උසාවියට අපහාස කළ හිටපු නීතිඥයාට ඇප

456

විනිසුරුතුමන්ලා සමග පැටලෙන්නේ නෑ: මට යළි නීතිඥ වෘත්තියේ යෙදීමට අවසර දෙන්න – සුසිල් ප්‍රියන්ත ජයතුංග උසාවියෙන් ඉල්ලයි

අධිකරණ නියෝග නොතකා දිගින් දිගටම විවෘත අධිකරණය හමුවේදී අදහස් දැක්වීම නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතිඥවරයකු ලෙස කටයුතු කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතා රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05දා) නියෝග කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මින්මතු අධිකරණය පද්ධතියට හෝ විනිසුරුවරුන්ට අපහාස වන ආකාරයෙන් කටයුතු නොකිරීමට වගබලාගන්නා බව පෙන්වාදෙමින් හෙතෙම කළ ඉල්ලීම සලකා බැලූ විජිත් කේ. මලල්ගොඩ, ශිරාන් ගුණරත්න හා ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම ඇප නියෝගය නිකුත් කළේය. ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම පළමු සඳුදා දිනකම ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා හමුවේ පෙනී සිටිය යුතු බවට හා සෑම මසකම දෙවන හා හතරවන සඳුදා දිනවල පොළොන්නරුව මහාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ඇප කොන්දේසි පැනවූ විනිසුරු මඬුල්ල එම ඇප නියෝගය කළේය.

ඇප කොන්දේසි එකක් හෝ කඩකළ හොත් ඇප නියෝගය අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවටද විනිසුරු මඬුල්ල එම විත්තිකරුට දැඩිව අවවාද කළේය.

‘අනේ උතුමාණෙනි, මම ජීවත් වෙන්නේ මගේ නීතිඥ වෘත්තියෙන්. මට තිබෙන එකම ආදායම් මාර්ගය ඒකයි. ඔබතුමන්ලාට පුළුවන් නම් මට යළිත් නීතිඥ වෘත්තියේ යෙදෙන්න අවසර දෙන්න. මට තවදුරටත් අධිකරණ පද්ධතිය සමග හෝ විනිසුරුතුමන්ලා සමග පැටලෙන්න ඕනේ නෑ. ඒ නිසා මම ගැන සානුකම්පිතව සලකලා නැවත නීතිඥ වෘත්තියේ යෙදෙන්න අවසර දෙන්න යැයි එම විත්තිකරු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා,

තමුන් ගැන සානුකම්පිතව සිතලා තමයි අපි ඇප දුන්නෙත්. මානසික ප්‍රශ්න තිබෙන්න පුළුවන්. ඒත් නීතිඥවරයකු ලෙස කටයුතු කළ ඔබට ස්වයං විනයක් තිබිය යුතුයි. මින්මතු එලෙස අධිකරණයට හෝ විනිසුරුවරුන්ට අපහාස වන ලෙස කටයුතු කරන්නේ නෑ කියලා නීතිපතිතුමා මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. එවිට අපි ඒ ගැන සලකා බලන්නම්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මල් විග්නේෂ්වරම් මහතා

ස්වාමිනී මොහු පුරුද්දක් ලෙස විනිසුරුතුමන්ලාට හා අනෙකුත් නීතිඥවරුන්ට අපහාස කරන අයෙක්. මින් ඉදිරියට එලෙස නොකරන බවට ප්‍රතිඥාවක් ගන්න.

විනිසුරු මලල්ගොඩ මහතා

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාට එරෙහිව කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කරලා වැඩක් තියෙනවාද? ඔබට යම්කිසි විනිසුරුතුමෙක් තර්ජනය කරලා තියෙනවාද? එහෙමත් නැත්නම් ගහන්න ඇවිත් තිබෙනවාද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්තු 20 වැනිදා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි. ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනය නීතිමාලාව යටතේ හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා කෙටුම්පත් කරන ලෙසට නීතිපතිවරයාට නියෝග කොට තිබිණි. එකී නඩු දෙක ලබන මැයි 06 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට විත්තිකරුට නියෝග කළේය.

නඩු විභාගය අවසන්වන තුරු සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ද මාර්තු 20 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment