ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි තරගය අද

156

ද්විපාර්ශ්වීය තරගාවලියකට සහභාගි වීමට පළමු වරට මෙරටට පැමිණි නවසීලන්ත කණ්ඩායම සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පළමු තරගයේ දී ලද අනපේක්ෂිත පරාජයෙන් පසුව ඔවුන් මුහුණ දෙන දෙවෙනි තරගය අද (30 වැනිදා) පැවැත්වේ.

නවසීලන්ත ක්‍රීඩිකාවන් එසේ එක් පැත්තකින් මානසිකව ඇද වැටීමකට ලක් වෙද්දී ඉතිහාසයේ පළමුවරට ප්‍රබල නවසීලන්තයට එරෙහිව එක්දින තරග ජයග්‍රහණයක් ලබා ගත් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව අද තරගයට මුහුණ දෙති.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අයිසීසී ලෝක ශූරතා එක්දින ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග යටතේ පැවැත්වේ. අද තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලද පළමු එක් දින තරගාවලි ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක් වනු ඇත.

එසේ හෙයින් නවසීලන්තය මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා තම උපරිම ජවය යොදනු ඇතැයි අනුමාන කළ හැකිය. පළමු තරගයේදී නවසීලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු 170 න් ලකුණු 108 ක් නොදැවී ලබා ගත් නායිකා චමරි අතපත්තුගේ කඩුල්ල දවා ගැනීම කෙරෙහි එහිදී නවසීලන්ත පන්දු යවන්නියන් දැඩි අවධානයක් යොමු කරනු ඇතුවාට සැක නැත. අද උදෑසන 10 ට ආරම්භ වන මෙම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් මුදල් අය නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment