මේ පාසල් සිසුන් පිළිබඳ වැඩි වැඩියෙන් කතා කරන කාලයයි. විවිධ හේතු නිසා අද දවස වන විට පාසල් සිසුන් පිළිබඳ කතාබහ වරින් වර සමාජයේ ප්‍රධාන මාතෘකාවන් බවට පත්වී තිබේ. ඒ අතරින් එක් වරෙක පාසල් ළමුන්ගේ පොත් බෑගයේ බර පිළිබඳවත් තවත් වරෙක පොත්පත් සඳහා වැයවන මුදල් කන්දරාව පිළිබඳවත් තවත් වරෙක පාසල් ළමුන්ගේ ආහාර පිළිබඳවත් පාසල් ළමුන්ගේ සෞඛ්‍යය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් වේ. මීට දශක දෙක තුනකට පෙර සිටි ළමයා හා සංසන්දනය කිරීමේදී අහසට පොළොව මෙන් වෙනස්කම් රැසක් දක්නට ලැබේ.

අහිමි වූ සුන්දර පාසල් සමය

මීට දශක කීපයකට පෙර පාසල් ළමුන් දෙමාපියන්ට බරක් වූයේ නැත. එසේම ළමුන්ට දෙමාපියන් බරක් වූයේද නැත. හිමිදිරියේ අසල්වැසි නිවෙස් වල ළමුන් සමඟ පාසල් යෑමට එකතු වන ළමුන් පිරිස සවස පාසල අවසන් වී නැවත නිවසට එන්නේද මුළු ගමේම ළමුන් පිරිස එක පෙළටය. ගමේ ගොඩේ ගස්වැල් වල ඇති පලවැල තමන්ගේ මෙන් රිසි සේ භුක්ති විඳි ඒ සුන්දර කාලය දැන් ළමුන්ට අහිමි වී ඇත. ඉස්සර එකම අභ්‍යාස පොතේ ළමයින් විෂයන් දෙක තුන ලියූහ. දැන් එසේ කළ නොහැක. දැන් අධ්‍යාපනය ළමයින්ටත් වඩා දෙමව්පියන්ට තරගයක් වී තිබේ.

අප අත්විඳි සුන්දර පාසල් කාලය දැන් ළමයින්ට නැත. ඒ වෙනුවට තිබෙන්නේ තරගකාරී අධ්‍යාපන රටාවකි. එකම පවුලේ සහෝදරයන් අතර පවා අධ්‍යාපනයෙන් ඉහළට ඒමට ඇත්තේ තරගයකි. ඒ තරගයට සූදානම් වන ළමයින්ට මෙන්ම දෙමාපියන්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම අභියෝගයක් වන්නේ අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාසල් බෑග්, සපත්තු ආදියේ දරාගත නොහැකි මිල ඉහළ යෑමයි.

දෙමාපියන්ට බරක් වූ පොත් කට්ටල

වෙනදාට රුපියල් සීයකට පිටු අසූවක අභ්‍යාස පොත් දෙක තුනක් මිලට ගත හැකිව තිබිණි. ඒ මීට දශක ගණනාවකට පෙර නොව මීට වසර දෙක තුනකට පෙරය. එදවස පිටු අසූවක අභ්‍යාස පොතක් පැවතියේ රුපියල් 40ක් වැනි මිලකටය. අද එය රුපියල් 90-100 අතර මිලක පවතී. මීට මාස කීපයකට පෙර මෙම පොතක් රුපියල් 150 සීමාව දක්වා මිල නියම වී තිබුණද අද දවස වන විට පොත්වල මිල යම් අඩුවීමක් පෙන්නුම් කළද ඒ මිලටවත් ගන්නට දෙමාපියන්ට අද අතේ මිල මුදල් නැත. ඒ ආණ්ඩුවේ සැලකීමේ තරමය. පිටු 120ක අභ්‍යාස පොතක් තවමත් රුපියල් 150 කට ආසන්නය. පිටු 160ක අභ්‍යාස පොතක් රුපියල් 200කි. පිටු 200ක අභ්‍යාස පොතක් රුපියල් 250කි.

CR පොත්වල මිල ගණන් ඇසූ විට දෙමාපියන්ට දෙවියන් සිහි වේ. පිටු 80ක CR පොතක් රුපියල් 190 කි. පිටු 120ක CR පොතක් රුපියල් 280කි. පිටු 160ක CR පොතක් රුපියල් 390කි. පිටු 200ක CR පොතක් 480කි. මේ එක පොතක මිලයි. පාසල් ළමයෙකුට මෙවන් පොත් අවම වශයෙන් දහයක් දොළහක්වත් අවශ්‍ය වේ. ඒ පාසල් වැඩ කටයුතු සඳහාය. ඒ සඳහා අවම වශයෙන් රුපියල් 4000 – 5000කට වඩා අවශ්‍ය වේ.

බොහෝ සිසුන් පාසලට අමතරව උපකාරක පන්තිවලටද මේ හා සමානවම මුදලක් පොත්පත් සඳහා වැය කරන්නට සිදුවේ.

එසේම පාසල් පොත්පත් මිලට සාපේක්ෂව පෑන් පැන්සල් මිලද ඉතා ඉහළය. රුපියල් 10ට තිබුණු පෑනක් අද අවම මිල රුපියල් 25-30කි. පැන්සල් මිලද එසේමය. මකන කෑල්ලක් රුපියල් 40කි. කටර් එකක් රුපියල් 60කි. ෆයිල් කවරයක් රුපියල් 40කි. කුඩා අඩිරූලක් රුපියල් 50කි. උසස් පෙළ ළමයින්ට අවශ්‍ය හොඳ කවකටු පෙට්ටියක් රුපියල් 1400කි. පිටු 80ක චිත්‍ර පොතක් රුපියල් 215කි. පාට 24ක පාට පෙට්ටියක් රුපියල් 375කි. පැන්සල් කූරු පෙට්ටියක් රුපියල් 375කි. ගම් කුප්පියක් රුපියල් 120කි. කුඩා කතුරක් රුපියල් 150කි. කෑම පෙට්ටියක් රුපියල් 600න් ඉහළට තිබේ. වතුර බෝතල්ද එසේය. මේ ගණන් ඉදිරිපත් කළේ කීපයක පමණි. එසේම පවතින අවම මිලය.

පොත් කම්පැණි වල සටකපට වැඩ

අභ්‍යාස පොත් මිල අහස උසට පවතිද්දී පොත් නිෂ්පාදන ආයතන සිදු කරන්නේත් කපටි වැඩකි. මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සල්වලින් පාසල් පොත්පත්, පෑන් පැන්සල් ආදී උපකරණ සඳහා සියයට 30 ක 40ක වට්ටම් ලබා දෙනු ලැබේ. එම වට්ටම ලබාදෙනුයේද ඔවුන්ට යම්කිසි ලාභයක් තබා ගැනීමෙන් පසුය.

අප කළ සංචාරයේදී දැකගත හැකි වූයේ රුපියල් 90කට මිල නියම කර ඇති පොතක් රුපියල් 70කටත් රුපියල් 200කට විකිණීමට ඇති පොතක් රුපියල් 165කටත් රුපියල් 280කට විකිණීමට ඇති පොතක් රුපියල් 225 කටත් රුපියල් 480කට විකිණීමට ඇති පොතක් රුපියල් 395 කටත් විකිණීමට තබා ඇති බවයි. මේ සඳහන් කළේ කිීපයක් පමණි. එසේම මෙම වට්ටම ලැබෙන්නේ සීමිත අලෙවිසල් ප්‍රමාණයකින් පමණි. ගෙදර ළඟ පිහිටි පොඩි කඩේකින් පොතක් දෙකක් මිලට ගන්නා කිසිවකුට මේ සහනය හිමි නොවේ. රුපියල් 480කට විකිණීමට ඇති පොතක් රුපියල් 395 කට විකුණනවා යැයි කියන්නේ රුපියල් 85ක සහනයක් හිමිවීමකි. නමුත් සැබවින්ම වෙළෙඳ මාෆියාකරුවන්ගේ වෙළෙඳ උපක්‍රම නිසා අසරණ මිනිස්සු රුපියල් 85 ක් පොතක් වෙනුවෙන් වැඩිපුර ගෙවිය යුතුය. එම සහනය අහිංසක ජනතාවට හිමි නොවේ.

පොතක සැබෑ වටිනාකම රුපියල් 60 ක් නම් බොහෝ නිෂ්පාදකයන් එය 100කට මිල නියම කර රුපියල් 40ක වට්ටමක් ලබා දී රුපියල් 60කට අලෙවි කරනු ලැබේ. දවසේ කුලියක් මලියක් කර කීයක් හෝ හම්බු කරගෙන ළමයින්ට පොතක් පතක් අරන් දෙන දෙමාපියන්ට මේ සහනය හිමි නොවේ.

දරාගත නොහැකි අභ්‍යාස පොත් මිල පිළිබඳ දෙමාපියන් දැක්වූයේ මෙවන් අදහසකි.

ඔෂිලා නන්දනී ළමයින් තිදෙනකු සිටින මවකි. පවතින පාසල් උපකරණ වල මිල ඉහල යෑමෙන් මහත් දුෂ්කරතාවයකට ඇයද පත්ව සිටින්නීය. ජීවන වියදම හමුවේ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටි ඇය අප සමඟ පැවැසූයේ මෙවැන්නකි.

මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් උසස්පෙළ හදාරනවා. අනෙක් එක්කෙනා මෙවර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා. මේ තුන්දෙනාගේ පොත්වලට විතරක් මේ පාර රුපියල් 30,000කට වැඩිය වියදම් වුණා. ඒ ගේන්න කියපු පොත් ඒ විදිහටම අරගෙනත් නෙවෙයි. බාගෙට අරගෙන. ඊට අමතරව ළමයි තුන්දෙනාට ඇඳුම් පැළඳුම්, සපත්තු මේස්වලට තවත් රුපියල් විසි තිස් දාහක් වියදම් වුණා. ඊට අමතරව පසුගිය විභාගවල ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර කට්ටල ගේන්න කියනවා. අර පොත ගේන්න කියනවා. මේ පොත ගේන්න කියනවා. ඒවටත් ලොකු වියදමක් යනවා. ළමයි තුන්දෙනාම ඉන්නේ විභාග කඩයිම්වල.

අධ්‍යාපනය නොමිලේ දෙනවා කිව්වට ඒක නමට විතරයි. ළමයෙක් එක වසරට ඇතුළත් කරපු දවසේ ඉඳන් ඉස්කෝලෙන් අයින් වෙනකම්ම හැමදාම මොනවට හරි සල්ලි ගේන්න කියනවා. මේ පාර ඔක්කොටම රුපියල් ලක්ෂයකට වඩා වියදම් වුණා. ළඟ තිබුණු රත්තරන් බඩුවක් උගස් කරලා තමයි මේ පාර සල්ලි හොයාගත්තේ. හැමදාම මෙහෙම කරන්නත් බැහැ

ප්‍රමෝද කරුණාරත්න විශ්වවිද්‍යාල සිසුවෙකි. ඔහුට මෙම අර්බුදය බලපාන ආකාරය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

අපට නෝට් ලියන්න ලොකු පොත් ඕනෙ වෙනවා. මේ වෙනකොට සීආර් වගේ පොත් පත් මිලට ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. අපට මොන තරම් වැඩ කන්දරාවක් තියෙනවද ලියන්න කියන්න. ඒවට හරියන්න පොත් ගන්න සල්ලි නැති නිසා අපි දැන් කරන්නේ මුද්‍රණ කන්තෝරුවලින් කපල අයින් කරන කොළ ගෙනල්ලා පොත් හදාගන්න එක. කැම්පස් කාලය තුළ මොනතරම් වියදමක් දරන්න වෙනවද. නිදහස් අධ්‍යාපනය කිව්වට මොනවද නිදහස්. හැමදේටම සල්ලි. තියෙන මිනිස්සුන්ට නම් ප්‍රශ්නයක් නෑ. ඒත් අපි වගේ ගම්වලින් එන දුප්පත් ළමයින්ට මේක දරාගන්න අමාරුයි.

මොහොමඩ් ඉර්ෂාඩ් වැලිපැන්න ප්‍රදේශයේ පොත් අලෙවි හලක හිමිකරුවකි. ඔහු පැවසුවේ මෙවර පොත් අලෙවිය ඉතා සීග්‍රයෙන් පහත බැස ඇති බවයි. මේ ඔහුගේ හඬයි.

වෙනදා වගේ නෙවෙයි දැන් බිස්නස් ගොඩක් අඩුයි. වෙනදා මුළු අවුරුද්දටම ළමයින්ට ඕන පොත්පත් පාසල් උපකරණ පෑන් පැන්සල් මිනිස්සු එක පාර අරගෙන යනවා. ඒත් මේ පාර ගොඩාක් ඉස්කෝලවලින්ම කියලද මන්ද එහෙම අරගෙන ගියේ නෑ. සමහරවිට දෙමාපියන් විඳින දුක දන්න නිසා ඉස්කෝලවලින් එහෙම කියල හරි මිනිස්සුන්ට සල්ලි නැති නිසා හරි එක වාරයකට ඕන කරන බඩු ටික විතරයි ළමයින් අරන් ගියේ. වෙනදා රුපියල් පන්දාහකින් ගන්න බඩු ටික දැන් ගන්න රුපියල් දහ පහළොස් දාහක් යනවා. අපිත් වෙනදා වගේ එක පාර බඩු ගෙනත් දාගන්නේ නැහැ. මොකද සල්ලි හිර කරාට ඒ සල්ලි බේරගන්න බැහැනේ.

කශේරුවත් ඇදකරන පාසල් පොත්බෑග්

ඒ ළමයින්ගේ දෙමාපියන්ට දැනෙන බරයි. දෙමාපියන් දස අතේ ණය වී එම බර දරන්නේ තමන්ගේ ළමයින් කවදා හෝ හොඳින් ඉගෙන ගෙන හොඳ පුරවැසියෙක් වනු දැකීමේ බලාපොරොත්තුව නිසාය. මීළඟට සාකච්ඡාවට ගැනෙන්නේ ළමයින් උසුලන බර පිළිබඳවය.

පාසල් පොත්පත් පෑන් පැන්සල් මිල ඉහළ යෑමෙන් පටවන ආර්ථික බරට වඩා වැඩි බරක් ළමුන්ගේ දෙවුර මත පැටවේ. ඒ මෙම පොත්පත්වල පවතින අධික බරයි. නිවෙස් වෙත යන ළමයින් දෙස හොඳින් විපරම් කර බැලුවහොත් ඒ බව හොඳින් අවබෝධ කර කරගත හැක. පසුගිය දිනවල රටේ ප්‍රධාන ජනමාධ්‍ය තුළින්ද මේ ගැන විටින් විට සාකච්ඡාවට බඳුන් විය. දැන් සිටිනා ළමයි දෙස බැලූ විට සිහියට නැගෙන්නේ “බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් හපුතලෙ කන්ද නගිනවා…” යන ගීතයයි. එසේත් නොමැතිනම් පිටකොටුවේ බර උසුලන නාටාමි කෙනෙකුගේ චිත්‍රයයි. මන්ද ඔවුන් ගමන් කරන්නේ ඒ ආකාරයෙනි. ඒ පාසල් පොත් බෑගයේ පවතින අධික බර නිසාය.

සුහුරු පන්ති කාමර වෙනුවට ගෙන එන අලුත් දේ..

පසුගියදා පාර්ලිමේන්තුවේදී ද මේ ගැන කිහිප අවස්ථාවකම සාකච්ඡාවට බඳුන් වූ අතර එහිදී විවිධ අදහස් හා යෝජනා කිහිපයක්ම පළවිය. ඒ අතරින් එක යෝජනාවක් වූයේ පෙළපොත් කොටස් කිහිපයකට කඩා මුද්‍රණය කිරීමයි. එය එක්තරා ආකාරයකින් හොඳ යෝජනාවකි. එසේම එහිදී පළ වූ තවත් යෝජනාවක් වූයේ පෙළපොත් පාසලේ පන්ති කාමර තුළ ආරක්ෂිතව තැන්පත් කර යෑමයි. නමුත් එවන් ආරක්ෂිත පන්ති කාමර ලංකාවටම ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පාසල් සංඛ්‍යාවකය. ඒ තරමටම බොහෝ පාසල්වල ඇති පන්ති කාමර විවෘතය අනාරක්ෂිතය. එය සාර්ථක කර ගැනීමට නම් තවත් වසර ගණනාවක් වැයවනු ඇත.

එහිදී ඉදිරිපත් වූ තවත් යෝජනාවක් වූයේ පරිගණක ආශ්‍රයෙන් පොතපත කියවීමට යොමු කිරීමයි. ගම්බද ළමයින්ට පරිගණකයෙන් පොතපත කියවනවා තබා පෙළපොත් ටිකවත් නියමිත පරිදි නොලැබේ. බොහෝ පාසල්වල ඒ සඳහා පහසුකම් නැත. එය අසාර්ථක ක්‍රියාමාර්ගයකි.

මෙරට පාසල් අධ්‍යාපනය ළමයින්ට මෙන්ම දෙමාපියන්ටත් පටවා ඇත්තේ මහා බරකි. ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දෙමව්පියෝ දුක් විඳිද්දී තවත් පැත්තකින් ළමයින් දුක්විඳී. ඒ දැන් පවතින අධ්‍යාපන රටාව තුළ ළමයින් විශාල තරගයකට යොමු කර ඇති නිසාය. ළමයින්ට හරියට කන්න නැත. කිලෝ 20-30 බර උසුලාගෙන යෑමට සිදුව ඇත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම තරගයට සහභාගි වීමට ශ්‍රී ලංකාවේ සියලුම ළමයින්ට සිදුව ඇත. එම තරගයේ කොටස්කරුවන් වීමට එම ළමයින්ගේ දෙමාපියන්ටද සිදුව ඇත. දෙමව්පියන් ළමයින් මත යොදන ශක්තිය හා පීඩනය මත එහි ජයග්‍රහණය තීරණය වනු ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment