රාජගිරිය රෝහලේ වකුගඩු ජාවාරම : තැරැව්කරුවෝ 2 ක් හා හොර සහතික දුන් ග්‍රාම නිලධාරි 2 ක් රිමාන්ඩ්

104

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුල්කරගෙන සිදුවී ඇති වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තැරැව්කරුවන් දෙදෙනකු හා ව්‍යාජ ග්‍රාම නිලධාරි සහතික සකස් කළ ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (17දා) නියෝග කළාය.

සැකකාර ග්‍රාම නිලධාරීන් දෙදෙනා එක් සහතිකයකට රුපියල් 20,000 බැගින් මුදල් ලබාගෙන වකුගඩු ලබාදෙන පුද්ගලයන් හා වකුගඩු බද්ධ කළ පුද්ගලයන් එකම ප්‍රදේශයක පදිංචිකරුවන් බවට සහතික කොට ව්‍යාජ සහතික ලබාදී ඇති බවත්, විදේශීය ජාතිකයන්ට අප රට තුළදී වකුගඩු බද්ධ කිරීම තහනම් වුවත් අබුඩාබි රාජ්‍යයේ පුද්ගලයෙකුට එලෙස සහතික ලබාදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම විය යුත්තේ යුක්ති ගරුකව රාජකාරි කිරීම වුවත් සැකකාර ග්‍රාම නිලධාරීන්ගේ එකී ක්‍රියාකලාපය අනුව ත්‍රස්තවාදීන්ට වුවද එවැනි ව්‍යාජ සහතික නිකුත් කිරීමේ අවදානම පවතින බවත් මෙවැනි ක්‍රියා ජාතික ආරක්‍ෂාවටද බරපතළ තර්ජනයක් බවත් පෙන්වා දෙමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment