වචනය. එය පනතේ තුන්වැනි වගන්තියේ නිර්වචනය කර තියෙනව. අතිශයින්ම පුළුල් විදිහට තමයි ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කරල තියෙන්නෙ. එතනදි මම දකින දේ තමයි රජයට විරුද්ධව යම් පාර්ශ්වයන් විසින් කරන විරෝධතා, වැඩවර්ජන පවා මේ ත්‍රස්තවාදී කියන අර්ථයට ගන්න පුළුවන් වෙනව. රජයට විරුද්ධව යම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගත්තොත් උදාහරණයක් ගත්තොත් ඒකෙ තියෙන අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවීම අර්ථය නිරූපණය කරල තියෙනව ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට.

ඊට පස්සෙ තියෙනව 3.2 ඊ, එෆ් කියන වගන්ති ගැටලුසහගත වෙන්න පුළුවන්. ඒ වගේම මේ පුළුල් නිර්වචනය ඉලක්ක කරගන්න පුළුවන් රජයට විරුද්ධව කරගෙන යන යම් උද්ඝෝෂණ, වැඩවර්ජන ක්‍රියාමාර්ගයන් පවා ත්‍රස්තවාදී ක්‍රියා විදිහට අර්ථගන්වන්න පුළුවන් කියල මම හිතනව.

ප්‍රශ්නය – ‘ත්‍රස්තවාදය’ කියන වචනයට තාමත් අපේ සමාජය තිගැස්සෙනව. එවැනි තත්ත්වයක් තුළ ත්‍රස්ත වචනය භාවිත කර ආණ්ඩුව මේ පනත තුළින් උත්සාහ කරන්නේ රජයට විරුද්ධ වන සාමකාමී උද්ඝෝෂණ, වැඩවර්ජන මර්දනය කරන්න ද?

ඵීළිතුර – මට කියන්න බෑ ආණ්ඩුව එහෙම උත්සාහ කරනවාද නැද්ද කියල. හැබැයි මට කියන්න පුළුවන් දේ තමයි මේ පනත නීතිගත වුණොත් ඕනම ආණ්ඩුවකට මේ පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරන්න පුළුවන් තමුන්ට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල, වැඩවර්ජන නියැළෙන පුද්ගලයන්වත් පාලනය කරන්න.

දැනට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරන්න පුළුවන් ආරක්ෂක අමාත්‍යවරයට. දැනට තියෙන ක්‍රියාපටිපාටිය තමයි පැය 72ක් එස්එස්පී කෙනෙක්ගෙ නියෝගයක් මත තියාගන්න පුළුවන්. ඊට එහා තියාගන්න බැහැ කියන එක. ඒ කාලය තුළ මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් රැඳවුම් නියෝග නිකුත් කරන්න පුළුවන් ආරක්ෂක ඇමැතිවරයට විතරයි. ප්‍රතිත්‍රස්ත පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරන්න බලය දීල තියෙනව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට. නියෝජ්‍ය පොලිස්පතිවරු මේ රටේ හතළිහක් විතර ඉන්නව. ඔවුන්ට පුළුවන් සති දෙකක කාලයක් රැඳවුම් නියෝග නිකුත් කරන්න. ඒ සති දෙක කාලය දීර්ඝ කරන්න පුළුවන් සති දොළහක් දක්වා. ඒ කියන්නෙ මාස තුනක්. මේ වගේ පුළුල් බලයක් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දුන්නම ඒක අවභාවිත කරන්න විශාල ඉඩකඩක් තියෙනව. පුද්ගලික තරහ පිරිමහන්නයි, වෙන ත්‍රස්තවාදී ක්‍රියා නොවන දේවලට මේ භාවිත කිරීමේ හැකියාවක් තියෙනව. කවුරු හරි කියන්න පුළුවන් ඒකට විරුද්ධව උසාවියට යන්න පුළුවන් කියල. නමුත් මේවාගෙ පුළුල් බලයක් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලබාදෙන කිසිසේත් සුදුසු නෑ. මෙය බරපතළ ලෙස ගත යුතු තත්ත්වයක්.

අනෙක නීතිඥවරුන්ට තියෙන ප්‍රවේශය ගැන කියන්නෙ ලිඛිත නීතිය අනුව තමයි නීතිඥවරුන්ට ප්‍රවේශය ලබාදෙන්නෙ කියල. මට පේනවා නීතිඥවරුන්ට ප්‍රවේශයේ යම් සීමා කිරීමක් වෙන්න පුළුවන් කියල. මහෙස්ත්‍රාත්වරයෙක් ඉදිරියට මේ පනත යටතේ සැකකාරයෙක් ඉදිරිපත් කළොත් බැලූ බැල්මට අනාවරණය වෙන්නේ නැත්නම් වරදක් කරල තියෙනව කියල ඒත් මහෙස්ත්‍රාත්වරයට ඔහුව ඇප දීම හැර නිදහස් කරන්න බැහැ. බැලූ බැල්මටවත් කරුණු අනාවරණය වෙන්නෙ නැති පුද්ගලයෙක් ඇයි ඇප මත මුදාහරින්නෙ. එහෙම නම් ඔහුව සම්පූර්ණයෙන් නිදහස් කරන්න ඕන.

ප්‍රශ්නය – විධායකයේ බූවල්ලාට මේ පනත යටතේ සියලු අහුමුළු අසුවීමක්ද වෙන්නද යන්නේ ?

පිළිතුර – අපේ රටේ දැකල තියෙනව විවිධ පනත් ගේද්දි විශේෂයෙන් අපරාධ නීතියට අයත් පනත් මේ නීතිවල අවභාවිතය වැඩියි. ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත ගේන කාලේ ඒකට අවශ්‍යතාවත් තිබුණ. නමුත් ඒකත් විශාල වශයෙන් අවභාවිත වුණා. එතකොට අදටත් මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත වෙනව. ප්‍රතිත්‍රස්තවාදී පනතක් ගේන එකේ අවදානම තමයි මේ පනත ගේද්දි ඒ ආකාරයෙන්ම අවභාවිත වෙන්න ඉඩ තියෙනව. විශේෂයෙන් ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණයෙ වරදක් තියෙනව. ඒවගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය වගේ දේවල් ඒකට ඉවහල් වෙන්න පුළුවන්. ඒ වගේම තව වගන්තියක් තියෙනවා….. මේ පනත යටතේ විවිධ නියෝග ලබාගන්න. ඒ නියෝගවලට අදාළ වෙනව යම් ප්‍රදේශයකට ඇතුල්වෙන වළක්වාලන නියෝග ඇතුළත් වෙනව. රැස්වීමක් වළක්වන්නත් මේ පනතෙ විධිවිධාන තියෙනව. ඇයි ත්‍රස්තවාදය වළක්වන පනත රැස්වීම් පැවැත්වීම වැළක්වන්න ප්‍රතිපාදන. ඒ නිසා ගෙන ඇවිත් තියෙන සමහර ප්‍රතිපාදන ගෙන ඒමේ සත්භාවය ගැන බලවත් සැකයක් තියෙනව.

ප්‍රශ්නය – ලංකාවෙ තියෙන දණ්ඩ නීති සංග්‍රහය හෝ වෙනත් අපරාධ නීති ප්‍රමාණවත් නැද්ද ත්‍රස්තවාදය වැළැක්වීමට ?

පිළිතුර – ඇත්වශයෙන්ම මම හිතන දේ තමය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙ ගැටලු නිවැරැදි වෙන්න ඕන. හැබැයි මම කියන්නේ නෑ මේ වගේ අලුත් පනත් රටට ඕන නෑ කියල. අලුත් තත්ත්වයන්ට මුහුණදෙන්න සිද්ධවෙනව. එහෙම කරද්දි ඇත්තවශයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් ඉලක්ක කරගන්නවා තමන්ට විරුද්ධව දේශපාලන වශයෙන් විරුද්ධවාදීන්ව ඉලක්ක කර ගන්න පනත් කෙටුම්පතක් ගේනවට මම කැමැති නෑ.

ප්‍රශ්නය – මේ පනත ගැන කතාබහ යම් තැනට ඇවිත් තියෙනව. මේ පනත නිසා රට එළිමහන් කඳවුරක් වෙන බව ඇතැමුන් කියනව. ඇත්තටම රටේ ජනතාවට මේ ප්‍රතිත්‍රස්ත පනත ගැන අවබෝධයක් තියෙන බව ඔබ විශ්වාස කරනවද?

පිළිතුර – ජනතාව දැනුවත් එක වැදගත්. මේ පනත් කෙටුම්පතේ තියෙන සමහර වගන්තිවල තියෙන ප්‍රතිවිපාක ගැන ජනතාව දැනුවත් වීම ඉතා වැදගත්.

ප්‍රශ්නය – මේ පනත පාර්ලිමේන්තුවට ගෙන්න තිබුණෙ අප්‍රේල් අග සතියේ. නමුත් අධිකරණ ඇමැතිතුමා කියන්නේ විපක්ෂයේ නියෝජිතයන්, නීතිඥ මහත්වරුන්ගෙ ඉල්ලීම මත ඒක කල් දැම්ම කියල. ඒ ඔබතුමන්ලගෙ සහ විපක්ෂ දේශපාලනඥයන්ට මේ පිළිබඳ තියෙන ගැටලු නිරාකරණයට කර ගන්න.

පිළිතුර – මගේ මතය නම් මේ පනත් කෙටුම්පත අයින් කරන්න ඕන. මීට වඩා පුළුල් සංවාදයක් පවත්වල මේ පනත් කෙටුම්පත ගේන ඒක වැදගත්.

ජනාධිපතිවරයට පුනරුත්ථාපනය සම්බන්ධයෙන් යම් යම් නියෝග දෙන්න බලය දීල තියෙනව. මම හිතන්නෙ මේ පනත් කෙටුම්පත සම්මත ඉස්සරවෙලා ඒක ටිකක් තව සුපරික්ෂාකාරී අධ්‍යයනය කරන්න ඕනා.

සාකච්ජා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment