විජේපාල ගැන පළිඟු මැණිකේ ගේ මතක

270

ජැක්සන් ඇන්තනී නම් අසහාය රංගධරයාණන් ප්‍රථම වරට ටෙලි නිර්මාණයකට අවතීර්ණ වන්නේ, ජාතික රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ “පළිඟු මැණිකේ” ටෙලි නිර්මාණයේ, “විජේපාල” ගේ චරිතය තුළිනි. “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ එන “පළිඟු නෝනා” ට පණපොවන මැණිකේ අත්තනායකට අප කතා කළේ, “ විජේපාල” ගැන පළිඟු මැණිකේගෙන්ම අසා දැනගැනීම උදෙසායි. “විජේපාල” පිළිබඳව “ පළිඟු මැණිකේ” අපට පැවසුවේ, මෙවැනි කතාවකි.

විජේපාල ගැන පළිඟු මැණිකේ ගේ මතක

ඇත්තටම කියන්න ඕනේ, “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යය රඟපාද්දී අපි බොහොම විනෝදයෙන්, සැහැල්ලුවෙන් ගතකරපු කාලය මතක් වෙනවා මේ වෙලාවේ. ඒ වගේම සරච්චන්ද්‍ර මහත්මාගේ “ ලෝමහංස” නාට්‍යයේ, ජැක්සන් පදුම කුමාරයාගේ චරිතයත්, මම කුමාරිගේ චරිතයත් රඟපාද්දි සිදුවුණ අමතක නොවන ගොඩක් සිහිවටන මගේ සිහියට එනවා. අමරදේව මහත්තයා සහ අපි දෙන්නා සරච්චන්ද්‍ර මහත්මයාගේ ගෙදර සංගීතය පුහුණු වුණ කාලයේ දී පවා අපි කොච්චර කුළුපඟව, සතුටින් ජීවත් වුණාද. ජැකා කියන්නේ, හරිම විනෝදකාමී කාටවත් හිත රිදෙන්න කිසිවක් කියන්නෙ නැතුව, සතුටින් ජීවත් වුණ කෙනෙක්. ජැක්සන් එක්ක එකට වැඩ කරද්දි ඔහු අනෙකාට සහාය වෙමින්, හරිම සහෝදරත්වයකින් කටයුතු කළ විශිෂ්ට සහෝදර රංගන ශිල්පියෙක්. “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේත් අපි එකට රඟපාද්දි, ඒ කාලය ගතවුණේ කොහොමද කියලා වත් හිතා ගන්න බැරි තරමටම සතුටින් ගත වුණා. ජැක්සන් ඇන්තනී කියන්නේ, ලංකාවේ සිටි බොහොම විශේෂිත චරිතයක්. ඔහුගේ දැනුමෙන් ඔහු කලාවට සෑහෙන්න සේවයක් කළා. ඒ සේවය මුළු රටම අගයනවා. ඉතින් ඔහුව සිහිපත් කරන විට හැම දෙනකුටම ලොකු දුකක් ඇති වෙනවා ඇති මේ අවස්ථාවේදී. අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ, බුද්ධ ධර්මයට අනුව ජීවිතය කියන්නේ, “තණ අග පිණි බිඳුවක් වැනිය” යන්නයි. ජැකාට නොසිතූවිරූ ලෙස මුහුණ දෙන්න වුණ මේ අනතුර නිසා ඇත්තටම අද ජීවිතෙන් සමුගන්න සිදු වුණාට කිසිවකුගේ සිත් සතන් තුළින් කවදාවත් ජැක්සන් ඇන්තනි යන නාමය ඉවත් වෙන එකක් නැහැ. අවසන් වරට ජැක්සන් ඇන්තනී වෙනුවෙන්, ඔබට නිවන් සුව ලැබේවා! කියලා, වගේම නැවත අප අතරේම ඉපදේවා සහෝදරයාණෙනි, කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔහු ගැන මතකය කවදාවත් අපේ මතකයෙන් ඉවත් වෙන්නේ නැහැ. ජැක්සන් ඇන්තනී යන නාමය ලක්බිම තුළ සදා අමරණීයයි.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment