පාර්ලිමේන්තු පිවිසුම ළඟ සත්‍යග්‍රහයේ යෙදුණු කස්සප හිමිට තුෂාරට ඇප

78

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව සහ ජනතාව මත අසාධාරණ ලෙස බදු පැනවීමට එරෙහිව ඊයේ (08දා) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සත්‍යග්‍රහයක යෙදී සිටි බලන්ගොඩ කස්සප හිමි සහ කමන්ත තුෂාර නමැති පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පාර්ලිමේන්තු මාර්ග පිවිසුමට පැමිණ අයුතු අවහිරයක් සිදු කිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කළ බව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ජයමහ මහතා ඊයේ (08දා) ‘දිවයින’ට ප්‍රකාශ කළේය.

ජනතා බලයක් නොමැති ජනපති, ජනතාවගෙන් අධික බදු අයකර ගනිමින්, ජනතාව මර්දනය කරමින් දුර්දාන්ත පාලනයක නියැලෙන බවත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් පූර්ණ පොලිස් බලතල, ඉඩම් බලතල ලබාදීමට ක්‍රියාකරන බවත් පවසමින් ඔවුහු පාර්ලිමේන්තු පිවිසුම අසල මෙලෙස සත්‍යග්‍රහයක නිරතව සිටියහ.
නෝමන් පළිහවඩන සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment