ඩිල්ශාන් ඉන්දියාවේ හරි අඩකට වග කියයි

1965

ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත ගමනක නිරතව සිටින සත්කාරක ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් 5 දෙනකු දවා ගෙන සිය හොඳම පන්දු යැවීම මෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුෂංක ඊයේ (02 වැනිදා) මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී සමත් වූයේය.

ඒ අනුව ඉන්දීය ඉනිම කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් ලෙස සටහන් වූ අතර ඊයේ කඩුලු 5 ද සමග ඩිල්ශාන් ගේ කඩුලු මල්ල 18 ක් ලෙස සටහන් වේ.

තිස් දහසකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් හඬ මැදින් ඊයේ තරගයේදී ඉන්දීය නායකයා පන්දුවට පහරදීමට පැමිණියද ඒ සැණින් මුළු ක්‍රීඩාංගණයම නිහඬ කරන්නට ශ්‍රී ලංකා වමත් වේග පන්දුවේ බලයට හැකි වූයේය.

තරගයේ පළමු පන්දු වාරයේ දෙවෙනි පන්දුවේදීම ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ලේ වම් ඉන්න ගලවා දමා ශර්මාට ආපසු හැරී යළි ක්‍රීඩාගාරයට යෑමට ඩිල්ශාන් මග පාදා දුන්නේය.

ඩිල්ශාන් මෙවර තරගාවලියේ දී තරගයේ පළමු පන්දු වාර 4 තුළ දවා ගත් 7 වැනි කඩුල්ල ලෙස ශර්මා ගේ කඩුල්ල සටහන් වූයේය.

ටෙම්බා බවුමා පළමු පන්දු වාරයෙන්, ඉමාම් උල් හක් දෙවෙනි පන්දු වාරයෙන්, බාබර් අසාම් සිව්වැනි පන්දු වාරයෙන්, ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් දෙවෙනි පන්දු වාරයෙන්, රහමනුල්ලා ගුර්බාස් පළමු පන්දු වාරයෙන් දවා ගැනීමට ඩිල්ශාන් මීට පෙර සමත් වී තිබුණි.

ශර්මා ගේ දැවී යෑමෙන් පසුවත් විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් පීඩනයට පත් කරමින් පන්දු යැවීමට ඩිල්ශාන් සහ දුෂ්මන්ත චමීර සමත් වුවද ඒ අතරතුර ලබා දුන් අසීරු උඩ පන්දු කිහිපයක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් බිම අත හරිනු ලැබීමේ වාසියෙන් පිතිකරුවෝ දෙදෙනාම අර්ධ ශතක කරා පිය නැගූහ.

හතරේ පහර 8 බැගින් වාර්තා කරමින් අර්ධ ශතක ලබා ගත් ඔවුන් අතරින් කෝලි පළමුවද, ගිල් දෙවනුවද ඒ කඩඉම් පසු කර ගියේය. එහෙත් ඔවුන් දෙදෙනාගේ දෙවෙනි කඩුල්ලේ සම්බන්ධතාවට ලකුණු 189 ක් සම්පූර්ණ වී තිබියදී ගිල් ලකුණු 92 කට දවා ගැනීමට ඩිල්ශාන් සමත් වූයේය.

ලොව වැඩිම එක් දින ශතක ලාභී සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව ටෙන්ඩුල්කාර් ඉදිරියේදීම සම කිරීමට තිබූ අවස්ථාව විරාත් කෝලිගෙන් උදුරා ගැනීමට ද ඩිල්ශාන් ට හැකි වූයේය.

ඒ වනවිට කෝලි ලකුණු 88 ක් ලබා තිබූ අතර තවමත් ඔහු 48 වැනි ශතකයේ රැඳී සිටී.

තරගාවලියේ විශාලතම 6 පහරද (මීටර් 108) ඇතුළුව හයේ පහර 6 ක් එල්ල කළ ශ්‍රෙයාස් අයියර් ලකුණු 85 කට දවා ගැනීම ඩිල්ශාන් ගේ පස් වැනි කඩුල්ල වූයේය. දුෂ්මන්ත චමීර විසින් ලෝකේශ් රාහුල් දවා ගන්නා ලද අතර ධනංජය ද සිල්වා වෙනුවට මෙම තරගය සඳහා දුශාන් හේමන්ත කැඳවා තිබුණි.

ලකුණු සාරාංශය

ඉන්දියාව 357/8

රෝහිත් ශර්මා 00, විරාත් කෝලි 88, ශුබ්මන් ගිල් 92, ශ්‍රෙයාස් අයියර් 82, ලෝකේශ් රාහුල් 21, සූර්යකුමාර් යාදව් 12, රවීන්ද්‍ර ජඩේජා 35, මොහොමඩ් සාමි 02, ජස්ප්‍රිට් බුම්රාහ් නොදැවී 01

පන්දු යැවීම

ඩිල්ශාන් මධුසංඛ 10-80-5 කසුන් රාජිත 9-65-0, දුෂ්මන්ත චමීර 10 -71-1, මහීෂ් තීක්ෂණ 10-67-0, ඇන්ජලෝ මැතිව්ස් 3-11-0 දුශාන් හේමන්ත 8-52-0

කුෂාන් සුබසිංහ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment