ගම්පොළට සොර බියක්

48

නිවසේ තනිව සිටි කතට අතවර කර රත්‍රං ඇතුළු ලක්‍ෂ ගාණක දේපළ සොරාගෙන

නිවසක තනිව සිටි කාන්තාවකගේ ගෙලට පිහියක් තබා බියකර ඇය අපයෝජනයට ලක්කර ඇගේ ගෙල බැඳි රන්මාලය සමග කරාබු දෙක හා නිවසේ තිබූ රුපියල් එක්ලක්ෂ දසදහසක මුදලක් සමග ඇයගේ රුපියල් හැත්තෑ පන්දහසක් වටිනා ජංගම දුරකතනය පැහැරගෙන ගිය දෙදෙනකු සොයා ගම්පොල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

ඊයේ (16 දා) අලුයම මෙම දෙදෙනා ඇය සිටි නිවසේ වහළයෙන් ඇතුළු වී මෙම අපරාධය හා සොරකම සිදුකර තිබේ. සිද්ධියෙන් පසු 43 හැවිරිදි මෙම කාන්තාව රාත්‍රියේම හඬා වැටෙමින් අසල පිහිටි නිවසකට ගොස් මේ බව දන්වා ඇති අතර ඇගේ හඬා වැළපීම නිසා අසල්වාසීන්ද එක්ව තිබේ. අනතුරුව ඇගේ ඥාතීන් එක්ව මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා අලුයම් කාලයේ දීම ඇය ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ. මේ සමගම ඊයේ උදෑසනම ගම්පොළ නගරයේ අඹගමුව මාර්ගයේ නිවසක්ද කඩා එහි අල්මාරියක තිබූ රුපියල් පනස්දහසක මුදලක් හා නිවැසියකුගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් තුන්දහසක්ද සොරා ගෙන තිබේ.

ගම්පොළ උනම්බුව පොලිස් විශේෂ කාර්ය බළකා ස්ථානයට හා ගම්පොළ පොලිසියට ආසන්නව මෙම සොරකම් දෙක හා අපරාධය සිදුව තිබේ. ගම්පොළ නගරයේ හා අවට නිවාස හා වෙළෙඳ සැල් තුළ විශාල ලෙස මේ අයුරින් සොරකම් හා අපරාධ සිදුවන අතර මේ නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටිති. මුදල් රන් භාණ්ඩ ඇතුළු වටිනා දෑ කුඩුකාරයන් ඇතුළු සොරුන් පැහැරගෙන ගියද ඒවා යළි ලබා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව අසරණ වී සිටිති.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment